කෝපයට පත් වූ විට සමහර සත්තු නියවති. ගොරවති, බුරති. ඇතැම් සතෙක් ඇස් දෙකෙන් පවා කෝපය පළ කරති. එසේම, සුහදත්වය සහ ප්‍රසාදය පෑමට ඉඟිබිඟි පාති. ආදරය පෑමට දැවටෙති, ලෙවකති. දැඩි ශෝකයට පත් විට බල්ලෝ කඳුළු සලති. ඇතැම් සතුන් භාෂණයෙන් තොරව කරන හැඟීම් සහ භාව ප්‍රකාශනය, අඩුවැඩි වශයෙන් මනුෂ්‍යයාගේ ඒ ක්ෂේත්‍රයේ චර්යා මාදිලිවලට යම් සමානකමක් දරයි. එහෙත්, මනුෂ්‍යයාට පමණක් ඇති, වෙන කිසි සතෙකුට නැති, එක් භාව ප්‍රකාශන මාදිලියක් තිබේ. එනම්, මුහුණ රතු වීමයි. එය සහසුද්දෙන්ම, මිනිස් චර්යාව තුළ පමණක්ම දැකිය හැකි, මානසික සංසිද්ධියක බාහිර ප්‍රකාශනයකි.

මුහුණ රතු වීම මානව ශිෂ්ටාචාරය තුළ ඇති වූ නව්‍ය තත්වයක් බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. මේ ශිෂ්ටාචාරයේ වයස අවුරුදු 15,000 ක් පමණ වෙයි. එනම්, එඩේර ජීවිතය නතර කොට, එක තැනක වාසය කරමින් සහ ගොවිතැනේ යෙදෙමින්, පුද්ගලික අයිතිය කියාපෑමට මිනිසුන් හුරුපුරුදු වූ කාලයයි. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, මුහුණ රතු වීම මේ ශිෂ්ඨාචාරයේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය කළ එක් කොන්දේසියක් බව පෙනේ.

මුහුණ රතු වීමේ හේතුව ලජ්ජාව වන අතර, එයින් සිදු කෙරෙන සමාජ කාර්යය වන්නේ, එක්තරා ආකාරයක ස්වයං-වාරණයකි. ඒ කෙසේද යත්, තමාගේ ලජ්ජාව වසං කරගත නොහැකි වීම (මුහුණ රතු වීම), ලජ්ජාවට හේතු පාදක වන කාරණාවන්ගෙන් වැළකී සිටීමට යම් උත්තේජනයක් සපයන බැවිනි.

මුහුණ රතු නොවන මනුෂ්‍යයන්

එහෙත්, ලජ්ජාවට පත්නොවන සහ ඒ නිසාම කවදාවත් මුහුණ රතු නොවන මනුෂ්‍ය කොට්ඨාශයක්ද සිටිත්. ඔවුන් අතරින් කැපී පෙනෙන්නේ අපේ කලාපයේ දේශපාලනඥයන් ය. ලජ්ජා නහර සුන්නත් කරගැනීමෙන් තොරව දේශපාලනය කළ නොහැකි බව මේ මිනිස්සු වටහාගෙන සිටිත්. දැන් ප්‍රශ්නය මතු වන්නේ මෙලෙසයි: මුහුණ රතු වීම මිනිසාගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට අවශ්‍ය කරන කොන්දේසියක් නම්, මුහුණ රතු නොවන මිනිසුන්ට පාලනය භාර වීම රටක යහපැවැත්මට සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

2015 ජනවාරි 8 වැනිදා පරාජයෙන් සතියක් ගියේ නැත. බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත්ව යන වීඩියෝ පටයක් සමාජගත විය. ඉන් පසු තව අවුරුදු ගානකට ඔහු ලංකාවට ආවේ නැත. යුද්ධයේ බිහිසුණු වකවානුවක ගෝඨාභය රාජපක්ෂ, මානසික සෞඛ්‍ය හේතු මත, හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමරිකාවට ගියේය. ලංකාවේ ස්ථිර පදිංචියට ඔහු ආපසු ආවේ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට අරඅඳින කාලයේ ය. මේ දෙන්නාම, එනම් බැසිල් සහ ගෝඨාභය ලංකාවේ පුරවැසි භාවය අතහැර ඇමරිකානු පුරවැසියන් බවට පත්වූහ. ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වීමෙන් පසුව ඇමරිකානු පුරවැසිභාවය අතහැරියේය. බැසිල් රාජපක්ෂ, ඇමරිකානු පුරවැසියෙකු වශයෙන්ම ගිය සතියේ ලංකාවේ මුදල් ඇමති පදවියට පත්වූවේය.

ශ්‍රී ලංකාව සහ සිංහල-බෞද්ධ අයිතිය පිළිබඳ කාරණයේදී ගෝඨාභය රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත් දැවැන්ත චරිතවලට පණදෙත්. මේ දෙන්නාම, අවශ්‍ය වුවහොත් ඒ සිංහල-බෞද්ධ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ඇමරිකානු රාජ්‍යය වෙනුවෙන් අවි ගැනීමට දිවුරා පොරොන්දු වෙන මොහොතේ, එනම් ඇමරිකානු පුරවැසිභාවය ලබාගන්නා මොහොතේ ඔවුන්ගේ මුහුණු රතු වන්නට ඇතැයි මම නොසිතමි. ඒ වෙනුවට ඔවුන් කටපුරා සිනාසෙන්නට ඇතිවාට කිසි සැකයක් නැත. හේතුව, ඔවුන්ගේ දිව්රුම භාරගත් ඇමරිකානුවා ඔවුන්ගේ සිංහල-බෞද්ධ දේශපාලනය ගැන තැකීමක් නොකළ බව ඔවුන් දැන සිටි බැවිනි. එසේම, ඔවුන්ගේ සිංහල-බෞද්ධ කම දැන සිටි සිංහල-බෞද්ධයා ඒ මොහොතේ සිටියේ, මේ අසිරිමත් සිද්ධිය නොපෙනෙන කිලෝමීටර් 14,000 ක් ඈත වෙනත් තැනක බැවිනි.

එහෙත්, ආපසු ලංකාවට පැමිණ, ඇමරිකානුවන් වශයෙන් යළිත් සිංහල-බෞද්ධ දේශපාලනය පටන්ගන්නා මොහොතේ ඔවුන් මුහුණු රතු කර නොගෙන සිටියේ කෙසේද? එසේ මුහුණ රතු කරගැනීමක් ඉල්ලා සිටින ජනතාවක් මේ රටේ නැති බව හොඳින්ම දන්නා නිසා යැයි අපට සැක කළ හැකිය. එසේ නම්, එය ඔවුන්ගේ වරදකට වඩා ජනතාවගේ වරදක් වශයෙන් වටහාගැනීමට අපට සිදු වෙයි.

ජනාධිපති ධුරයෙන් මන්ත්‍රී ධුරයට පල්ලම් බැසීම

ඊළඟට ජනාධිපති ධුරය ගන්න: ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වීමේ සිට, නගර සභා මන්ත්‍රීවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වීම වැනි විවිධ අදියර ගණනාවක් පසු කිරීමෙන් පසු ජනාධිපති ධුරයට ළඟා වීම සාමාන්‍ය ක්‍රමය වශයෙන් ගැනීමේ වරදක් නැත. මෙතෙක් ලංකාවේ ජනාධිපති ධුරයට පත් වූ පුද්ගලයන් අතරින් ආර්. ප්‍රේමදාස හැරුණු කොට සෙසු සියල්ලන් එවැනි අදියර හරහා ජනාධිපති තනතුරට පත්වූවන් නොවෙතත්, උදාහරණයක් වශයෙන් වත්මන් ජනාධිපතිවරයා එම තනතුරට ආවේ ඒ කිසි අදියරක මායිමකටවත් නොගොසින් වුණත්, ජනාධිපති පදවිය යනු රටේ පළමුවැනි පුරවැසියාගේ තානාන්තරය බව අවිවාදිතයි. ඒ නිසාම ඊට ලැබෙන උත්තරීතර බව අසමසමයි. එහෙත් මහින්ද රාජපක්ෂ මෙන් යම් අවස්ථාවක එම තනතුරට තරග කිරීමෙන් ලද පරාජයෙන් පසුව යළිත් වරක් නිකංම මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හිත හදාගනිද්දී හෝ මෛත්‍රීපාල සිරිසේන මෙන් යළිත් වරක් තරග කළොත් නියත පරාජය අත්වෙතැයි බියෙන් එම තරගයට ඉදිරිපත් නොවී යළිත් වරක් නිකං මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හිත හදාගනිද්දී හෝ, මුහුණ රතු කරවන ලජ්ජාවක් ඇති නොවුණේ කෙසේද? එය, සැබෑ හෝ ඊනියා ගර්වය ගිල ගැනීමට ඇති හැකියාව විසින් ඇති කළ අපූරු සාමර්ථයක් යැයි සිතිය හැකිය.

(මෙවැනි අවස්ථා දෙකක්, වෙනත් රටවල් ආශ්‍රයෙන් මෑත කාලයේ අප දැක තිබේ. ඒ රටවල් දෙකම දියුණු යැයි සැලකෙන රටවල් ය. එකක් ප්‍රංශයයි. 1974-1981 දක්වා එහි ජනාධිපතිවරයා වශයෙන් සිටි වැලරි ජිස්කාද් දෙස්තාන් පසුව සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් කටයුතු කෙළේය. අනිත් රට වන්නේ රුසියාවයි. එහි වර්තමාන ජනාධිපති පුටින් ව්‍යවස්ථාමය බාධකයක් නිසා ජනාධිපති ධුරයට යම් කාලයකට සමු දී සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කෙළේය. එහෙත් ඒ, නැවත වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන දීර්ඝකාලීනව ජනාධිපති පදවියට පත්වීමේ සැලසුම් සහගත ආයාසයක් නිසාවෙනි. එහි ප්‍රතිඵල මේ වන විටත් ඔහු භුක්ති විඳියි. ඒ නිසා, මුහුණ රතු කරගැනීමේ අවශ්‍යතාවක් ඔහු සම්බන්ධයෙන් මතු වන්නේ නැත.

මිස්ට ක්ලීන්

ලංකාවේ අද සිටින නායකයන් අතරින් රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ, ජනප්‍රිය බාල දේශපාලනයට යට නොවන, ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙකු වශයෙනි. නිදහසේ පටන් හත් වාරයක් පූර්ණ පාලන බලය හිමි කරගැනීමට සමත් වූ දැවැන්ත පක්ෂයක් ඔහුගේ නායකත්වය යටතේ කෙමෙන් පිරිහී, තරග කළ සියලූ අපේක්ෂකයන් අන්ත පරාජයට පත්කරගත් නින්දාසහගත ඡන්ද වටයකින් පසු අවසානයේ සියයට 2 ඡන්දදායක පදනමක් පමණක් ඉතිරි කරගෙන සිටියදී, එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගෙන හුදෙකලා මන්ත්‍රීවරයෙකු වශයෙන් යළිත් පාර්ලිමේන්තුවට පැමිණීම, මුහුණ රතු කරවිය යුතු සංසිද්ධියක් නොවේද?

ඇතැමුන් ඔහු සමාන කරනුයේ බටහිර දියුණු දේශපාලනඥයන්ගේ කුලකයටයි. ඉතා සුළු කාරණා මත, එහෙත් ප්‍රතිපත්තිමය සහ ආචාරධාර්මික හේතු මත, අගමැතිවරු පවා එවැනි රටවල ඉල්ලා අස්වෙති. එපමණක් නොව, සමස්ත දේශපාලන දිවියටත් සමුදෙති. තවත් සමහරු, මැතිවරණයක් ජයග්‍රහණය කරවීමට අසමත් වීම හේතුකොටගෙන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙති. එහෙත් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් එවැනි චරිතවත් ගතියක් ප්‍රදර්ශනය වී නැත. ගිය මාසය වන තෙක් ඔහුගේ ස්ථාවරය වුණේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මොනම හේතුවක් නිසාවත් පරාජිත කෙනෙකුට නොදිය යුතුය යන්නයි. එය ඉතා ශක්තිමත් සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයකි. මන්ද යත්, එකම මැතිවරණයකදී ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු ඒ මැතිවරණයේම ආනුශංගික කොටසක් වශයෙන් පත්කෙරෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම, එම ජනතාවගේ ප්‍රකාශිත කැමැත්තට සහ පැහැදිලි තීන්දුවට පයින් ගැසීමක් වන බැවිනි. ඇතැමුන් විසින් ආරෝපණය කරන ලද ගුණාංග සහිත රනිල් වික්‍රමසිංහ කෙනෙකු එවැනි පරාජයකින් පසු, තම පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් ලබාගැනීම, අත්‍යන්තයෙන්ම මුහුණ රතු කරවන අවස්ථාවක් විය යුතුව තිබුණි. එහෙත් එවැන්නක් අහලකින්වත් පෙනෙන්ට නොතිබුණි.

යම් දේශපාලනික තනුක කිරීමක් ඒ සඳහා ඔහු භාවිත කළ බව පෙනේ. එනම් හැකි තාක් කාලයට ඉඩ හැරීමයි. සමහර තුවාල බෙහෙත් පැලැස්තරයක්වත් නොඅලවා, සතියක් දෙකක් යන විට වේලෙයි. අලූත් පාර්ලිමේන්තුව ආරම්භයේ පටන් අවුරුද්දකට ආසන්න කාලයක් යන තෙක් එම ඇබෑර්තුව ඔහු පිරවූයේ නැත. ඒ ගන්දබ්බ කාලය තුළ, තමා මොන ලෙසකින්වත් එම මන්ත්‍රී ධුරය පිළිනොගන්නා බව සහ දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ආදී සම්භාව්‍ය කතා බොහොමයක් ඔහු කීවේය.

ජනතාවගේ අප්‍රසාදයත්, ඇති වූ නින්දිත පරාජය පිළිබඳ උණුසුමත් ඇල්මැරෙන්නට ඒ කාලය පප්‍රමාණවත් විය. අවසානයේ ඔහු නිරුපද්‍රිතව පාර්ලිමේන්තුවට සැපත් විය. මුහුණ රතු වීමක් නැත. දැන් ඔහු, ඉස්සර වගේම, ‘‘බාල දේශපාලනයට යට නොවන, ප්‍රතිපත්තිගරුක’’ මොළකාරයා ය.

මේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනඥයන් මොහොතකට පැත්තකින් තියන්න: රාජපක්ෂලාගේ ජාතිවාදී සහ ජාතිකවාදී දේශපාලනයට සිවිල් බලය සැපයූ ගෙවිඳු කුමාරතුංග එක් මාධ්‍යකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට දෙන පිළිතුරක් ඇතුළත් වීඩියෝ පටයක් පසුගිය දා දකින්නට ලැබුණි. මාධ්‍යකරුවාගේ ප්‍රශ්නය වුණේ, සිංහල ජාතිකත්වය වෙනුවෙන් තදින් පෙනී සිටින ඔහු වැනි කෙනෙකු බැසිල් රාජපක්ෂ වැනි ද්විත්ව පුරවැසියෙකු (එනම්, ඇමරිකානු පුරවැසියෙකු) පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීම දකින්නේ කෙසේද යන්නයි. ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව සංශෝධනයක් හරහා ද්විත්ව පුරවැසි භාවය නුසුදුසුකමක් බවට පත්කිරීමට ආණ්ඩුවේ බලධාරීන් තමන්ට පොරොන්දු වී ඇති බවත්, ඒ ගැන තවමත් තමන් අපේක්ෂා සහගතව සිටින බවත් ඔහුගේ පිළිතුර විය. ඒ පිළිතුර දෙන වෙලාවේ ගෙවිඳු කුමාරතුංගගේ මුහුණ රතු වුණේ නැත. ඉන් දවසකට හෝ දෙකකට පසු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට විත් මුදල් අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

‘‘කපටි නරියා’’

1513 ශීත කාලයේ එක් රෑක තැබෑරුමක් තුළ සප්පායම් වන අතරේ ඉතාලි ජාතික ලිපිකරුවෙක් පත්‍රිකාවක් ලිවීමට පටන් ගත්තේය. ‘‘කුමාරයා’’ නමින් එය ඔහු නම් කෙළේය. ලිපිකරුවාගේ නම නිකොලෝ මකියාවෙල්ලි ය. එදා පටන් අද දක්වා, රාජරාජ මහාමාත්‍යාදීන්ට සේම, අගමැතිවරුන්ට සහ ජනාධිපතිවරුන්ට සේම දරුණු ඒකාධිපතියන්ටත් ඔබින අත්පොතක් බවට එය පත්විය. 5 වැනි චාල්ස් අධිරාජයාගේ සහ 14 වැනි ලූවී රජුගේ මෙන්ම, ජර්මනිය එක්සේසත් කළ බිස්මාක්ගේ පමණක් නොව, සමාජවාදී විප්ලවයකින් බලයට පත් ජෝසප් ස්ටැලින්ගේ පවා ඇඳ ළඟ කනප්පුවේ මේ පොතේ පිටපතක් තිබුණු බව වාර්තා වෙයි. වෝටර්ලූ අවසාන සටනින් පරාජයට පත් වූ අවස්ථාවේ නැපෝලියන් බොනපාට්ගේ අශ්ව කරත්තය තුළ තිබී තවත් පිටපතක් සොයාගැනුණි. චර්චිල්, මුසෝලිනී සහ හිට්ලර්ද මේ පොත කියැවූ බවට සාක්ෂි තිබේ.

පාලකයන් සඳහා වන මකියාවෙල්ලිගේ දර්ශනය සැකෙවින් දක්වතොත් මෙසේ ය:

‘‘බලය අවශ්‍ය කරයි නම් එය අවශ්‍ය වෙලාවේදී ඩැහැගත යුතුය. එහිදී ලජ්ජාවට පත්විය යුතු නැත. ප්‍රතිපත්තිවලට සහ ආචාරධර්මවලට යටත් විය යුතු නැත. පිළිපදින මාර්ගය කුමක් වෙතත්, පරමාර්ථය ප්‍රයෝජනවත් නම්, සියල්ල යහපත් ය. තමාගේ ආරක්ෂාව තමා සලසා නොගත්තොත් ජනතාව කරේ නැඟීමට එති. ජනතාව යනු, සාමාන්‍යයෙන් ගත් විට, අකෘතඥ, වැනෙනසුළු, බියගුළු, කුහක, තණ්හාධික රොත්තකි. කවුරු හෝ ඔබට යහපතක් කළොත් ඊට නොරැවටෙන්න. ඒ උදව්ව මායාවකි. මන්ද යත්, තමාගේ අවශ්‍යතාවක් සඳහා මිස මිනිස්සු කවදාවත් අනෙකාට යහපතක් නොකරති.’’

මකියාවෙල්ලි මහා දාර්ශනිකයෙකු නොවේ. එහෙත් සමාජ බල ව්‍යුහය තුළ අනාදිමත් කාලයක් තිස්සේ තීරණාත්මක වී ඇති මිනිස් ගති ස්වභාවයන් ඔහු සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. එහිදී, බහුතර ජනබල මූලාශ්‍රය, සුළුතර පාලක බල කාම සාධනය සඳහා ප්‍රශස්ත මට්ටමින් වාසියට ගන්නේ කෙසේද යන්න සිය නිර්දේශ තුළ ඇතුළත් කිරීමට ඔහු විශේෂ ප්‍රයත්නයක් ගත්තේය.

ගිය සතිය වන විට අපේ මහබැංකුවේ ණය බර රුපියල් ට්‍රිලියනය ඉක්මවූ බව එක් මාධ්‍ය වාර්තාවක සඳහන් විය. ට්‍රිලියනයට බිංදු දොළහකි. සුද්දාගෙන් රට නිදහස් කරගෙන අවුරුදු 73 කි. නිදහසෙන් ලද එවැනි අස්වැන්නක් ගැන අපේ මුහුණු නිකමටවත් රතු නොවන්නේ ඇයි?

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda