iMage: blackforest-solutions

පසුගිය මාස කිහිපය පුරාම ලංකාවේ උණුසුම්ම මාතෘකාවක් වී තිබුණේ චීනයෙන් පැමිණි කාබනික පොහොර නැවයි. මෙම පොහොර තොගයේ ගුණාත්මක භාවය පිළිබඳව විවිධ පාර්ශ්වයන් අතර ඇතිවුණු උණුසුම් වචන හරඹය අවසානයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණු වලටත් කළු පැල්ලමක් එක් කළ බවක් පෙනුණි. මෙම ගැටළුව අතරතුරදී, බොහෝ දෙනෙක් විවිධ මාධ්‍යයන් ඔස්සේ මේ පිළිබඳව ඔවුන් දරනා අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඇතැමුන් පොහොර තොගයේ ගුණාත්මක බව ගැන කතාකළ අතර තවත් සමහරුන් ආනයන ක්‍රියාවලිය පිළිබඳව සිය අප්‍රසාදය පළකර තිබිණි. වඩාත් සිත්ගන්නා කරුණක් වූයේ එය “කුණුවලින් සාදන ලද පොහොර” තොගයක් බව විශ්වාස කළ නිසා ප්‍රතික්ෂේප කළ තවත් පාර්ශවයක්ද මේ අතර සිටීමය. මෙම චීන සමාගම මුහුදු පැලෑටි වලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූව ද, ලංකාවට එවූ මෙම විශේෂිත තොගය මුහුදු පැලෑටි වලින් සාදන ලද එකක්දැයි මම නොදනිමි.

මෙම ලිපිය මගින්, එහි ගුණාත්මක භාවය හෝ සංයුතිය පිළිබඳ පශ්චාත් විශ්ලේෂණයක් කිරීමට මම කිසිසේත්ම උත්සාහ නොකරමි. මෙම ලිපිය මගින් මගේ අවධානය යොමු වන්නේ අප සමාජයේ ඇතැම් අය කුණු කසළවලින් සෑදී ඇතැයි යන සැකය මත එය ප්‍රතික්ෂේප කිරීමට උත්සුක වූ පසුබිමයි.

කසළ (හෝ අපද්‍රව්‍ය) වලින් කාබනික පොහොර සෑදීම අලුත් හෝ විදේශීය සංකල්පයක් නොවේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ගව පොහොර කාබනික පොහොරක් ලෙස භාවිතා කර ඇත. කුකුළන් ඇති කිරීම කර්මාන්තයක් ලෙස වර්ධනය වන විට කුකුළ් පොහොර ද තවත් කාබනික පොහොර වර්ගයක් ලෙස ජනප්‍රිය විය. ගෙවතු කොම්පෝස්ට් මිශ්‍රණද ගස්වල කොළවලට පමණක් සීමා නොවීය: බොහෝ දෙනෙක් ඒ සඳහා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ද භාවිතා කළහ. සත්ත්ව අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය යන දෙවර්ගයම අයත්වන්නේ ද ඝණ අපද්‍රව්‍ය කුලකයටමය. අපද්‍රව්‍යයන් පොහොර ලෙස භාවිත කිරීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවන බව ද අප සටහන් කළ යුතුය. මෙය සමස්ත මානව වර්ගයාගේම කතාවේ කොටසකි. ඉතිහාසය දෙස බලන විට පෙනීයන්නේ, ආරක්ෂිතතාවය (විශේෂයෙන් සත්ව පොහොරවල ඇති රෝග කාරක මගින් ඇති විය හැකි අවදානම අඩුවෙන ආකාරයේ යෙදීම්) ගැන සැලකිළි වන තාක් කල් අපද්‍රව්‍ය මෙලෙස පොහොර භාවිතා කිරීමෙන් හානියක් සිදුවී නැති බවයි.

දැන් ආපසු හැරී බලන විට බියකරු බවක් පෙනෙන්නට තිබුණද, මිනිස් අසූචි ද පොහොර ලෙස විකිණීම කලකට පෙර සාමාන්‍ය දෙයක් වී තිබිණි. ශතවර්ෂයකට පමණ පෙර නගරවලට මිශ්‍ර අපජලය එකතු කිරීමේ පද්ධති ලැබෙන තෙක් ලොව පුරා බොහෝ විශාල නගරවලින් එකතු කළ මිනිස් අසූචි වල ගමනාන්තය වූයේ කෘෂිකාර්මාන්තයයි. අපජලය එකතු කිරීමේ පද්ධති නගරවලට හඳුන්වාදීම තුලින් ඇත්තටම සිදුවූයේ කෘෂිකර්මාන්තය තුල මිනිස් අපද්‍රව්‍ය භාවිතය වඩාත් ආරක්ෂිත මට්ටමකට වැඩිදියුණු කිරීමට මගක් පෑදීමයි. එකතු කරන ලද නාගරික අපජල පවිත්‍රාගාරයක පිරිපහදු කරන විට, එහි එක් අතුරු ඵලයක් වන්නේ වතුර පෙරා ඉවත් කළපසු ඉතිරිවන අපද්‍රව්‍ය රොන්මඩයි. කෙළින්ම මිනිස් අපද්‍රව්‍ය කෘෂිකර්මාන්තයට හරවනු වෙනුවට, දැන් සිදුවන්නේ ඉහතකී අපද්‍රව්‍ය රොන්මඩ කෘෂිකාර්මික යෙදුම් ලෙස භාවිත කිරීමයි.

අපද්‍රව්‍ය කළමනාකරනයේ දියුණුව හරහා කෘෂිකාර්මික යෙදීම් සඳහා ප්‍රයෝජනවත් වීමට ඉඩ ප්‍රස්ථා ලැබුණේ අපජලයට පමණක් නොවේ. ඝන අපද්‍රව්‍ය අනුගමනය කළේද එම මාර්ගයමයි. කොම්පෝස්ට් නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වර්ධනය වන විට, එයට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වූ ඉල්ලුම ද ඒහා සමානව වැඩි විය.

කොම්පෝස්ට් සෑදීම සමහර රටවල මහා පරිමාණ කර්මාන්තයක්වී ඇති අද දවසේ, එයට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම දැන් ප්‍රධාන වශයෙන් සපුරනු ලබන්නේ නාගරික ඝන අපද්‍රව්‍ය ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලබන නගරවල එකතු වන කැලි කසළ මගිනි. නාගරික ඝන අපද්‍රව්‍ය සියයට සියයක් කොම්පෝස්ට් කළ නොහැක. කොම්පෝස්ට් සෑදීම සඳහා භාවිතා කළ හැක්කේ නාගරික ඝන අපද්‍රව්‍ය වල තිබෙන ආහාර සහ කොළරොඩු (අංගන අපද්‍රව්‍ය) වැනි කාබනික කොටස් පමණි. නගරයක හෝ රටක ඝන අපද්‍රව්‍යයන්හි කාබනික ප්‍රතිශතය ප්‍රධාන වශයෙන්ම තීරණ වෙන්නේ එම ජනතාවගේ ජීවන රටාව සහ ආර්ථික තත්ත්වය අනුවයි. එම තරාතරම් අනුව නාගරික ඝන අපද්‍රව්‍ය වල තිබෙන කාබනික ප්‍රතිශතය 20% සිට 70% දක්වා පුළුල් පරාසයකින් වෙනස් විය හැකිය. නමුත් නගරයක හෝ රටක දිනපතා එකතුවන මුළු කසළ පරිමාව සලකා බලනවිට පෙනී යන්නේ, 20% වැනි අඩු කාබනික ප්‍රතිශතයක් වුවද මහා පරිමානයේ කොම්පෝස්ට් නිෂ්පාදනාගාරකට අවශ්‍ය තරමේ අමුද්‍රව්‍ය සැපයුමක් සහතික කළ හැකි බවයි.

කාබනික අපද්‍රව්‍ය යනු සම්පතක් බව අවබෝධ කරගත් රටවල් දැනටමත් එයින් ප්‍රතිලාභ ලබයි. මෙම ලැයිස්තුවට සංවර්ධිත රටවල් පමණක් නොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ද ඇතුළත්ය. ශ්‍රී ලංකාව තවමත් ඒ අතරට නොපැමිණීම කනගාටුවට කරුණකි. ඊට පටහැනිව, අපි තවමත් කාබනික අපද්‍රව්‍ය දෙස බලන්නේ පිළිකුලෙනි. මේ නොදැනුවත්කම අප සමාජය තුළ බොහෝ දුරක් ගමන්කර, මා මුලින් සඳහන් කළ ආකාරයේ “කුණුවලින් සෑදූ පොහොරක් අපට එපා” වැනි ප්‍රකාශයන්ද ජනනය කර ඇත. කැළිකසල වලට සෘණාත්මක අර්ථයක් අප සිත්තුළ පැලපදියම් වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිශ්‍රවූ අපද්‍රව්‍යවල ඇති අප්‍රසන්න බවයි. දුගඳ හමමින් කුණුවෙන කාබනික ද්‍රව්‍ය සමග මිශ්‍රවූ අපද්‍රව්‍යවල වටිනාකම කිසිවෙකුට එකවර නොපෙනීම සාධාරණය. නමුත් එම අපද්‍රව්‍යම විවිධ වර්ගවල ද්‍රව්‍ය කණ්ඩායම් වලට වර්ග කළ විට මෙම සංජානනය වෙනස් වේ. උදාහරණයක් ලෙස, කඩදාසි/කාඩ්බෝඩ්, වීදුරු බෝතල්, ප්ලාස්ටික් භාණ්ඩ, සහ (ආහාර අපද්‍රව්‍ය වැනි) කාබනික ද්‍රව්‍ය ලෙසින් ඒවා වෙන් කර සැනෙන්, නිෂ්ඵල ලෙසින් පෙනුනු කසළ ගොඩක්, ප්‍රයෝජනවත් විය හැකි සම්පතක් බවට පත්වේ.

මේනිසා, කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් වැනි ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් බවට පත්වණු දැකීම ඔබේ අභිප්‍රාය නම්, මුලින්ම කළ යුත්තේ එය අනෙකුත් අපද්‍රව්‍යවලින් වෙන් කිරීමයි. පෙට්ටි හෝ බෝතල් හෝ ටින් කෑන් වැනි අනෙකුත් විශාල අයිතමයන් පහසුවෙන් ඉවත් කිරීම කළ හැකි නමුදු එය මිනිස් ශ්‍රමයෙන් සිදු කිරීම ලාභදායී නොවේ. නමුත් සැබෑම අභියෝගය එල්ලවන්නේ ඔබට පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි කාබනික ද්‍රව්‍ය සමඟ මිශ්‍රවී ඇති කුඩා ප්ලාස්ටික් දවටන, කැඩුණු වීදුරු කැබලි සහ ස්ටයිරෝෆෝම් වැනි කොම්පෝස්ට් කළනොහැකි කුඩා දේවල් මගිනි. මිශ්‍ර අපද්‍රව්‍ය වලින් කාබනික ද්‍රව්‍ය වෙන් කිරීමේ කාර්යය මුදල් හෝ තාක්‍ෂණය තිබුණද පහසු නොවේ. මේ සඳහාවූ සරලම පිළිතුර නම් අපද්‍රව්‍ය මිශ්‍ර නොකර සිටීමයි. කුණු ඉපදෙන තැනදීම ඔබ අතින් ඒවා වෙන් වූවොත් ක්‍රියාවලිය ඉතාම සරල වේ. මෙයින් අදහස් වන්නේ මෙම ක්‍රියාවලිය නිවසේදී හෝ ඔබේ සේවා ස්ථානයේ සිටම ආරම්භ විය යුතු බවයි. මේ සඳහා, මුළුතැන්ගෙයෙහි ජනනය කරන ආහාර අපද්‍රව්‍ය වැනි කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍යයන්ද (පිසීමේදී හෝ පරිභෝජනයේදී නිපදවන අපද්‍රව්‍ය මෙන්ම අනවශ්‍ය හෝ නරක් වූ ආහාර) සහ කොළ සහ අතු වැනි ගෙවතු අපද්‍රව්‍යයන්ද වෙනම බඳුනක එකතු කළ යුතුය. අපද්‍රව්‍ය ජනනය වන අවස්ථාවේදී වර්ග කිරීමේ මෙම ක්‍රමය “මූලාශ්‍රයේදී වෙන් කිරීම” ලෙස හැඳින්වෙන අතර, එය ඇත්ත වශයෙන්ම ඕනෑම තිරසාර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ උපාය මාර්ගයක් සඳහා වන්නාවූ පළමු පියවරයි.

අපද්‍රව්‍ය මූලාශ්‍රයේදී වෙන් කිරීම ඇත්තෙන්ම අපට නව සංකල්පයක් නොවේ. බෝතල්-පත්තර කරුවෙක් එනතුරු පරණ පත්තර, වීදුරු බෝතල්, පරණ යකඩ ආදිය එකතුකර තැබීමේ පුරුද්දක් කලකට පෙර අප සමාජය තුළ තිබුණි. එය ද්‍රව්‍ය කීපයකට සීමා වී තිබුණද, එදා අප කළේ එක්තරා ආකාරයක මූලාශ්‍රයේදී වෙන් කිරීමකි. විවෘත ආර්ථිකයේ ආගමනයත් සමග, විශේෂයෙන් ප්ලාස්ටික් වලින් වෙළඳපල පිරී ගියපසු, පසු එවැනි ද්විතීයික අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම පහත වැටුණු විට බෝතල්-පත්තර සම්ප්‍රදාය අපෙන් ඈත්විණි. කෙසේ වෙතත්, මෑත කාලීන ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යායාමයන්ට ස්තූතිවන්ත වන්නට, අපගෙන් සමහරෙක් දැන් කඩදාසි/කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් යනාදිය මූලාශ්‍රයේදී වෙන් කිරීම කිරීම නැවත පුරුදු පුහුණු වී සිටිති. කාබනික අපද්‍රව්‍යවලින් සමාජයක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, අප කාබනික අපද්‍රව්‍යවලට කළයුතු වන්නේත් මෙයමයි. එනම් මූලාශ්‍රයේදී වෙන් කිරීමයි.

කඩදාසි, වීදුරු බෝතල්, ලෝහ මෙන් නොව කාබනික අපද්‍රව්‍ය යනු දිගු කාලයක් තිස්සේ එක්රැස් කර කල්තබා ගතහැකි දෙයක් නොවේ. එයට ප්‍රධානම හේතුව කාබනික කුණු ඉතා ඉක්මණින්ම දිරාපත් වීමට පටන් ගැනීමයි. දිරාපත් වීම අතරේදී පිට කරන අප්‍රසන්න ද්‍රව සහ වායු අතුරුඵල, මීයන් හෝ කෘමීන් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව ආදී කරුණු සෞඛ්‍ය උවදුරුවලට ද හේතු විය හැක. අනිත් අතින් මෙයින් ගම්‍ය වන්නේ, කාබනික අපද්‍රව්‍ය වෙන් කිරීමෙන් ඔබ අදහස් කළේ ඉන් කොම්පෝස්ට් පොහොර තැනීම වැනි ප්‍රයෝජනවත් වැඩක් ගැනීමට නම්, ප්‍රමාද නොවී එය භාවිත කළ යුතු බවයි. සෑම කෙනෙකුම තම ගෙවත්තේ කොම්පෝස්ට් සෑදීමට කැමැත්තක් හෝ හැකියාවක් නැත. අඩු තරමින් කොම්පෝස්ට් නිපදවන තැනක් ළඟක ඇත්නම්, එකතුවන කාබනික අපද්‍රව්‍ය දින කිහිපයකට වතාවක් එහි රැගෙන යාමට හැකි නමුදු, අප බොහෝ දෙනෙකුට එය ප්‍රායෝගික විසඳුමක් නොවේ. මෙහි තේරුම වන්නේ, ඔබේ කාබනික අපද්‍රව්‍ය වෙනම එකතු කරගෙන ගොස් කොම්පෝස්ට් කම්හලකට යැවීමට ඔබේ ගමේ හෝ නගරයේ යාන්ත්‍රණයක් නොමැති නම්, මෙම සද්කාර්යයට දායක වීමට ඔබට ඇත්තේ ඉතාමත්ම සීමිත ඉඩක් බවකි.

ප්‍රශ්නයේ සැබෑ යතාර්ථය හෙළිවන්නේ මෙතැනිනි. සත්‍යය නම් දැනට රටක් වශයෙන් අපසතුව ඇත්තේ ඉතාමත්ම සීමිත කොම්පෝස්ට් නිශ්පාදන ධාරිතාවයකි. මෙම සම්පතෙන් ප්‍රයෝජන ගැනීමට සහ කර්මාන්තයක් වශයෙන් කොම්පෝස්ට් තැනීමේ දියුණුවක් දැකීමට නම් අපගේ අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් තිබේ.

පලමු වැන්න නම් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. දෙවැන්න නම් කාබනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ඉන් ප්‍රයෝජන ගැනීම උදෙසා කර්මාන්ත ධාරිතා ගොඩනැංවීමයි. පසුගියදා එළිදුටු පොහොර කළබැගෑනිය හේතුවෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳ දැනුවත්භාවය සමාජය තුළ යම් තරමකට ඉහළ ගොස් තිබේ. මෙම මාතෘකාව සම්බන්ධයෙන් රජය ගත් හදිසි පියවරයන් හේතුවෙන් යම් අවාසනාවන්ත සිදුවීම් හා පසුබෑමක් ඇති වූවද, එම සිදුවීම් කාබනික පොහොර සහ විශේෂයෙන් කොම්පෝස්ට් පිළිබඳ පොදු දැනුවත්භාවය ඉහළ නංවා ඇත. එයටත් වඩා වැදගත් කාරණය වන්නේ රටක් වශයෙන් කාබනික කෘෂිකර්මාන්තයකට යාමට රජය තවමත් පැහැදිලි උනන්දුවක් දැක්වීමයි. මෙම සන්දර්භය තුළ, ධාරිතා ගොඩනැංවීම පිළිබඳව අවධානය යොමු කිරීමට හොඳම කාලය මෙය නොවේද? වෙනත් රටවල කාබනික පොහොර ව්‍යාපෘති අසාර්ථක වන ආකාරය මම දැක ඇත්තෙමි. එම අසාර්ථකත්වයට හේතුවන ප්‍රධානම කරුණ නම් රජයේ සහනාධාර සහිතව ගොවීන්ට ලැබෙන රසායනික පොහොර සමඟ තරඟ කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති කාබනික පොහොර වලට නොහැකි වීමයි. කාබනික පොහොර සඳහා දැන් ලැබී ඇති රජයේ අනුග්‍රහයක්, මෑතකද දී ඇතිවුණු සිදුවීම් හරහා ඒ පිළිබඳව ඇතිවුණු සමාජ දැනුවත් භාවයේ ඉහළ යාමත් යන හේතු දෙකම නිසා, කාබනික අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට ලංකාවට මීට වඩා හොඳ ඉඩ ප්‍රස්ථාවක් නැවත ලැබේයැයි මම නොසිතමි.

ලංකාව තුල දිනකට එකතුවන ඝන අපද්‍රව්‍ය ප්‍රමණය මෙට්‍රික් ටොන් 7000 ඉක්මවයි. මෙම විශාල පරිමාව තුල 65% ක් පමණම ඇත්තේ කාබනික අපද්‍රව්‍යයි. දිවා කාලයේ ජනගහනය මිලියනයක් පමණ වන කොළඹ නගරයට අමතරව, තවත් මහ නගර සභා 23 ක් සහ නගර සභා 41 ක් මගින් ලංකාවේ සියලුම පළාත් ආවරණය කරමින් සෑම දිනකම ඝණ අපද්‍රව්‍ය එකතු කරනු ලැබේ (හෝ අඩු තරමින් එසේ එකතු කිරීමට නීතියෙන් බැඳී සිටී). මේසා විශාල ජනගහන කේන්ද්‍රස්ථානයන්ගෙන් ලැබෙන කාබනික අපද්‍රව්‍ය පරිමාවට නිසැකවම ස්ථාවර කොම්පෝස්ට් කර්මාන්තයක් නඩත්තු කිරීමට සරිලන අමුද්‍රව්‍ය සැපයුමක් ලබා දීමේ හැකියාව ඇත. නාගරික ඝණ අපද්‍රව්‍ය වර්ග කිරීම සහ වෙනම එකතු කිරීම ස්ථාපනය කිරීම සඳහා යම් ප්‍රාග්ධනයක් යට කිරීමට සිදුවන බව සත්‍යයකි. නමුත් මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් ගෙන ආ හැකි ප්‍රතිලාභයට සාපේක්ෂව වැයවිය හැකි මුදල සැබවින්ම ඉතා බුද්ධිමත් ආයෝජනයකි. මීට අමතරව, අපගේ ඝණ අපද්‍රව්‍ය වලින් තුනෙන් දෙකක් පමණ වන කාබනික කොටස කොම්පෝස්ට් වැනි කර්මාන්තයක් සඳහා හරවා යැවිය හැකි නම්, එහි අර්ථය වන්නේ කසළ ලෙසින් ඉවත් කිරීමට කළමනාකරණය කළයුතු අවසන් අපද්‍රව්‍ය පරිමාව සහ එයට දැනට වැයවන වියදමද ඒහා සමාන සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බවයි. කොම්පෝස්ට් සඳහා ස්ථාවර ඉල්ලුමක් තිබේ නම්, සැපයුම ස්ථායී කිරීමට පෞද්ගලික ආයෝජකයින් ද මූල්‍යමය බර දැරීමට නොපැකිලෙන බවට මගේ විස්වාශයයි. රටට නොගැලපෙන පොහොර ආනයන සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා මුදල් වියදම් කරනවාට වඩා තිරසාර දේශීය විසඳුමක් සඳහා ආයෝජනය කිරීම වඩා හොඳ නොවේද?

මහාචාර්ය හිරෝෂාන් හෙට්ටිආරච්චි |Prof; Hiroshan Hettiarachchi [එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ ජර්මනියේ-ඩ්‍රෙස්ඩන් ශාඛා මණ්ඩපයේ, අපද්‍රව්‍ය සම්පත් කළමනාකරණ ඒකකයේ, හිටපු ප්‍රධානී]

*මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2021 දෙසැම්බර් 30 වන දින groundviews.org වෙබ් අඩවිය මගින් පළකරන ලදී (https://groundviews.org/2021/12/30/making-cash-from-trash/).