Colombo, Featured Articles, Features

2/3 නැවත කියවමු…


2වන සංස්කරණය
2/3 පසුගිය මහ මැතිවරණ කාලසමය හා ඉන් අනතුරුව ද බොහෝ කථාවට ලක්වූ මාතෘකාවක් විය. 2010 ජනවාරියේදී ජනපතිවරණ ජයග්‍රහණයත් සමඟ දැවැන්ත රාජ්‍ය බලයක් සහිතව මහමැතිවරණය තරඟ වැදි රාජපක්‍ෂ ආණ්ඩුව, එයින් පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලයට ආසන්නයට පැමිණියේය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම ඉලක්කය වූයේද එයිය. රාජ්‍ය බලය සහ අනෙකුත් සාදක මත එම ඉලක්කය ආසන්නයට පැමිණෙන්නට ඔවුන්ට පිළිවන් විය. මහජනයා වෙත පොරොන්දු රැසක් දෙමින් බලය පැමිණි මෙම ආණ්ඩුව මේ වන විට සියලු බල අධිකාරීන් තමන් වෙත නතුකරගනිමින් සිටී. රාජපක්‍ෂ ආණ්ඩුව පොදුජන සුගතියට වඩා ස්වකීය බලය පිළිබඳ දැඩි ලොල්බවක් දක්වයි. මෙවැනි වටපිටාවක 2/3 නැවත විමසා බැලීම තුළින් අනාගත බලඅරගලය සම්බන්ධව යම් නිර්ණායකවටල පැමිණීමට හැක වනු ඇත.

ළඟදීම ව්‍යවස්ථා සංසෝධනයක් පැමිණෙන අතර නොවැම්බර් මාසයේදී ජනාධිපති නැවත දිවුරම්දීමත් සමඟ ආණ්ඩුවේ ඇමති පුටුවල වෙනසක් සිදුවීමට නියමිතය. ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම සරත් ෆොන්සේකා හමුදාභාරයට ගන්නා අතර ඔහුට විරුද්ධව යුධ අධිකරණ දෙකක් පිහිටුවන ලදී. ඒ අතරේ ෆොන්සේකා පාර්ලිමෙන්තුවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වන අතර, එම නිසාම රාජපක්‍ෂ රෙජීමය ඔහුට විරුද්ධව මර්ධනය ඉතාම දැඩි නින්දිත සහගත තත්ත්වයකට ගෙන ඒ. නමුත් ඒ කරණා එසේවූවද රාජපක්‍ෂ ආණ්ඩුව යුද්ධය මාර්කට් කිරීම දිගම කරගෙන යමින් සියලු ආයතන සඳහා වැඩි වශයෙන් මිලිටිරි නිළධාරීන් පත්කරමින් සිටී.

තවමත් උතුරේ විශාල පිරිසක් කඳවුරුගත කර සිටින අතර ඔවුන්ගේ තත්ත්වය ඉතාම ඛේදනීයය. නැවත පදිංචි කළ ජනයාගේ තත්ත්වයද එයට දෙවැනි නොවේ. දමිළ විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් තවමත් කඳවුරුවල සිටින අතර ඔවුන්ගේ හෙට දවස සම්බන්ධ බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. කඳවුරු වල සිටින අය සම්බන්ධ තොරතුරු මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් ඉල්ලා සිටින නමුත් දිගින් දිගමට රාජපක්‍ෂ ආණ්ඩුව ඒ පිළිබඳ තොරතුරු දීම මගහරිමින් සිටී. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත වෙත බලවත් තර්ජනයකට ලක්වී ඇත. මේ අතර උතුරේ දමිළ ගම් තුළ හමුදා ගම්මාන පිහිටවීම තුළින් සහජීවනය යැයි කියන මුවාවෙන් උතුර දැවැන්ත ලෙස මිලිටරිකරණයකට ලක්කරමින් සිටී. රාජපක්‍ෂ ආණ්ඩුව ඉතාම පහත් ලෙස දෙමිළ ප්‍රශ්ණයට නිසි පිළිතුරු සැපයීමෙන් බැහැරව එය ප්‍රශ්ණයෙන් ලිස්සායාම දිගින් දිගටම කරගෙන යයි. සංහිදියාවේ කොමිසම පත්කර යුද්ධයට හේතු වු කරණු සෙවීමෙන් පමණක් ඔවුන්ගේ ප්‍රශ්ණ සියල්ල විසදේවියැයි සිතීම ඇත්තෙන්ම විහිළුවකි. 2/3 කට ආසන්න බලයක් පාර්ලිමෙන්තුවේ ලබාසිටින මහින්ද රාජපක්‍ෂට අවශ්‍යනම් මේ මොහොතේ උතුරේ ප්‍රශ්ණය සැබෑ ලෙසම විසදුම ලබාදිය හැක. නමුත් ඔහුගේ බලයේ සිටීමේ උපක්‍රමට හෙවත් මහජාතිකවාදය ඔස්සේ පැමිණි නිසා උතුරට සාධාරණයක් කිරීමට කිසිවිටෙක උත්සහයක් ගන්නේ නැත. දමිළ මිනිසුනේගේ ප්‍රශ්ණ සම්බන්ධව කථාකරන්නේ පවා එයට කිසිසේත් අදාළ නොවන පුද්ගලයින් සමඟයි. මෙලෙස උතුරට සලකණ ඔවුන් දකුණද එයට නොදෙවැනි ලෙස ඔවුන්ගේ බල ග්‍රහණයට හසුවෙනමින් පවතී.

හදිසි නීතියේ යම් කොටස් සංශෝධනය කළායැයි කීවද නැවතත් සියලු දෙනාට ඒ ඒ අදාළ පොළිසි විසින් නාමලේඛණ ගත කරගෙන යයි. එහි අපූරු කොටසක් පිරවීමට ඇත. ඒ එම ප්‍රදේශයේ රැකියාවකට හෝ වෙනත් කරුණක් වෙනුවෙන් නැවතී සිටීනම් එසේ සිටීමට බලාපොරොත්තු වන කාලය… කෙතරම් නින්දිත කාරණාවක්ද? අපේ රටට යැයි මහ ලොකුවට කියාගන්නා අපටම අපේ රටේම ප්‍රදේශයක් තුළ රැදීසිටින කාලය සඳහන් කිරීමට සිදුවීම.

මේ වන විට කොළඹ අවට ප්‍රදේශයන් හි පසුගිය කාලයේ පුද්ගලයන් බොහෝදෙනකු අතුරුදහන් විය. සියත රූපවාහිනී නාලිකාව වෙත ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඒ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන නිළධාරීන්නම් කියන්නේ මෙය කවුරුන් හෝ කොන්ත්‍රරාත්තුවක් මත සිදුවූ දෙයක් බවයි. නමුත් අප දන්නා කරුණක් ඇත. ඒ සියත ආයතනයේ හිමිකරු රොෂාන්ත කාරියප්පෙරුම පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහය දැක්වූ බව සහ රාජපක්‍ෂ රෙජීමය ඒ හරහා ඔවුන් සමඟ උරණ වූ බවත්. ඔය කාරණාව මෙම ප්‍රහාරය සමඟ සම්බන්ධයක් ඇතැයි සිතීමට අපට සාධාරණ කාරණා රාජපක්‍ෂ ආණ්ඩුව විසින්ම ප්‍රදර්ශණය කර තිබේ. මේ කාලය මෙරට විරුද්ධ මතයක් දැරීම දැළි පිහියෙන් කිරිකෑමට වඩා භායානකය.

පසුගිය දිනක රාජපක්‍ෂ ආණ්ඩුවේ රාජ ෆැන්ටසිය දැක බලා ගැනීමට අපටනම් හැකිවිය. කරදිය මංගල්‍යය නම වූ උත්සවය වෙනුවෙන් වියදම් කළ මුළු මුදල ලක්‍ෂ 870 හෝ ඊට එහා ගිය මුදලක් බව මධ්‍යයන් විසින් වාර්ථාකර තිබුණි. නමුත් තවමත් උතුරේ දකුණේ කෙතරම් මිනිසුන් ප්‍රමාණයක් කුසට අහරක් නොමැතිව, හිසට සෙවනක් නොමැතිව පීඩාවිදීද. ඔවුන් මේ ජෝගි නටන්නේ අපේ මුදල්වලිනි. මෙරට ඉපදෙන්නට සිටින දරුවා පවා ණයකරුවන් තමන්ගේ ෆැන්ටසි සන්තර්පණය කරගනිමින් සිටිති.

“මර්වින්” රාජපක්‍ෂ ආණ්ඩුවට තවත් සමාන පදයකි. මර්වින් සෑම මොහොතකම මාධ්‍ය අවධාන දිනාගැනීම සඳහා සිය රෙද්ද හෝ ගළවා පෙන්වීමට සමතෙකි. විටෙක ඔහු මාධ්‍ය ආයතනයක් වටලයි. තවත් විටෙක ඔහුගේ ආසනය පුරා කැලෑනීතියක් දමයි. දැන් ඔහුගේ අලුත්ම සෙල්ලම වූයේ ගස්බැදීමයි. පසුගිය සිදුවීම් සියල්ලේදිම ඇස්කන් වසාගෙන අඳගොළු බිහිරි ලෙස සිටි ඔහුගේ නායකත්වය නින්දෙන් අවදි වූ කලෙක මෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගනී. නමුත් ඇමති ආරක්‍ෂක අංශය සහ ඇමති වරප්‍රසාද කිසිවක් ඔහුට අහිමි නොවේ. ඒත් ඔන්න අපේ කට්ටිය හොද ෆන්. සියල්ලෝ කථාකරති. නමුත් සියල්ල සබුද්ධිකව බැලීමේදී සිද්ධිය වටහා ගැනීමට අමාරු නැත. නොවැම්බර් මාසයේදී ඇමති මණ්ඩල සංසෝධනයක් කිරීමට නියමිතය. ඒ අනුව පත්කළ ඔහුට විරුද්ධව පත්කළ විනය පරීක්‍ෂණයෙන් ඔහු නිදොස් කලෙ ය. ළඟකදී පැවැත්වූ සංඝසම්මේලනයත් මෙම නාටකයේම කොටසකි. මර්වින්ට තවත් ආචාර්‍ය උපාධියක් පිරිනැමීමට තීරණ කර ඇත. එය මෙරට ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේනමකගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධ වෙයි. දැන් මර්වින්ට තිබුණු පව් සෝදා අලුතෙන් හුළංගසා අවසානය. නොවැම්බර් මාසයේ ඇමති මණ්ඩලයට ඔහු නැවතත් ඇතුළත් වනු නොඅනුමානයි.

2/3 හරහා ලැබුණු ඒකාධිපතිවාදයට මහනායක හාමුදුරුවන්ගෙන්ද හොඳ තල්ලුවක් ලැබිණි. මෑත දිනකදී උන්වහන්සේ ප්‍රකාශ කර ශ්‍රී ලංකාවට අවශ්‍ය ඒකාධිපතිව පාලකයෙක් බවයි. උන්වහන්සේ නොදැන හෝ අමතකවී හෝ ඒසේ ප්‍රකාශකලද දැනටමත් අපට සිටින්නේ එවැනි පාලකයෙකි. අපේ උපාසක කට්ටිය එහෙයි හාමුදුරුවන්නේ කියා එය ඉස්මුදුනින්ම පිළිගනු සහතිකය.

නැවත වරක් ජනාධිපති පුටුවට පැමිණිමට සියල්ල දැන්මම සූදානම් කරමින් සිටී. රටේ දැවෙන ප්‍රශ්ණ සියල්ල පසෙක තබා තමන්ගෙ බලය වඩවා ගැනීමට සැරසෙයි. ස්වාධීන කොමිසම් සභා පණගැන්වීම, 13 වැනි වි්‍යසවස්ථා සංශෝධනය ආදිය උතුමාණන්ට මතකවත් නැත. ඔවුන්ට දැන් අවැසි සිය පුත්‍රයාට කල්යල් පැමිණෙන තෙක් විධායකයේ රැදී සිටීමටයි. ඔහු සිය පුත්‍රයා ගැන සිතනවා විනා රටේ අනෙක් පුතුන්ගෙන් ඔවුන්ට වැඩක් නැත.

2/3 නැවත කියවන විට වැඩියෙන්ම පෙනෙන පොදු ලක්‍ෂණය ඒකාධිපති බලය අන්සියල්ල ඉක්මවමින් තිබෙන බවයි. ඉදිරියේදී මෙය තවත් දරුණු වන මිසක සමනය වීමක් පේනනතෙක් මානයේවත් නැති බව දැනට කරනු ලබන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානයෙන් බැලීමේදී පෙනීයයි. විපක්‍ෂය දියාරු කරමින් සැරින්සැරේ කට්ටි කඩමින්, විනාශ කරන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදෙයේ මුදුන් මුලයි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස සියල්ල ඔවුන්ගේ බලයට යටත් ය. සියල්ල හැඩගැසිය යුත්තේ ඔවුන් වන්දනා කරන ආකාරයට වේ. වන්දනා මාන කරන තරමටම සැප වැඩිය. එසේ නැත්නම් ලංකාව එපායැයි කියා මෙහෙන් ගිය රූකාන්තට අද ඇමති ආරක්‍ෂ අංශයේ ආරක්‍ෂාවද සහිතව සංගීත සංදර්ශණවලට සහභාගීවන්නට හැකි වන්නට පුළුවන් කමක් නැත. රූකාන්ත සින්දුවක් කියා එසේ යද්දී ජන්දය දුන් අය කුසගින්නේ දවල් බත් පතක් ගන්නට හූල්ලති. රාජ්‍යසේවකයා 2500 ලැබෙන තුරු බලාසිටිති. ඒ අනුව 2/3 දුන් ජනතාව ලොවති – බලය ගත් සැප ඇත්තෝ කති බොති….බලයෙන් උදම්ව රඟති…

ක්‍රිෂාන් රාජපක්ෂ