iMage: Hemamali Abeyrathna/FB

රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත් අයෙක්ට මරදාන පොලීසිය විසින් කෲර ලෙස වදහිංසනය කර ඇති බව වාර්තා වෙයි. 07වනදා පැවති සෞඛ්‍ය සේවක විරෝධතාවයේදී එය ඡායාරූප ගනිමින් සිටි ‘නිදහස් මාධ්‍යවේදී’ මලික අබේකෝන් පොලිසිය විසින් පැහැරගෙන ගොස් එසේ වධහිංසනයට පත් කර ඇත. වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගිය ද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාව ලබා දී නැත. පසුව නීතිඥවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමකින් පසුව මලික ව හමුවීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ නමුත්, ඔහු රැගෙන ඒන අවස්ථාවේ ජීප් රියතුළදී ද, සිර මැදිරියතුළ දී ද, ස්ථානාධිපතිවරයාගේ කාමරයතුළ දී ද දිගින් දිගටම ඔහුට කිහිපවතාවකදී පොලිසිය විසින් පහර දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම්, පුබුදු ජාගොඩ පවසයි.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී වධහිංසාවට ලක් කරනු ලැබූ මලික අබේකෝන් ඊයේ(08) මාලිගාකන්ද අධිකරණයෙ ඉදිරිපත් කළ පොලිසිය, එහීදි ව්‍යාජ තොරතුරු සහිත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එහිදී ඇති වූ තත්ත්වය නිසා මලික අධිකරණ භූමියේ ඇද වැටි ඇත. පසුව ඔහුව රෝහල් ගතකර ඇති අතර, නඩුව නැවත කැදවීම එලඹෙන 12වන දාට කල් තබා ඇත.

කැමරාවට බය පොලීසිය

‘කොහොමත් රාජපක්ෂ ආණ්ඩුව කැමරාවලට, පැනට බයයි. අන්තර්ජාලයටත් බයයි. මොකද, අපිට මතකයි 2015 ට පෙර වෙච්ච හැම එකක්ම. සාමකාමී විරෝධතාවයන් වලක්වාලමින් අධිකරණ නියෝග ගැනීම ඒ කාලේ සුලභ දෙයක්. ඒ වගේම, සාමකාමී විරෝධයන්ට මැරයන්ලවා තර්ජනය කිරීම් ද සිදු උනා අපිට අමතක නෑ. විශේෂයෙන්, සිවිල් පොලිස් නිළධාරින් යොදා විරෝධතාකරුවන් කැමරාගත කිරීම් ඉතාමත් ප්‍රභල විදිහට ආරම්භ උනේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. ඒක උතුරු-නැගෙණහිර දී විශාල වශයෙන් සිදු උනා. අපිට මේ සිදුවීමෙනුත් පෙන්නේ, අතේ කැමරාවක් තියාගන ඉදීමත් දැන් භයානක තත්ත්වයකට පත් වෙනවා කියලයි. මේක පොලීසියේ වගේම, මේ ආණ්ඩුකරණ ක්‍රියාවලියේම ප්‍රශ්ණයක්. පොලීසියට විතරක් චෝදනා කරලා අත පිහිදා ගන්න බැහැ. පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවිරෝධි විදිහට වැඩ කරනවා නම්, ඒක පහළට කාන්දු වෙන එක වලක්වන්න බැහැ. ආණ්ඩුකරණය කරන අය ‘නීතිය යනු තමන්’ යැයි කියමින් වැඩ කරනකොට ඒ අශීලාචාර තත්ත්වය පහළට යනවාමයි. ඒක අපිට පේන්න ගන්න එක ප්‍රධාන තැනක් තමයි පොලීසිය. ඒ නිසා මේ පොලීසියේ ප්‍රචණ්ඩත්වය ඉහළින් ගලන ගද ගහන ඔජස්වල ම දිගුවක එක් කොටසක්’ යැයි මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ‘විකල්ප’ සමග පැවසීය.

කෙසේ නමුත් ලංකාවේ පොලීසිය යැයි කියු පමණින් එසැනින් මතුවන අදහසක් තමයි වධහිංසාව. පොලීසිය සමානයි වධහිංසාව යයි යමෙක් කීවොත් එය වැරදි නැත. මෙය පසුගිය වසර ගණනාවේදී ම අපට දක්නට ලැබුණු තත්ත්වයක්. වධහිංසාවට ලක් නොවී සිටීමට නීතිමය ප්‍රතිපාදන කොතෙක් තිබුණත් ඒ පිළිබද නොතකා ක්‍රියාත්මක වන තත්ත්වයක් තවමත් ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඕනෑම බිහිසුනු අපරාධයක් සිදුකර දඩුවම් නොළබා සිටීමේ තත්ත්වයක් ලංකාව තුළ පැවතීම ඒකට ප්‍රධාන හේතුවක්!! විශේෂයෙන් ආරක්ෂක අංශවලට, බන්ධනාගාර සහ පොලීසිය ට චෝදනා එල්ලවන ලංකාවේ බොහෝ අපරාධ සම්බන්ධයෙන් මේ දක්වා වින්දිතයාට යුක්තිය ඉටු වී නැත. එවැනි තත්ත්වයක් තුළ නීතිය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිටින පොලීසිය විසින්, මෙවැනි අන්දමට මිනිසුන් පැහැරගෙන ගොස් වධහිංසාවන් සිදුකිරීම, ඒ ‘වරද කර දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය’ නම් අශීලාචාර තත්ත්වයේම දිගුවක් ය. මෙම අශීලාචාර තත්ත්වය වෙනස් කළ හැකි වන්නේ පොලීසියට පමණක් ඇගිල්ල දිගු කිරීමෙන් නොව, රටක පාලනය විසින් සිදුකරන ‘ප්‍රජාතන්ත්‍රවිරෝධි’ ක්‍රියාකාරීත්වයන් ට එරෙහි සාමූහික වැඩබිමක සක්‍රිය ක්‍රියාකාරීත්වයකින් පමණි.