iMage: vikalpa file

ජාතිවාදය උළුප්පමින් ගෙනගිය ඒකාධිපති චෞරතන්ත්‍රයට එරෙහිව ශ්‍රී ලාංකික ජනයා ‘ප්‍රජාවක්’ ලෙස හඬ නඟමින් සිටිති. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජනතාව එක හඬින් කතා කරන්නේ (ගී ගයන්නේ) කලාතුරකින් දක්නට ලැබෙන එක්සත් බවකිනි. මොවුහු නීතිමය – ව්‍යවස්ථාමය ක්‍රම හරහා යළි පණ ගන්වන්නට උත්සහ කරන්නේ 1940 සහ 1950 කාලවල සිට විවිධ ජන කොටස් වෙනස් කොට සැලකීමට සම්මත වූ පනත්වල ප්‍රතිඵලයක් ලෙස විනාශ වූ ශ්‍රී ලංකික එක්සත්භාවයයි. ඉන්දීය දමිළ ජනතාවට ඡන්ද බලය අහිමි වීමට තුඩු දුන් පුරවැසිභාවය පිළිබඳ පනත සහ 1949 පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝදන) පනත එම අසාධාරණ නීතින්හි ආරම්භය සනිටුහන් කරන ලදී.

දෙමළ සහ බර්ගර් ජනයා වෙනස් කොට සලකන 1956 රාජ්‍ය භාෂා පනත ඉන් පසුව සම්මත විය. මෙම වර්ගවාදී ක්‍රියාපිළිවෙතට විද්‍යාලංකාර පිරිවෙනේ අනුග්‍රහය ලැබුණි.1875 දී ආරම්භ කරන ලද විද්‍යාලංකාර පිරිවෙන් භික්ෂුහු බෞද්ධ නූතනවාදයේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් 1940 දශකයේ අග භාගයේ ඩී. එස්. සේනානායක මහතාගේ බ්‍රිතාන්‍ය රජයට අනුගත ගතානුගතික ප්‍රතිපත්තිවලට එරෙහිව උද්ගෝෂණය කළහ. සේනානායක ආණ්ඩුව ආගමික දේශපාලනීකරණය ප්‍රතික්ෂේප කරත්, මෙම ආණ්ඩුව සමයේ ඇරඹි නීති ප්‍රතිපත්ති 1956 බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකා තලා පෙලන වර්ගවාදී ක්‍රියාපිළිවෙතට පාර සලසන ලදී. ශ්‍රී ලංකික එක්සත්භාවය, වර්ගවාදයේ නාමයෙන් වැනසූයේ දේශපාලනික පන්තිය බව අපි අවධාරණය කරමු. ගාලුමුවදොර අරගලය මෙම එක්සත්භාවය ජනතාවගේ නාමයෙන් නැවත දිනා ගැනීමට උත්සහයක් වී තිබේ.

වත්මන් ජාතික අර්බුදය වර්ගවාදී බලහත්කාරකම් කරමින් සිදු වූ අවපාලනය හේතුවෙන් බව සැක රහිතය. රාජපක්ෂලාගේ මෙහෙයවීමෙන් හෝ නැතිව සිංහල හමුදාව දැන් පාලනය සියතට ගැනීමට කුමන්ත්‍රණය කරද ජාතිවාදය කඩා වැටීම නවතාලිය නොහැක. ජාතිවාදය අවසන් සුසුම් හෙලන මේ මොහොතේ එය යම් කිසි ආකාරයකට ශක්තිමත් කිරීමට උත්සහ කිරීම එහි මළගම ඉක්මන් කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට රාජපක්ෂලාගේ ඇති නොහැකියාව හොඳින් දන්නා අතර නිසි සැලසුමකින් තොරව ලංකාවට සහය නොදෙන බව අවධාරණය කර ඇත. ලංකාවට නුදුරේදී ඉදිරිපත් කරන්නට වන ආර්ථික සැලසුම හරහා ධනවතුන්ගෙන්, සමාගම්වලින් ඉහළ බදු අය කිරීමට සහ හමුදාව වෙනුවෙන් කෙරෙන ප්‍රතිපාදන අඩු කිරීමට සිදුවනු ඇති බව අනුමාන කළ හැක. මේ තුලින් ආර්ථිකයට සහ දේශපාලනයට හානි පමුණුවන හමුදාවගේ සහභාගීත්වය නවතාලිය හැක. විදේශ පාර්ශව ආධාර ලබා දීමේදී පවා මෙම කරුණු අවධාරණය කිරීම වැදගත් වේ.

‘ජනතාව’ සමස්ථ ප්‍රජාවගේ නාමයෙන් අන්තර්වාර ආණ්ඩුවලින් ඔබ්බට ගිය වෙනසක් ඉල්ලති. මේ මොහොතේදී ශ්‍රී ලංකික ජනතාව සිය අනාගත මඟ සකසමින් සිටිති. අරගලය තුළන් ජනතාව බේද කරන කාරණා ඉවත හෙළන්නටත්, එක්සත් කරන කාරණා නැවත ඉගෙන ගැනීමටත් අවස්ථාව සැලසෙයි. ජනතාව තවදුරටත් වර්ගවාදයට රැවටීමට සුදානම් නැත. ජන විවිධත්වයන් ගාලුමුවදොර දිනන ලෙසම යාපනයේ, මහනුවර සහ මාතර ද දිනිය යුතුය. යාපනයේ ජනතාවට, මාතර ජනතාව කෙරෙහි විශ්වාසය ඇති වියයුතු අතර, මාතර ජනතාවට ද එසේම විය යුතුය. විශේෂයෙන්ම සිංහල ජනතාව අනෙකා තලා පෙලන ජාතිවාදය අවුස්සන ගිහි සහ චීවරදාරි බලවේග ගැන අවධානයෙන් සිටිය යුතුය. ව්‍යවස්ථාව මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි වීමට නම් අප සැම විවිධත්වයට ගරු කළ යුතුය.

සිංහල බෞද්ධ ජාතිවාදය ඉවතලෑම

ජනතාවගේ අරගලය හරහා රට පුරා ජාතිවාදය ඉවත ලා එකමුතු වීමට ඉඩකඩ සැකසී ඇත. මාර්තු 31 මිරිහාන පැවති විරෝධයේදී හිස්වැසුමක් පැළඳි තරුණයෙක් ජනතාව තවදුරටත් බේද නොවනු ඇතැයි කෑගැසීය. මෙම තීරණාත්මක ප්‍රකාශය ජනතාව අරගලය පුරා අනුගමනය කරමින් සිටිති. ඉන් සතියකට පසු ‘සිංහල බෞද්ධ ජනවරමට ඇත නොතබනු!’ කියා විරෝධයන් මතු වෙන විට ජනතාව ඉක්මනින් එහි බෙදුම්වාදී හරය හඳුනා ගත්හ. ඊටත් වඩා තීරණාත්මක මොහොතකදී දමිළ ජනතාව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම විවේචනයට ලක්කළ විට අරගලකරුවන් ඊළඟ දිනයේ ජාතික ගීය දෙමළ බසින්ද ගැයූහ. මෙම අවස්ථාවන්හීදී ජනයාගේ සිත්වල මුල් බැසගෙන පැවති බලහත්කාරී ජාතිවාදී හැඟීම් ප්‍රශ්නගත විය. ඒ තුළින් සිංහල ජනතාව සත්‍ය වශයෙන්ම සිංහල බෞද්ධකම කියන්නේ කුමකටද? බෞද්ධ දර්ශනය අනුව බෞද්ධකම කෙසේ වේද? කියා විමසන්නට පටන් ගත්හ. මෙම විචාරයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්හීදී පවා වැදගත් වේ.

ජාතිවාදය ඉවත් කිරීමට ගන්නා උත්සහයන් තුළින් අනාගතය යළි ලියැවෙමින් පවතින මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අත්‍යවශ්‍ය පූර්වාංගකි. සමානාත්මතාවය, අධිකරණයේ ස්වාධීනත්වය, ජාතිය අනුව වාසි නොලබා රාජ්‍ය සේවයට පිවිසීමට ඇති හැකියාව එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක ගුණාංග වේ. මෙවැනි ව්‍යවස්ථාමය මූලධර්ම පෙරටු කරගත් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමේදී ජනතාවක් ලෙස ජාතිවාදයේ විනාශකාරී ප්‍රතිඵල ගැන නිරතුරු අවදියෙන් සිටීම වැදගත් වේ. එම ජාතිවාදය ඉවතලෑමේ පිළිවෙතක් අපි මෙහිදී ඉස්මතු කරමු.

බෞද්ධ දර්ශනය හරහා සිංහල බෞද්ධකම යළි ඉගෙනීම

ථේරවාද බෞද්ධ දර්ශනය විනාශකාරී ජාතිවාදය පිටු දැකීමට අනගි පන්නරයක් සපයයි. බුදු රජාණන් වහන්සේගේ දේශනාවන් ශ්‍රාවකයින් විසින් මෛත්‍රී සහගත සිතුවිලි, මෘදු වචන සහ කාරුණික ක්‍රියා තුළින් අත් දැකිය යුතු වේ. බුදු දහමේ හරය නම් තණ්හාව තුළින් දුක හට ගන්නා සැටිත්, සක්ඛාය දිට්ඨය තුළින් නිම නොවන හේතු ඵල චක්‍රයක් ගොඩනැඟෙන සැටිත් ප්‍රඥාවෙන් විමසා බැලීමයි (ධම්මචක්ක පවත්තන සූත්‍රය; අනත්ත ලක්ඛණ සූත්‍රය). සීලමය ප්‍රතිපදාවක් ඔස්සේ ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරමින් ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිකර ගැනීමට බෞද්ධ දර්ශනය මුල් තැන දෙයි. මේ අනුව මමත්වය ද හේතු ඵල අනුව සැකසෙන අස්ථිර ස්වභාවයක් පමණි. එසේ තිබියදී ජාතිවාදය තුළින් අප/ අනෙකා ලෙස කරන ගොඩනැඟීම් බෞද්ධ දර්ශනය තුළින් අවබෝධ කරගැනීමට තිබෙන ධර්මයට කිසිසේත්ම අනුකූල නොවේ.

රාජ්‍ය පාලනය බුදු රජාණන් වහන්සේගේ මූලික අවධානයට ලක් නොවුණත් උන්වහන්සේ පාලකයන් වෙත දස රාජ ධර්ම වදාළ සේක. මෙහිදී උන්වහන්සේ සීලය මත පදනම්ව ආධ්‍යාත්මික පරිවර්තනයකට වෙර දරන දැහැමි පාලකයෙක් ගැන විස්තර කරන සේක. ආධ්‍යාත්මික සීමාවන් මෙන්ම භාහිර සීමාවන්ට ද නතු වීමේ වැදගත්කම ගැන සූත්‍රයන් හී පැහැදිලි කරයි. උදාහරණයක් වශයෙන්, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ, භය වග්ගයේ භය සූත්‍රය අන් අයගේ වාරණවලට, නීතියේ වාරණවලට, සංසාරයේ බිය තුළින් මතු කරගන්නා වාරණවලට නිසි පරිදි නතු වීමේ අවශ්‍යතාවය දක්වයි. එම නිසා නීතියේ ආධිපත්‍ය සුරැකීම බෞද්ධ දර්ශනය තුළින්ද තහවුරු වී තිබේ.

බටහිර විද්වතෙකු වන ජර්ගන් හබර්මාස් ඉදිරිපත් කරන සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය නැමති දේශපාලන දර්ශනයට ලැබෙන කීර්තිය පෙර දකිමින් මෙන් බුදු රජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ සප්ත අපරිහානි ධර්ම දේශනා කළහ. නිරන්තර සාකච්ඡාවන්, එකඟත්වයෙන් කෙරෙන පාලන ක්‍රමයක්, නීතිය පවත්වා ගෙන යෑම, බහුශ්‍රුත වැඩිහිටියන්ට ගරු කිරීම, කාන්තාවන් සුරැකීම, විවිධ ඇදහිලි සහ විශ්වාසයන්ට ගරු කිරීම සහ රහතන් වහන්සේලාට ගරු කිරීමට මෙහිදී රාජ්‍යක දියුණුවට හේතුවන කාරණා ලෙස දක්වයි. මහජන විශ්වාසය සහ මහජන සුභසිද්ධිය මේ කාරණා හරහා නඟා සිටුවයි. මේ අනුව සුළු ජාතීන් ආන්තිකරණයට ලක් කිරීම සූත්‍ර සහ ජාතක කතාවලින් පිළිඹිබු කෙරෙන දහමට පටහැනිය. එමනිසා දේශපාලනික ‘සිංහල බෞද්ධාගමේ’ නියම බෞද්ධභාවයක් නොමැත. ධර්මය තුළින් සැමවිටම මෛත්‍රියට මුල් තැන දී තිබේ. කරණීය මෙත්ත සූත්‍රය හරහා ගිහි පැවිදි සිව්වනක් පිරිසට සියළු සත්ත්වයන්ට මෙත් වැඩීමට කරන ඉගැන්වීම මෙයට එක් උදාහරණයකි. නිදහසෙන් පසු ලංකාව පාලනය කළ ආකාරය මෛත්‍රිය පෙරමුණු කරගත් පාලනයකට මුළුමනින්ම පටහැනිය. මෙම කරුණු සැලකිල්ලට ගැනීම නව අනාගතයක් ගොඩ නැඟීමට අවස්ථාව සලසයි. වර්ගවාදය පිටු දකිමින් බෞද්ධ දර්ශනය පදනම් කර ගෙන අපට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අලුත් දේශපාලන සමාජ ක්‍රමයක් ගොඩනැඟිය හැක.

බිනේන්ද්‍රි පෙරේරා සහ රොෂාන් ද සිල්වා විජේරත්න | Binendri Perera and Roshan de Silva Wijeyerante