හිටපු ජනාධිපති ගොඨාබය රාජපක්ෂට එල්ලවූ මහජන පීඩනය හමුවේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ රාජපක්ෂලාගේ දේශපාලන ඉතිහාසය දෙදරුම් කමිනි. එසේ ඉල්ලා අස්වීමෙන් පසු ව්‍යවස්ථානුකූලව, කතානායකවරයා විසින් එවකට සිටි අගමැතිවරයා හෙවත් රනිල් වික්‍රමසිංහ ‘වැඩබලන ජනාධිපති’ ලෙස නම් කළේය.

ඉන්පසු, එම ව්‍යවස්ථාවටම අනුව පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම අනුව අද(19) පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමෙන් අනතුරව තිදෙනෙක් හෙට(20) නව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වෙනුනේ ඉදිරිපත්වීමට නියමිතය. ඒ අනුව, ජාතිත ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක, පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී ඩලස් අලහප්පෙරුම සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී(ජාතික ලැයිස්තු) රනිල් වික්‍රමසිංහ යන එම ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වීමට නියමිතය.

දවසෙන් සිදු වූ වෙනස

ඊයේ(18) වන විට නාම යෝජනා දෙන බවට ප්‍රකාශකර සිටි සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මංත්‍රී(විපක්ෂ නායක) සජිත් ප්‍රේමදාස සූක්ෂම කරණමක් ගැසුවේය. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රභල හිතවාදියෙක්, අනුගාමිකයෙක් වූ ඩලස් අලහප්පෙරුම ගේ නම යෝජනා කරමින්, ඔහුට සහය පළකරමින්, තමන් ඉදිරි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කරමින්ය. මේ ප්‍රකාශයත් සමග සමගි ජන බලවේගයට හිමි පාර්ලිමේන්තු මංත්‍රී ආසන සංඛ්‍යාව වන, ආසන 54 පොදු ජන එක්සත් පෙරමුණු අපේක්ෂක, ඩලස් අලහප්පෙරුම වෙනුවෙන් භාවිතා වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

සජිත් ගේ තීන්දුව පේලි අතර කියවීම

සජිත්ගේ මේ දවසේ තින්දුවට පදනම් වූ හේතුව කුමක්ද? සජබ අභ්‍යන්තර දේශපාලන ආරංචිවලට අනුව කරුණු කිහිපයක් එම තීන්දුවට බලපා ඇත. එකක් නම්, පොහොට්ටුවේ සහය ඇතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වුවහොත් තම පක්ෂය විසින් අපේක්ෂා කරන අගමැති ධුරය තමන්ට ලැබෙන්නේ නැති බව ඔවුන් ගණන් බලා ඇත.(එයට හේතුව වන්නේ මේ වන විට රනිල්(එජාප) සමග සජිත්(සජබ) තුළ අති විරසක තතත්ත්වයයි). එබැවින් මංත්‍රී ධූර ආසන 145ක් ඇති පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයාට ප්‍රසිද්ධියේම සහය දී අගමැති ධුරය ලබා ගැනීම ඔවුන් ගේ අපේක්ෂාව වී ඇත.

අනෙක් කරුණ වන්නේ, තමන් ජනාධිපතිධූරයට ඉදිරිපත් වුවහොත්, පොහොට්ටුවේ සම්පූර්ණ සහය නොලැබී, එම සහයෙන් අඩක් හෝ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් භාවිතා කළහොත් සජිත් පරාජයට පත් වී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වීමයි. එම තත්ත්වය වැලැක්වීම අනෙක් කරුණයි.

දැන් ගණිත්මය තත්ත්වය අනුව පොහොට්ටුවේ මංත්‍රී ධූර ප්‍රමාණයත්, සජබ මංත්‍රීධූර ප්‍රමාණයත් සමග පොහොට්ටු අපේක්ෂක ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කරනු ඇත. එම සමීකරණයට අනුව, ඩලස් අලහප්පෙරුම ජනාධිපති වුවහොත් නිසැක ලෙසම සජිත් ප්‍රේමදාස අගමැති බවට පත් කිරීම සිදුවන ඇති බවට ඔවුන් ගේ පරම විශ්වාසය ලු!

රනිල් විරෝධය

එසේම වත්මන් ඉහත තත්ත්වය සමග, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දින කිහිපයක සිට ප්‍රභල විරෝධයක් සමාජ මාධ්‍ය තුළ මතු වී ආවේය. ‘රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා’ යනු එවැනි විරෝධතා අන්තර්ගතයකි. එසේම, ඔහුට එරෙහිව විවිද රචනා ලියැවුනි. ජේ.ආර්ගේ තවත් පිටපතක්. බටලන්ද නිර්මාපකයා. රාජපක්ෂලා ගේ ආරක්ෂකයා වැනි තවත් බොහෝ විරෝධතා අන්තර්ගයන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ලියැවුණි.

අනුර සාධකය

රනිල් වික්‍රමසිංහ පිළිබද එවැනි චෝදනා ගොනුවුවත් අනුර කුමාරට එරෙහිව එවැනි කිසිවක් ලියුම්කරු දුටුවේ නැත.. සජිත් සම්බන්ධයෙන්ද එසේමය. ගෝල්ෆේස් අරගලකරුවන් සජිත් මුණගැසිමටත් ගොස් තිබිණි. තත්ත්වය එසේ වුවත් අනුර කුමාර දිසානායකට හෝ සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්නැයි කියන කිසිවක් ද දුටුවේ නැත.

විරෝධතා අන්තර්ගතවල පරස්පරය

රනිල් වික්‍රමසිංහට චෝදනාව හි පදනම වූයේ, රාජපක්ෂලා ආරක්ෂා කළා යන්නය. එය සත්‍යය. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු, ගෝඨාබයගේ ඉල්ලීමට යැයි කියමින් රනිල් අගමැති වෙමින් ඔවුන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක නියැලීම බැහැර කිරීමට නොහැකි සත්‍යකි.

නමුත්, රාජපක්ෂ අනුගාමිකයෙක් වෙමින්, රාජප්කෂලාට සෘජුවම අපරාධ සම්බන්දයෙන් චෝදනා එල්ල වන විට ඔවුන්ව ආරක්ෂා කරමින් සිටි ඩලස් ට එවැනි විරෝධයක් මතු නොවන්නේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් ඇති කළ 18 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනවලට අත් දෙකම ඉස්සු ඩලස්ට එසේ විරෝධතා මතු නොවන්නේ ඇයි?

එබැවින් රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ ආරක්ෂකයෙක් නම් ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂ අනුගාමිකයෙකි. දැන් ඒ අනුගාමිකයා වෙනුවෙන් පෙනී සිටින්නේ රාජපක්ෂ පවුල් දේශපාලනයට විරුද්ධව යටි ගිරියෙන් කෑ ගැසූ සජිත් ප්‍රේමදාසය. ඒ කාට එරෙහිව කුමක් සදහාද?

එසේම, අනුර කුමාර දිසානයක පිළිබදවත් කතිකාවන් මතු වී ආවේය. 2005 රාජපක්ෂ ආණ්ඩුව පිහිටුවීමට දරදිය අදිමින්, යුද්ධය සදහා මහින්දට පෙරටුගාමී කාර්යයක් සිදුකිරීමත් ඔවුන් වෙත එල්ලවන විවේචනයි.

දැන්,

මේ සියලු දෙනා පිළිබද එවැනි ශේෂ පත්‍රයක් ඉදිරිපත් කළ හැකිය. නමුත් හෙට රනිල්, ඩලස් සහ අනුර ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ පසුගිය දිනවල පැවති, පවතින විරෝධතාවල හරය මත සිට කල්පනා කළහොත් රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින කිසිවෙක්ට ජනතා අනුමැතිය හිමි වන්නේ නැත.(මෙම ඡන්ද විමසීම සිදුවන්නේ පාර්ලිමේන්තුව තුළ මංත්‍රීවරුන්ගෙනි. නමුත් ඔවුන්ගේ මතයට බලපෑම් කිරීමට ජනතාවට හිමිකමක් ඇත) එබැවින් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පෙනෙන්නට ඇති රනිල් සහ ඩලස් ඒ දෙපලයි. ඒ නිසා ඒ දෙපළ එකට තියා විරෝධය දැක්විය යුතු වුවත් ඒ බවක් පෙනෙන්නට නැත. එහීදි රනිල් වික්‍රමසිංහට වඩා ඩලස් රාජපක්ෂලාගේ අනුගාමිකයෙකි. යම් තත්ත්වයන් වලදී රාජපක්ෂ ආරක්ෂාකළ යැයි කියන රනිල්ට වඩා, පරිස්සම් විය යුත්තේ අනුගාමික ඩලස්ගෙනි. ඒත් සමග සිය රාජපපක්ෂ විරෝධය බරපතල ලෙස ඉදිරිපත් කරන අනුර කුමාරට පක්ෂග්‍රාහීත්වයත් පෙනෙන්නට නැත.

මෙන්න මේ උබතෝකෝටික විරෝධය සෑම විටම පාහේ ලාංකීය දේශපාලන භූමියේ දක්නට තිබුණු දෙයකි.

නමුත් දැන් තත්ත්වය අනුව රාජපක්ෂ අනුගාමිකයෙක් හෙට දින අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව තුළින් පත්වීමට නියමිතය.

මෙය 2014 සිට මේ දක්වා මහපාරේදී, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කිසිදු දෙයක් තුළ ජනතාව අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. එමනිසා නැවත වරක් රාජපක්ෂ හිතවාදී දෘෂ්ටිවාදය ඉදිරි කාලය තුළ(කෙටි කළක් හෝ) හොල්මං කිරීමට නියමිතය. එම හොල්මං ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අතුගා දැමීමේ වගකීමත් හෙටින් පසුවද පුරවැසි සමාජයට අත්හල නොහැක.

ගෝඨා ගියාට ප්‍රශ්ණය අවසන් නොවන බවට කීවේ එබැවිනි.

ජනතාවගේ ජයග්‍රහණය තවදුරටත් ප්‍රමාද වනු ඇත.

වසන්ත බණ්ඩාර