Colombo, Featured Articles, Features

ශ්‍රී ලංකාව 66 වැනියා


ශ්‍රී ලංකාව 66 වැනියා – සුනන්ද දේශප්‍රිය

අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාධක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ වැදගත්කම දෙන්නේ කුමන සාධක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය.

ලෝකයේ වැඩිම උණුසුම වාර්තා වී ඇති රට ලිබියාව ය. ඒ 1922 වසරේ සැප්තැම්බර් 13 දා ය. එදින ලිබියාවේ උණුසුම සෙල්සියස් අංශක 57.7ක් දක්වා ඉහළ ගියේ ය. එළෙස කලින් කලට අධික උෂ්ණත්වයන් වාර්තා වන රටවල් ගණනාවක්ම ඇතත් වර්ෂය පුරාම පවතින උෂ්ණත්වයේ සාමන්‍ය වැඩිම රට ඉතියෝපියාව යි. එහි සාමන්‍ය උෂ්නත්වය සෙල්සියස් 34.4 කි. බොහෝ ජීව විද්‍යාඥයින් කල්පනා කරන්නේ ආදිතම මානවයා බිහි වූ රට ඉතියෝපියාව බව යි.

ලෝකයේ සීතලම රට ඇන්ටාර්ටිකාව ය. එහි සීතල සෙල්සියස් සෘණ 82.9ක් තරම් පහළ යා හැකි ය. එහි නිත්‍ය ජනගහණයක් නැත. එනමුත් කැනඩාව, ආමෙරිකාව සහ රුසියාව යනාදී රටවල් අධික සීතලෙන් ගල් ගැසෙන ජනාවාස වූ පෙදෙස් තිබේ.

ශ්‍රී ලංකාවට 66වන ස්ථානය හිමි වූ ඇමෙරිකාවේ නිවිස් වීක් සඟරාව කළ සමීක්ෂණයට එවැනි කරුනු බලපෑවේ නැත. ඉහත කී කරුණ අපට පෙන්වන්නේ ඕනෑම සමීක්ෂණයක තිබිය හැකි සීමාවන් ය. කොතරම් යහපත් වුවත් අංක එකට පැමිණි පින්ලන්තය ද මාස හතරක් පුරා හිමෙන් වැසී යන අධික සීතල සහිත රටකි. අංක හයට පැමිණි නොර්වේ ද සීතල දේශගුණය උරුම කරගත් රටකි. ශ්‍රී ලංකාව වැනි නිර්වර්ථන කලාපීය වැසියනට එවැනි රටක් ජීවත් වීමට හොඳම රටක් වන්නේ නැත.

නිවස්වීක් සඟරාව සිය සමීක්ෂණය හඳුන්වා දුන්නේ මෙසේ ය: “ඔබ අද උපත ලද හොත් සෞඛ්‍යමත්, සැළකිය යුතු තරම් සෞභ්‍යාගමත් සහ ඉහළට යෑමේ ආර්ථික අවස්ථාවන් වඩා හොඳින්ම ලබා දිය හැකි රට කුමක් ද? මෙම විශේෂ සමීක්ෂණයේ දී අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන තත්ත්වය, ආර්ථික ඉඩ ප්‍රස්ථා සහ දේශපාලන පරිසරය යන කරුණු පහ සළකා බලන ලදී.”

නිව්ස් වීක් සඟරාවට අනුව ජීවත්වීමට හොදම රටවල් 100 ය තෝරා ගන්නා ලද්දේ එම සමීක්ෂනයට අනුව ය. ඒ අතරින් පළමු වැන්නා වූයේ ළකුනු 89.40ක් ලබා ගත් පින්ලන්තය යි. ඒ අතරින් 100 වන ස්ථානය ගත්තේ අප්‍රිකානු රටක් වන බුකිනෝ පූසෝ ය. එයට ළකුනු 33.59ක් ලැබුණු අතර ශ්‍රී ලංකාව 66 වන තැනට පැමිණයේ ළකුණු 58.80ක් ලබා ගනිමිනි.

දකුණු ආසියාවේ රටවල් අතුරින් මාලදිවයින, නේපාලය සහ බූටානය ජීවත්වීමට හොදම රටවල් 100 අතරට පැමිණියේ නැත. ශ්‍රී ලංකාව ලෝකයෙන් ම 66 වන තැනට පත් වෙද්දී ආසියාවෙන් හත් වැන්නා බවට ද දකුණු ආසියාවෙන් පළමුවැන්නා බවට ද පත් විය. ඒ ගැන බොහෝ සාඩම්බර ප්‍රකාශ අසන්නට ලැබුණි.

දකුණු ආසියනු රටවල් ලබා ගත් ස්ථාන සහ ළකුණු

ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉහළට පැමිණියේ විශේෂයෙන්ම අධ්‍යාපනය යටතේ සළකා බලන ලද සාක්ෂරතාවයේ ඉහළ අගය ( 98.8 සහ 61.4), සෞඛ්‍ය යටතේ සළකා බලන ලද පරමායුෂ (63 සහ 56) යන කරුණු දෙක සඳහා ලද වැඩි ලකුණු නිසා ය. ජීවන තත්ත්වය යටතේ ද ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු ලබා ගත්තේ ය.

දේශපාලන පරිසරය යන සාධකය යටතේ සළකා බලන ලද්දේ මැතිවරණයකදී ඡන්දය දෙන ප්‍රතිශතය සහ පවත්නා ආණ්ඩුව කොතරම් ස්ථාවරද යන්න ය. එහිලා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබද දර්ශක සළකා බැලුනේ නැත. ඊට හොදම නිදසුන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නැති සහ දරුණු මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යන සිංගප්පූරුව 20වන ස්ථානය ලබා ගැනීමයි. දේශපාලන ස්ථාවර බව අතින් එය ළකුනු 84.5ක් තරම් ඉහළ අගයක් ලබා ගත්තේ ය. මෑත කාලීන සමාජ සමීක්ෂන පෙන්වා දෙන්නේ සිංගප්පූරුවේ ජනයාගෙන් සියයට 20ක් ම අවස්ථාවක් ලදොත් නිදහස සහිත වෙනත් රටක ජීවත්වීමට අපේක්ෂා කරන බව ය. එවැනිම පොලිස් රාජ්‍යක් පවත්වා ගෙන යන ඊශ්රායලය 22වන ස්ථානය ලබා ගත්තේ ය. දුප්පත්කමින් පිරි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් නැතිව එකම පක්ෂයක් විසින් වසර 60ක් පාලනය කරන කියුබාව 50වන ස්ථානය ලබා ගත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍යට වැඩි ළකුනු ලබා ගනිමිනි. දේශපාලන ස්ථාවර බව අතින් ශ්‍රී ලංකාව ළකුනු 58.5ක් ලබා ගන්නා විට ඒක පාක්ෂික පාලනයක් සහිත කියුබාව ළකුනු 57ක් ලබා ගත්තේ ය. චීනය දේශපාලන වටපිටාව අතින් 99 ස්ථානය ලබා ගත් නමුත් සමස්ත වශයෙන් 59 වැන්නා විය.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සාර්ථකව පවත්වා ගෙන යන සියළුම රටවල් පාහේ මෙම දර්ශකයෙහි ඉදිරියේම සිටිති. ප්‍රජාතන්ත්‍රවාදය සහ විවිධාකාර සමාජ සුභසාධන පිළිවෙත් පවත්වාගෙන යන පින්ලන්තය, ස්වීඩනය, නොර්වේ, ඩෙන්මාර්කය. කැනඩාව, ස්විස්ටර්ලන්තය යනාදී රටවල් ලෝකයේ ජීවත්වීමට යෝග්‍ය හොදම රටවල් අතර සිටිති.

රටවල් කිහිපයක් සාධක පහ යටතේ ලබා ගත් ස්ථාන පෙන්නුම් කරන පහත වගුවෙන් කරුණූ ගණනාවක් දැක ගත හැකිය. එනම් යම් යම් සාධක අතින් ඉතා පහළ සිටින රටවල් වෙනත් සාධක මගින් ඉදිරියට පැමිණ ඇති අන්දම යි. චීනය ගන්න. එය දේශපාලන පරිසරය යටතේ ඉන්නේ 93 වන ස්ථානයේ ය. නමුත් ආර්ථික ඉඩ ප්‍රස්ථා යටතේ 13 වන ස්ථානය සහ සොඛ්‍ය යටතේ 42 වන ස්ථානය ලබා ගනිමින් එරට ජීවත්විමට හොඳම 59 වන තැනට පැමිණේ. ඉන්දියාව ගන්න. එරට ආර්ථික ඉඩ ප්‍රස්ථා අතින් 38 සහ දේශපාලන පරිසරය අතින් 48 වන ස්ථානය ලබා ගන්නා නමුත් සමස්ත දර්ශකයේ ලබා ගන්නේ 78 වන තැන ය. ඊට හේතුව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ එහිම විපාකයක් වන පරමායුෂ සම්බන්ධයෙන් ලබා ගන්නා පහළ ස්ථානයන් ය.

කියුබාව දෙස බලන්න. එරට 50 වන තැන ඉන්නේ සමාජවාදී ක්‍රමය විසින් මුල්තැන දෙන ලද අධ්‍යාපනය සහ සෞඛ්‍ය යටතේ ලබා ගත් ප්‍රගතිය නිසා ය. එනමුත් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නොමැති වුව හොත් එම දිනා ගැනීම් දැන් ඇත්තේ අනතුරක ය. මන්ද යත් සමාජවාදී ක්‍රමය අර්බූදයකට හසුව ඇති නිසා ය.

මෙම දර්ශකය සකස් කිරීමේ දී මානව නිදහස සහ ප්‍රජානත්ත්‍රවාදී දේශපාලන වටපිටාව පිළිබඳ සාධකය එක් කරනු ලද්දේ නම් ශ්‍රී ලංකාව සිටිනු ඇත්තේ තව බොහෝ පහළ ය. ඉන්දියාව දක්වන ආර්ථික ප්‍රවේගයට වඩා අප ඉන්නේ බොහෝ පහලිනි. එමෙන්ම දේශපාලන පරිසරය අතින් ද අප බොහෝ පහළ ය. අනාගතය දෙස බලන්නේ නම් වැදගත්ම සාධක දෙක ඒවාය. මන්ද යත් එම සාධක විසින් අනෙක් සාධක වෙනස් කළ හැකි නිසා ය.

ශ්‍රී ලංකාව වැඩිම ළකුණ ලබා ගත් සාධක දෙක එනම් අධ්‍යපනය (66) සහ සොෟඛ්‍ය (61) දිර්ඝ කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වූ සුභ සාධක රාජ්‍ය පිළිවෙත්හි ප්‍රතිපලයන් ය. දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ අඩු ළකුණු මෑත කාලීන දේශපාලන අර්බූදයන් හි විපාක ය. දුගී බාවයෙන් පිරි දකුණු ආසියාවේ පළමුවැන්නා වීම පිළිබඳව පුරාජේරු කියමින් සිටිනවා වෙනුවට අප කල්පනා කළ යුත්තේ ලෝකයෙන් 66 වැනියා දක්වා පහළට වැටීම පිළිබඳව ය. එපමණක් නොව මෙතැනින් තවත් පහළට නොවැටී ඉදිරියට යන්නේ කෙසේ ද පිළිබඳව ය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට පහළින් සිටින මුත් මෙම දර්ශකයේ ම කොටසක් ලෙස ඉදිරිපත් කර ඇති ලෝක නායකයින් අතර ගෞරවයට ලක් වූ ජනනායකයින් දස දෙනා අතර මුලින් ම සදහන් වන්නේ ඉන්දියනු අගමැති මන්මොහන් සිං ය. ඔහු ගැන නිවස්වීක් සඟරාව මෙසේ කිය යි:

“ හිටපු ආර්ථිකඥයකු වන විදග්ධවූත් නවීනවූත් අගමැති මන්මොහන් සිං 21වන සියවසේ නැගී එන බලවතකු බවට ඉන්දියාව පරිවර්ථනය කිරීමේ තීරණාත්මක භූමිකාවක් රඟ පෑවේ ය. එසේ නමුත් ලෝක නායකයින් අතර ගෞරවාදරය සිං දිනා ගෙන ඇත්තේ ඔහුගේ නිහතමානී පුද්ගල ශෛලිය විසිනි. ඔව්හු සිං හඳුන්වන්නේ නිරහංකාර, විනීත, අදූෂිත නායකයකු ලෙස ය. ඔහු දේශපාලන නායකයින්ට ආදර්ශයකි.” ඔහු හැරණු විට දකුණු ආසියාවේ එවැනි එක් නායකයකු සමීක්ෂණය සඳහන් කරයි. ඒ හරිත ගුරු ලෙස හදුන්වා දී ඇති මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් නිශාද් ය. අපේ නායකියින් කිසිවකු එහි නැත.