Colombo, Featured Articles, Features

පරාජිත ආවේශයේ කූඨ ප්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංශෝධනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

අවසානය පැමිණ තිබේ. ශ්‍රී ලංකාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත් වීම සඳහා අවශ්‍ය කැරෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉක්නින්ම ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වනු ඇත.

අරුමය නම් මෙම ව්‍යවස්ථා වෙනස සඳහා අවශ්‍ය දේශපාලන බලවේග සහ තර්ක ඔහු ලබා ගන්නේ කිසිදු ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලනයකට ඉඩක් නොතබා ඒක පාක්ෂිකවූත් ඒකාධිපතිවූත් රාජ්‍යක් පිහිටුවීම පිණිස සටන් වැදුණු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පරදවා ලද ජයග්‍රහණය මතින් වීම යි. දැන් ජයග්‍රාහකයා පරාජිතයාගේ දේශපාලන වේශයට ආරූඩ වෙමින් තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය මෙම පරාජිත අවේශයේ කූට ප්‍රාප්තිය යි. මෙතැනින් එහාට යාමට අවශ්‍ය නැත. ආවේශය සම්පූර්ණ ය.

එල්ටීටීඊ ය සහ ශ්‍රී ලංකා රාජ්‍යය අතර පැවැති දීර්ඝ කාලීන යුද දේශපාලන ගැටුම විසින් විවිධාකාර තලයන් හි දී දෙපාර්ශවය අනෙකාගේ ප්‍රතිබිම්භ බවට පත් විය. එය යුද්ධයක අනීවාර්ය නොවන නමුත් විපාකයකි. පශ්චාත් යුද්ධ සමාජ එක්කෝ ගැඹුරු ප්‍රතිසංස්කරණ හරහා ප්‍රජාතන්ත්‍රවාදී සහ මානවවාදී බවට පත් වෙති. නැතහොත් යුද්ධයේ බොහෝ විසකුරු ලක්ෂණ එලෙසම තබා ගනිමින් විවිධ මට්ටමින් අත්තනෝමතික සහ මානව විරෝධි සමාජ බවට පත්වෙති. පශ්චාත් යුද්ධ අත්දැකීම මේ තාක් දුරට පෙන්වා ඇත්තේ ශ්‍රී ලංකාව දෙවන තෝරා ගැනීම කරා ගමන් කරන බව යි.

එල්ටීටීය, දෙමළ සමාජයෙ හි සිය ආධිපත්‍ය තහවුරු කර ගත්තේ දෙමළ දේශපාලනය තුළ පැවැති සියළු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අකාමකා දමමිනි. ඒ කරා දෙමළ දේශපාලනය තල්ලු වී යෑමට තර්ක සහ පදනම සපයන ලද්දේ ප්‍රශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයා ගොදුරු වූ විෂම සැළකීමත් ඔවුන්ගේ ප්‍රජාත්නත්‍රවාදී ක්‍රියාමාර්ග ප්‍රචණ්ඩත්වයෙන් මැඩලීමත් නිසා බව වෙනම කරුණකි. එම ඉතිහාසය විසින් සන්නද්ධ විරුද්ධකම් පෑම සාධාරණ කළ හැකි නමුත් එල්ටීටීඊ යේ මානව සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය සාධාරණ කළ නොහැකි ය. එමෙන්ම එල්ටීටීඊ යේ මානව විරෝධී දේශපාලනය පෙන්වා පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව අත්තනෝමතිකත්වයට ගෙන යාම ද සාධාරණ කළ නොහැකි ය.

එල්ටීටීඊ ය දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ සිය මූලිකත්වය තහවුරු කර ගත්තේ අනෙක් සියළු දෙමළ සටන්කාමී සංවිධාන විනාශ කර දැමීම සහ උරා ගැනීම මගිනි. අද දකුණේ දේශපාලනය තුල විපාක්ෂික දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන මුහුණ දී සිටින තත්ත්වය එයම නොවේ ද? එල්ටීටීයේ තුවක්කුව වෙනුවට අද පාවිච්චචි වන්නේ වරදාන සහ බියගැන්වීම් ය. එමගින් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ දෙකඩ තෙකඩ කරනු ලැබ ඇත. නැතහොත් උරා ගනු ලැබ ඇත. අද ආණ්ඩුවේ දරුණූ ප්‍රහාරයට ලක්වන දේශපාලනඥයින් හෙට ආණ්ඩුවේම සුරතලුන් බවට පත්වෙති. දුෂ්ඨයා එක් සැණින් සුරතලා බවට පත් කැරෙන මන්ත්‍රය අන් කිසිවක් නොව වරදාන හෝ බිය ගැන්වීම හමූවේ පෙන්වන නිරපේක්ෂ යටහත් පහත් බාවය යි. එල්ටීටීඊය යටතේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ දෙමළ සන්ධානය එදා මුහුණ දී තිබූ තත්ත්වයත් එයම ය.

එල්ටීටීඊ ය සිය අණසක පැවැති වන්නියේ ජනයාට එම ප්‍රදේශයෙන් පිටවීම තහනම් කර තිබුණි. තාවකාලිකව හෝ වන්නි ප්‍රදේශයෙන් පිටවීම පිණිස විශාල මුදලක් හෝ පවුලේ අයකු ඇපයට තැබිය යුතු විය. අද ශ්‍රී ලංකා රාජ්‍යය යටතේ ද වන්නියේ එම ජනයා මුහුණ දෙන්නේ එම තත්ත්වයට ම යි. ඔව්න්ට රාජ්‍ය බලධාරීන්ගේ අවසර නැතිව පදිංචි ස්ථාන පවා වෙනස් කිරීම තහනම් ය. එපමණක් නොව කොළඹ ජීවත්වන දෙමළ ජනයා පවා ලැයිස්තු ගත කරන්නට දැන් පටන් ගෙන තිබේ.

එල්ටීටීඊ ය සිංහල මුස්ලිම් ජනයා සිය පාලන ප්‍රදේශයන්ගෙන් පලවා හැරියේ ය. අපේක්ෂිත වූ ඊළාම් රාජ්‍ය ය ප්‍රායෝගික වශයෙන් තනි දෙමළ රාජ්‍යක් බව පෙනෙන්නට තිබුණි. දැන් ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනාවාස ප්‍රදේශයන් සිංහලකරණයෙහි නිරත වෙයි. ඊට හොදම උදාහරණයක් නම් දෙමළ ජනයාගේ සංස්කෘතික දායාදයක් වූ යාපනයේ බුදු දහමේ නෂ්ඨාවශේෂ සිංහල කැරෙමින් ඇති සැටිය. යාපනයේ බෞද්ධ නෂ්ඨාවශේෂ සහිත කන්තරෝදෙයි දැන් කදුරුගොඩ පුරාණ විහාරය ලෙස නම් කරනු ලැබ තිබේ. මෙම නෂ්ඨාවශේෂ දෙමළ බුදුදහමට අයත් ඒවා මිස සිංහල බුදු දහමට අයත් ඒවා නොවේ. මෙවැනි නිදසුන් බොහෝ ය. එකදු සිංහලයකු හෝ වාසය නොකරන දෙමළ ප්‍රදේශයන්හි පාරවල් සඳහා සිංහල නම් තබා තිබේ.

එල්ටීටීඊය යටතේ කිසිදා ජනමාධ්‍ය නිදහසක් නොතිබුණි. එහි තර්කය වූයේ ජාතික විමුක්ති අරගලයක් කරගෙන යන බැවින් ඊට බාධා කැරෙන ජනමාධ්‍ය පැවැතීම හානිදායක බව යි. එම තර්කයම ණයට ගත් ශ්‍රී ලංකා රාජ්‍යය ජාතිය බේරා ගැනීමේ යුද්ධයක් පවතින බැවින් ඊට බාධා කැරෙන්නේ යැයි සැළකූ ජනමාධ්‍ය පැවැතීමට ඉඩ දුන්නේ නැත. යුද්ධාවසානයෙන් මාස 16කට පසු අද පවා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට කළකට පෙර එය භුක්තිවිදි නිදහස නැති බව අලුතෙන් කීමට අවශ්‍ය නැත. එය ලැබෙන පාටක් ද නැත.

එල්ටීටීඊ ප්‍රදේශයන්හි පොලීසිය ද එල්ටීටීඊය ම විය. එයට නාමික නිදහසක් තිබුණි. අද පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ පොලීසිය අයත් වන්නේ පාලක පක්ෂයේ දේශපාලකයින්ට ය. නව ව්‍යවස්ථා සංශෝධනය විසින් පැවැති පොලිස් කොමිසම ඉවත් කරනු ලැබ සියළු බලතල පොලිස්පති වෙත පැවරෙයි. පසුගිය කාලය පුරාම සිටි පොලිස්පතිවරුන් දේශපාලන අතවැසින් ලෙස සේවය කළ බවට කොපමණ චෝදනා එල්ල වී ඇත් ද? එල්ටීටීඊ පාලන ප්‍රදේශයන්හි අධිකරණය එල්ටීටීඊ යම වූ පරිදි පශ්චාත් ශ්‍රී ලංකා අධිකරණය ආණ්ඩුවේම එකක් වනවාට අප කැමැති ද?

එල්ටීටීඊයට එල්ල වූ එක් ප්‍රබල විවේචනයක් වූයේ එය ජය ලබා වෙනම රාජ්‍යයක් පිහිටුවනු ලැබුයේ නම් එය තනි පක්ෂයක් රාජ්‍යක් වනු ඇති බවත් ප්‍රභාකරන් එහි එකම නායකයා වනු ඇති බවත් ය. අද පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ කැරෙන්නට නියමිත ව්‍යවස්ථා වෙනසෙහි යටි අරුත ද එයම නොවේ ද?

ජනාධිපති රාජපක්ෂ සිය ජනවරම ලබා ගත්තේ සිය පළමු ධුර කාලයෙන් පසු විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට පොරෙන්දු වෙමිනි. දැන් ඒ වෙනුවට ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ලෙස සිය ජීවිත කාලය පුරාම වුව විධායක ජනාධිපති ලෙස තේරී පත්විය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නවා ඇත. ශ්‍රී ලංකාවෙහි 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිධුරය උපරිම කාල සීමා දෙකකට සීමා කරනු ලැබ ඇත්තේ එම ධුරය සතු අතිමහත් බලතල සළකාගෙන ය.

දැන් මෙම සංශෝධනය මඟින් ඇති තරම් කාලයකට ජනාධිපති ධුරයේ රුදී සිටීමට මහින්ද රාජපක්ෂ නීතිමය ආවරණයක් ලබා ගන්නේ මේ තාක් තිබූ බලතලවලට අමතරව මැතිවරණ, මානව හිමිකම්, අල්ලස් දූෂණ, අධිකරණ සහ රාජ්‍ය සේවා යනාදී කොමිෂන් සභා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයාටම ලබා ගෙන ය. මෙම කොමිෂන් සභා පිළිබඳ උපදෙස් දීමට විපක්ෂ නායකයාට හැකි නමුත් ජනාධිපතිවරයා ඊට සවන් දිය යුතු නැත. මේ වනාහී ඕනෑම ඒකාධිපතියකු ඊර්ෂාවට ලක් කරන තරමේ බලතල ගොන්නකි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය අප තේරුම් ගත යුත්තේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන සංයුතිය ද පසුබිමේ ඇතිවය. එනම් ආණ්ඩුව තුළ රාජපක්ෂවරුන් සතු අතිමහත් සහ තීරණාත්මක බලය යි. නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගනු ලබන්නේ ඊළඟ නායකයා කරනු පිණිස බව නොදන්නා අයකු අද ශ්‍රී ලංකාවේ සිටිය නොහැක. මෙම පසුබිම තුළ මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් අදහස් කැරනෙ අරමුණ තේරුම් ගැනීම දුෂ්කර නැත.

මෙම ව්‍යවස්ථා සංශෝධන විසින් ශ්‍රී ලංකාව කෙටියෙන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් බවට පත් වෙයි. එය හැදින්වීමට වෙනත් වචනයක් නැත. එහි ප්‍රයෝගික දේශපාලන අරුත වන්නේ රාජපක්ෂ පාලනය එම ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයේ රූපකාය බවට බොහෝ කාලයක් සඳහා පත්වීම යි. කලකට ගොඩ ආ නොහැකි පසුබෑමකට ලක්ව සිටින දේශපාලන විපක්ෂය ද මෙම පසුබිමට එක් කල විට අපට ලැබෙන්නේ ඉතාම ඉතාම අදුරු චිත්‍රයකි.