iMage/Video: Vikalpa/ 18May2022_Mullivaikkal

මනුෂ්‍යත්වයට නිකමටවත් ළගා විය නොහැකි සුපුරුදු වෛරී ඝෝෂාවන් මැද ‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල්වලදී සිහිකරන ලද්දේ පසුගිය මැයි 18වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,තරුණියන් සිය ගණනක් සිය සමීපතමියින්ට පහන් දැල්වූයේ කඳුලු පිරි දෑස් අහසට යොමා ගෙනය. නමුත් ඒ කිසිවෙක් කිසිදු වෛරී ප්‍රකාශයක්, අදහසක් කිසිවෙකුටවත් කීවේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි.

මරා දැමූ, අතුරුදහන්කළ, පැහැරගත්, හමුදාවට බාර කළ තමන්ගේ සමීපතමයින් ගැන සත්‍ය සහ යුක්තිය දැනගැනීමට අවශ්‍ය බවය.

දැන් යුද්ධය නිළ වශයෙන් අවසානය යැයි කියා 2022 මැයි මසට වසර 13කි. ඒ කිසිදු අපරාධයකට හෝ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණයට පිළිගත හැකි ‘යුක්ති සහගත’ විසදුමක් ලබා දීමට, පසුගිය වසර 13 තුළ ලංකාව අසමත් ව තිබේ. හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කල මිනිසුන්ගේ ඉඩම් කොටස් ප්‍රමාණයක් නිදහස් කළත්, ඒවා නිදහස් කරනවිට ‘දෙනවා වගේම ගන්නත් පුලුවන්’ ‘ඔන්න අපෙන් තෑග්ගක්’ යැයි අපුල දනවන සිංහළ අධිපතිවාදී කතා ගොන්නක් කීවේ, පසුගිය ‘යහපාලන ආණ්ඩුව සමයේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක ය. කෙසේ නමුත්, ඒ යහපාලන ආණ්ඩුවත් පරාජයට පත් වී ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින මොහොතක (වර්තමානයේ ලංකාව තුල පවතින ව්‍යසනකාරී තත්ත්වය මත, ඒ මතින් නැවතත් අගමැති රනිල් වික්‍රමසිංහ පත්ව ඇත.) සිය ගණනක් මිනිසුන් මැයි 18 වනදා සිය ආදරණියන්ගේ මතකය ද සමග මුල්ලිවෛක්කාල්වලට පැමිණියේය. ඒ සෑම විඩාබර වසරක මෙන්ම යුක්තියේ බලාපොරොත්තු සහිතවය.

නමුත්, උතුරු නැගෙණහිර ජනතාවගේ ස්මරණය කිරීමේ අයිතිය කෙසේ හෝ මර්දනය කිරීමට, පසුගිය කාලය පුරාම මෙන්ම, ඒ මර්දනය මේ වසරේත් මුදාහරිමින් තිබේ. මුල්ලිවෛක්කාල් ස්මරණය සංවිධානය කිරීමට සම්බන්ධ වීම හේතුවෙන්, විවේකානන්දන් ප්‍රියංගන් ක්‍රියාකාරීකයාට පසුගිය 21වනදා අමාණුෂික ලෙස පහර දී ඇත. එම පහර දීම සිදුකල මැරයින් හමුදා බුද්ධි අංශවලට සම්බන්ධකම් ඇති පුද්ගලයින් බව පැවසෙන අතර, ප්‍රහාරයෙන් පසු ප්‍රියංගන් පුදුකුඩුඉරුප්පු රෝහලට ඇතුලත් කර තිබේ.

එවැනි තත්ත්වයක් මධ්‍යයේ මැයි 18 වනදා, මුල්ලිවෛක්කාල් මතක භූමියට රොක් වූ සිය ගණනක් මිනිසුන් පහන් දල්වා සිය ආදරණියන් සිහි කරමින් ආපසු නිවෙස්වලට ගියේ වසර 13ක් සේම එවැනි ම වූ තවත් බලාපොරොත්තු රහිතව එළැබෙන තවත් වසරකට මුහුණ දීමට සූදානමින්ද? අප ඉදිරියේ ඇති ප්‍රමුඛ ගැටලු එයයි. ලාංකීය දේශපාලන භූමියේ විසදිය යුතු, ප්‍රමුඛ ගැටලුව ද එයයි. නමුත් දකුණේ දේශපාලනය විසින් හිතාමතාම මගහරිනු ලබන ගැටලුවද එය වීම කෙතරම් ඛේදවාචකයක්ද?