“ව්‍යසනයක් කොතරම් ස්වභාවික වුව ද එය කිසි ලෙසකින් ප්‍රජාවේ සියලු දෙනා කෙරෙහි සමාන ආකාරයකින් බලපෑම් නොකරයි. පවත්නා ව්‍යුහයන් හා සමාජීය තත්ත්වයන් අනුව ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් එහි බලපෑමට ලක් වන්නේ අඩුවෙනි. ව්‍යසනයක පහර එල්ල වන සෑම තැනකම මේ වෙනස දැකගත හැකිය.” (Oxford International, 2005)

කොරෝනා ව්‍යසනයේ තෙවන රැල්ලේ ඉතා අනතුරුදායක අදියරක පසු වෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට බොහෝ විදේශ රටවල් විසින් තම වැසියන්ට තහනම් කලාපයක් ලෙස නම් කොට හමාරය. අනෙක් පසින් එතෙක්, මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ සිදු වූ ඛේදජනක, අතිවිශාලම සමුද්‍ර විනාශය සිදු වී අවසන්ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මේ වන විට තමන්ගේ ජීවිතය පිළිබඳව පවා ජනතාව තුළ පවතින්නේ අවිනිශ්චිත හැගීමකි. අයහපත් කාලගුණය හේතූවෙන් ද ජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ දීමේ සිදුවීම් වාර්තා වේ. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ කාලීන මාතෘකාව බවට පත්ව නිබෙන්නේ රාජකීය උපන් දින සාදය හා හංසමාලිගේ ක්‍රියාපිළිවෙතයි. රටේ නෛතික හා සමාජමය පද්ධතියට අනුගතව මේ මොහොතේ ඇය ඇතුළු පිරිසගේ හැසිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පිළිගත යුතුය.

ප්‍රධාන ප්‍රවේශ දෙකක් ඔස්සේ මේ පිළිබඳව සාකච්ජා කළ හැකිය. ඉන් පළමුවැන්න මෙවැනි අවස්ථාවක් තුළ නීතියට අවනත වීම හංසමාලිට පමණක් නොව රටේ ඉහළම තනතුරු දරන්නන්ගේ ද වගකීමක් බවයි. දෙවැන්න වන්නේ සංචරණ නීති හෝ වෙනයම් නීතියක් කඩකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වාර්තාගත සිදුවීම මෙය ද? යන්නයි. වරදට දඬුවම් ලැබීමෙන් අනතුරුව ද දිගින් දිගටම ඇයගේ හැසිරීම, විලාසිතා, කටහඬ සම්බන්ධ පුවත් මාධ්‍යයේ ප්‍රධාන පුවත් වීමෙන් මාධ්‍යයේ වගකීම හා හැසිරීම සම්බන්ධයෙන් ද මතුවන්නේ පිළිකුල් සහගත හැගීමකි. ව්‍යසන තත්ත්වය හමුවේ ජනතාව පත් වී ඇති අසරණභාවය, එදා වේල සරිකර ගත නොහැකිව රජයෙන් ලබා දෙන රු.5000 දීමනාවට කැති පොලු අමෝරාගෙන ඇණකොටා ගන්නා තත්ත්වයකට අද සමාජය පත්ව තිබේ. ඇයගේ හැසිරීම හෝ කතා විලාසය කෙසේ වුවත් ඇය ද මතු කර දක්වන මේ ප්‍රශ්න සමාජමය ප්‍රශ්න බව පිළිගත යුතු ය. විශේෂයෙන් නාගරික පරිසරයේ එදා වේල සපුරා ගත් බොහෝ දෙනා වෙනුවෙන් කුමන අයුරකින් හෝ සහනයක් ලබා දීමට ඔවුන්ගේ අස්වැසිල්ලෙන් බලයට පත් වූ පාලකයන් ඉදිරිපත් වූයේ ද යන්න සොයා බැලිය යුතුය. රැල්ලක් ලෙස වර්ධනය කළ යුත්තේ මෙවැනි තත්ත්වයන්ය.

ස්ත්‍රීය සම්බන්ධව විවිධ කෝණ ඔස්සේ සාකච්ජාවට භාජනය කිරීම ඉතිහාසයේ සිටම සිදු වූවකි. ලෝකයේ ස්ත්‍රීවාදීන් ද බොහෝ දෙනෙක් ස්ත්‍රීය සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික ප්‍රවේශයන් ඉදිරිපත් කොට තිබේ. පවත්නා සමාජය තුළ ඇය විසින්ම අර්ථකථනය කරනා ආකාරයට ඇය මේ වන විටත් සමාජයේ සංකේතයක් බවට පත් වී අවසන්ය. තවදුරටත් එම සංකේතය වර්ණවත් කිරීම හෝ මතුකර දැක්වීම සිදු වන්නේ ශ්‍රී ලාංකික සමාජයෙන්මය. මෙම තත්ත්වය තුළ පුරුෂමය අනන්‍යතාවයන් පමණක් නොව ස්ත්‍රී අනන්‍යතාවයන් ද පවතින බව පැහැදිලිය. වගකිව යුතු බලධාරීන් හෝ නිලධාරීන්ට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හා කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට බල කරන්නේ නම් එය හංසමාලිගේ ඇඟවීමට වඩා සැබෑ ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටීමකි. හංසමාලිගේ විනය, හික්මීම පමණක් නොව මේ මොහොතේ ස්ත්‍රී ලාලිත්‍ය සම්බන්ධයෙන් ද සමාජය තුළ ප්‍රශ්න මතු කරන පිරිස කොරෝනා ව්‍යසන තත්ත්වය තුළ තමා කොතරම් ස්වයං හික්මීමක් සහිතව හැසිරෙන්නේ ද යන්න පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සෑම පුද්ගලයෙකුම කල්පනා කළ යුතුය.

ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් හෝ ප්‍රචාරණ මාධ්‍යයක් වශයෙන් යොදා ගැනීම ශ්‍රී ලාංකික සමාජයේ නිරන්තරයෙන් සිදු වන්නකි. නමුත් සිදු වූ සමුද්‍රීය හා පාරිසරික විනාශය සම්බන්ධයෙන් වගකීමට මේ වන තෙක් කිසිවෙකුට හැකියාවක් ලැබී නොමැත. ප්‍රතිපත්ති හා වැඩසටහන් සැලසුම් කිරීම ශ්‍රී ලංකාවේ විලාසිතාවක් බවට පත්ව ඇති මේ මොහොතේ එයට හංසමාලිගේ විලාසිතාවන් ද ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් මතු වන්නේ විවේචනාත්මක ඇගවීමකි. වගකිව යුතු දේශපාලනයේ නියුතු වූවන් ද වගකීම් විරහිත අදහස් දැක්වීම තුළ ජනතාව ද ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන තත්ත්වයට පත්ව තිබේ. අත්‍යවශ්‍ය සේවා සඳහා වුවත් මේ මොහොතේ සැබෑ අත්‍යවශ්‍ය සේවා මොනවාද යන්න පවා ජනතාවට අමතක වී ගොස් ඇත. මෙවන් තත්ත්වයක් තුළ දවසේ පුවත බවට හංසමාලි පත් වන්නේ නම් එය විනෝදාත්මක කාරණාවක් වුවත් එහි පවතින ඛේදජනක ඇගවීම මොනවට පැහැදිලිය.

නීතිය, සාධාරණත්වය අපේක්ෂාවෙන් නව ආණ්ඩුවක් පත්කර ගැනීම වෙනුවෙන් හැට නව ලක්ෂයක් වගකීම භාරගත් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලු දෙනා පිළිගත යුතු ය. නමුත් එලෙස පත්කර ගත් ආණ්ඩුව ද දිගින් දිගටම ’පිස්සු කෙළින්නේ නම්’ සමාජය ද වල්බූරු සමාජයක් බවට පත් වීමේ අනුග්‍රහය නිතැතින්ම ලැබෙන බව පැහැදිලිය. ස්ත්‍රීය ලිංගිකමය වස්තුවක් වශයෙන් භාවිතාවීම මාධ්‍ය තුළින් දිගින් දිගටම සිදු වන කරුණක් වන අතර ගැටලුව වන්නේ ඇයගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ සදාචාරමය අයිතියක් පවත්නිනේ කෙසේ ද යන්නයි. වැරැද්ද කාගේ වුව ද වැරැදදක් බව අවබෝධ කර ගත යුතු අතර දැඩි අර්බුදකාරී ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ හංසමාලිව සාධාරණ හෝ විවේචනය කිරීමකට වඩා රට තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් පවතින බවත්, ජනතාවට ආණ්ඩුවත්, පාලකයාත් තිත්ත වී තිබෙන තරමටම හංසමාලිගේ ප්‍රශ්නය ජනතාව විසින් දිගින් දිගටම භාවිතාවට ගැනීම තුළින් සහ ඒ තුළින් විනෝදයක් ලැබීමෙන් එකී තත්ත්වය තහවුරු වන බව කණගාටුවෙන් වුව ද මේ මෙහොතේ සඳහන් කළ යුතු ය.

සචිනි උමාෂා ගීතාංජලී