සෑම ‍ජාතියකම අනාගතය, අතීතය සමඟ දැඬිව වෙලී ඇත. නොයෙක් අවස්තාවන්වලදී ඉතිහාසය වරින් වර එබිකම් කරනුයේ අතීතයේ සිදුවුනු හොද සහ නරක සිද්ධීන් ආවර්ජණයක් කරමින් අමතක වූ පාඩම් නැවත මතක් කරදීමටය. නායක්කාර වාංශික කන්නසාමි කුමරා ලාංකේය රාජකීය උරුමය රාජාධිරාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් 1790 දී කන්ද උඩරට රාජ්‍යයේ කිරුළ ලබාගත්තේ, වර්තමානයේ ශ්‍රී ලාංකේයන් මුහුණ දී සිටින අබුද්දස්ස කෝලම හා සමාන තවත් වික්‍රමකයින් පසුවය. පුරා දශක කිහිපයකම සටකපට දේශපාලනයේ ප්‍රථිපලයන් නිසා සිය අනාගතය සහ ජීවත්වීමේ අයිතිය වර්තමාන ශ්‍රී ලාංකේයන්ට අහිමි කර ඇති ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්වුනු මහජන නියෝජිතයින්, අද, අවඥා සහගතව රඟපාන්නේ, එදා පිළිමතලාවේ අධිකාරම්ලාගේ භූමිකාවමය. මෙය ඉතිහාසයෙන් අප සියළු දෙනා උගෙන ගතයුතු පාඩමක් ලෙසට සටහන් කරනු වස් මෙම ලිපිය සකස් කරමි. මෙහි මුඛ්‍ය පරමාර්තය පද්ධතිමය වෙනසකට හඬ නඟන රොද බැදී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකේය එඩිතර තරුණ තරුණියන් සිය වර්තමානය සහ තමන්ට උරුම අනාගතය නිර්මාණය කරගැනීමට පෙලගැස්වීමටය. ඉතිහාසයෙන් ඔවුනට උගෙන ගත හැකි දේ බොහෝය.

රාජකීය ලේ උරුමය කන්නසාමි කුමාර වෙත ආරූඩ කරනු වස්, එවකට කන්ද උඩරට ජනයා අතර ප්‍රචලිත වූ කටකතාව නම්, කන්නසාමි කුමරා එවකට රාජාධිරාජසිංහ රජතුමාගේ අගමැති තනතුර හෙබවු පිළිමතලාවේ අධිකාරම් වරයා සහ රජවාසලේ වැන්දඹු රාජමහේසිකාවක් අතර පැවති අනියම් සබඳතාවයකින් ජණිත වූ කුමරෙක් ලෙසය. වර්තමානයේ FAKE NEWS මාධ්‍ය එවකට කටකථා ඔස්සේ ගලාගිය අතර, පිළිමතලාවේගේ රාජ්‍ය පාලනය ඩැහැ ගැනීමේ සැඟවුණු අරමුණුත්, නායක්කාර වාංශිකයින්ට රජකම හිමිවෙන තත්වයකට උඩරට යටත් වාසීන් නොමඟ ඇරීමට මෙම තත්වය හේතු භූත විය. සිහසුන රැක ගැනීමට පාලකයින් ජනතාව ගොනාට ඇන්දවීම කාලාන්තරයක් තුල ලක්බිමේ සිදුව ඇත.

මෙම ඓතිහාසික පුරා වෘත්තය විස්තර කිරීමට මෙම ලිපියේ අරමුණක් නොවූවද, ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත්වූ ලක්බිමේ අවසාන රජු බ්‍රිතාන්‍යන්ගේ සිරකරුවකු සේ මුරුසි දිවයිනට පිටුවහල් කරන තෙක් ශ්‍රී ලාංකේයන්ට අත්වුණු ඉරණම සියළු දෙනාම දැනගතයුතය. විශේෂයින් විසිඑක්වෙනි සියවසේ භූ දේශපාලන ආර්ථික බල අරගලයේ කොටස් කරුවන් වීමට 2022 අරගලයට දායක වූ කිසිම ශ්‍රී ලාංකේයකු සමිබන්ධ නොවිය යුතු බැවිනි. මමත්වයෙන්, අධිමානසිකත්වයෙන්, බලකාමයෙන් පිස්සු වැටී සිටින වර්තමානයේ දේශපාලනඥයින් මහජන මතය පිලිබඳව කිසිම තැකීමක් නොමැත. බල තන්හාව කොතෙක්ද යත්, වරක් දෙවරක් නොව සිය වාරයක් මහජනතාව ප්‍රතික්ෂේප කළ ද, ඔවුන් හැර, රට ජාතිය ආගම ගොඩ දාගතහැකි වෙනත් ජගතෙක් මෙලොව පහලවී නැති බව ඔවුන්ගේ ඒකායන විශ්වාසයයි. එම මතය ඔවුන්ගේ ලේ මස් නහර වලට ජීරණය කරවන එහෙයියන් රැසක් ඔවුන් වටා රොද බැඳ සිටිත්. උගුලෙන් හෝ හබකෙන් කෙසේ හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණයි. ඔවුන් සැදී පැහැදී සිටිනුයේ දේශපාලන කර්මාන්තයේ නියැලෙමින් රටට පෙර තමා සහ තම පවුලේ සුභ සාධනය අත්කර ගැනීමටත්, මෙම ක්‍රම වේදය කෙසේ හෝ නඩත්තු කරගෙන යාමය. මෙම තත්වය වෙනස් විය යුතු බව මෙම ලියුම්කරුගේ විස්වාශයයි. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකරන අරගල භුමියේ සගයින් සවිබල ගන්වමින් වර්තමාන සංඛථ තාක්ෂණයට පහසුවෙන් අනුගත විය හැකි කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයක් අප විසින්ම නිර්මාණය කොට ශ්‍රී ලංකාවට හඳුන්වා දිය යුතුව තිබේ. එම නව පරිපාලන පද්ධතියේ සංයුතිය අනිවාර්යෙන්ම සියළුම ශ්‍රී ලාංකේයන්ට පොදු, රටට ආවේණික ජණවාර්ගික සහ සංස්කෘතික විවිධත්වය තහවුරු වන පද්ධතියක් විය යුතුය.

එකී ප්‍රජාතාන්ත්‍රික පාලන රටාව වත්මන් නියෝජිත ප්‍රජාතාන්ත්‍රික රාමුව ඉක්මවා නව තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ වැඩි දෙනෙකුගේ අදහස් උදහස් ප්‍රතිපත්ති සැළසුම් කිරීමේදී දායක කරගත හැකි පරිදි සකස් කරගතයුතුව ඇත. මෙම ක්‍රියාදාමයේදී මැතිවරණ වලට ඉදිරිපත්වී තෝරාපත්වෙන සියළුම මහජන නියෝජිතයින්, ඡන්ද දායකයින්ට සහ බඳු ගෙවන්නන්ට සෘජුව වගවෙන වගකියන තැනැත්තන් බවට පත්කල යුතුව ඇත. දේශපාලකයින් මහජන සේවකයින් ලෙසත්, ඔවුන් වරප්‍රසාදලාභි පංතියක් නොවන බව ඒත්තු ගැන්වීමේ ආකල්පමය වෙනස සමාජගත කරවීම මෙම වැඩපිලිවෙලේ මූලිකම පියවර වියයුතුව ඇත. තමාට, තම පවුලට පෙර රටත්, රට ජාතිය ආගම යන ත්‍රිත්වය යන ප්‍රමුඛතාව මත කටයුතු කිරීමට හුරු පුරුදු කලයුතුව ඇත.

1790-1815 සිහසුනේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දිවයිනේ රජකම් කල කෲරතම පාලකයා විය. තමා සිහසුනේ පිහිටවීමට පාර කැපූ පිළිමතලව්වේට රජු මරණ දණ්ඩනය නියම කලේය, කෲර පාලකයා පන්නා දැමීමට බ්‍රිතාන්‍යන් හා එක්වූ පිළිමතලව්වේගේ බෑණනුවන් වූ ඇහේලේපොළ අධිකාරම් ගේ සිය පවුලම කෲර වදහිංසනයට ලක් කරවීමට රජු කටයුතු කලේය. අවසානයේදී ලක්දිව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් කොට රජු මුරිසි දිවයිනේ සිරකරුවෙකු ලෙස සිය ජීවිත කාලය ගත කොට මිය ගියේය. මෙම තත්වයන් හොදින් තේරුම් ගැනීමට ජනවහරේ ඇති කැවුම් ගෙඩියට පොර කෑ බළලුන් දෙදෙනාගේ කථාව උපයෝගී කරගනිමු. ශ්‍රී ලංකාව වර්තමාන භූ දේශපාලනික බලකඳවුරු වල කැවුම් ගෙඩියක් කර ගැනීමට ඇති සියළුම මං පෙත් ඉවසීමෙන් බුද්ධිමත්ව අසුරවාලීම සියළු දෙනාගේ වගකීමක් වනු ඇත.

මූලාශ්‍රගත තොරතුරු අනුව කන්නසාමි කුමාරයාගේ සුජාත බව දැන් තහවුරුව ඇත. ඔහු රාමේස්වරම් දේවාලයේ පණ්ඩාරම්කම දැරූ වෙන්ගඩ පෙරුමාල්ට දාව සුබ්බම්මා කුමාරිකාවගේ කුසින් රාමේස්වරම්හීදී උප්පත්තිය ලබා ඇත. සත්‍ය මතුවෙන විට අසත්‍ය විසින් කර ඇති හානිය කොපමණද යැයි තක්සේරු කල නොහැක. රජකම් කලත් කල කම් පල දීමේ සනාථන සත්‍ය අදටත් එකහාසමාන ධර්මතාවක් බවට අප සියළු දෙනාම සිහිපත් කර ගතයුතුව ඇත. එබැවින් වැරදි දේ වැරදි ආකාරයට කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය, එසේම නිවැරදි දේ වැරදි ආකාරයට කිරීම ද ප්‍රථිපල විකෘති කරවන අනර්ථකාරී තත්වයන් ඉතිහාසය විසින් අපට උරුමකර ඇති ආකාරය පිළිබද සාධක ඕනෑ තරම් ඇත. එබැවින් නිවැරදි දේම නිවැරදිව කිරීමට අප පෙළගැසෙමු. ජනතා පරමාධිපත්තිය ජනසම්මුතියෙන් දිනා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය යන මත පිහිටා කටයුතු කිරීම ප්‍රඥාගෝචරය.

මහජන විශ්වාසය නොමැතිව කිසිම රාජ්‍ය තන්ත්‍රයකට පැවැත්මක් නොමැත. රාජ්‍ය පාලන බලය විකෘති කර ලබාගෙන පාලන තන්ත්‍රය හා අනුගත වන්නන්ට සහ බාහිර බලවේගයන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරදෙමින් ජනතාව නොමග හැරිය හැක. එයතුලින් පාලකයින්ට ඉසුරුත්, පාලිතයින්ට වසුරුත් පුද දීමට හැකි සියල්ලක්ම කිරීම ඔවුනගේ ප්‍රමුඛතාවයන් කරගෙන හමාරය. එහෙත් සියළු දෙනා හැමදාම රැවැට්ටවීම පහසු නොවන බව තේරුම් ගැනීමට පද්ධතිමය වෙනසකට මුලපුරා ඇති තරුණ ජවය සමඟ ගැටීම, දේශපාලන මහදැන මුත්තාලාට අපූරු අත්දැකීමක් වනු ඇත. එය ශ්‍රී ලාංකේයන් විසින් මානව ශිෂ්ඨාචාරයට එක් කරන නව පරිච්ඡේදයක්ද වනු ඇත. හැට නම ලක්ෂයේ ලබ්බට තිබූ අත, 134 පුහුළටත් තියන බව ඉඳුරාම කිව හැක. විකෘතිමත් ජනමතය නියෝජනය වන පාර්ලිමේන්තුවකින් විධායක ජනාධිපතිවරයකු පත් කරගෙන රාජ්‍ය පාලනයට එළැඹීම, හරියට මැටි අශ්වයකු මත විශ්වාසය තබා ගඟක් තරණය කිරීමක් හා සමාන කල හැක. මන්ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවිය හෙබවු සියළුම අවස්ථාවන්වල සිය පාලන කාලය සම්පූර්ණ වීමට පෙර වැඩ වරද්දා ගත්තේය. දින සියය ඉක්මවන පාලන කාලය පැනගැනීමේ අභියෝගය ඔහු පසුපසින් මෙවරද හඹා එනු ඇත.

ජයශ්‍රී ප්‍රියලාල්

(ජයශ්‍රී ප්‍රියලාල් මහතා, යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා මෙන්ම ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.)