ඉන්දියාවේ ශ්‍රී ලංකා බැල්ම – සුනන්ද දේශප්‍රිය
පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් නිරුපමා රාවෝගේ සංචාරය අතරතුර කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ:
“ඇය යාපනයේ පුස්තකාලයේ දී ඇය සිවිල් සමංජ සංවිධාන ප්‍රධානීන් රැසක් මුණ ගැසී සන්නද්ධ අරගලයේ අවසානයෙන් පසු මෑත කාලීන වර්ධනයන් පිළිබඳ ඔව්න්ගේ අදහස්වලට සවන් දුන්නා ය.”
එළෙස යාපනයේ සිවිල් සමාජ ප්‍රධානීන් නිරූපමා රාවෝ ට කියා සිටි මෑත කාලීන වර්ධනයන් පිළිබඳ අදහස් මොනවාද? යාපනයේ සිට වාර්තා කරන දෙමළ ජනමාධ්‍ය කියා සිටි අන්දමට යාපන සිවිල් සමාජ ප්‍රධානීන් වෙනත් වචනයෙන් නමුත් නිරූපමා රාවෝ ට කියා සිටියේ “බොරු කතා එපා. අපේ ප්‍රශ්ණ ගැන උනන්දුවක් තිබෙනවා නම් දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසදුමක් ගැන වැඩ කරන්න” කියා ය. එළෙස ඇයට කරුණු කී පිරිස් අතර ශ්‍රාස්ත්‍රඥයින් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ද වූහ. ඔව්න් කියා සිටියේ තැන තැන කැරෙන යළි පදංචි කිරීම්වලින් දෙමළ ජනයාට ඇතිවන සැබෑ සුගතියක් නැති බවයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය නිතුත් කළ එම වාර්තාවේ ම මෙසේ ද සදහන් වෙයි. “ දැන් පැමිණ ඇත්තේ අනාගත පරම්පරා වෙනුවෙන් ඉදිරිය දෙස බැලීම බව කී නිරූපමා රාවෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවගේ සුභ සාධනය සෑම විටම ඉන්දියාවේ මූලිකත්වයක් බව කියා සිටියා ය.” පුදුමයකට මෙන් යාපනයේ පැවැති රුස්වීමේ දී ද ඇය දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා වන දෙමළ ජනයාගේ අරගලය ගැන හෝ දේශපාලන විසඳුමක අවශ්‍යතාවය ගැන හෝ කතා කලේ නැත. මෙම නිවේදනය සහමුලින්ම වාගේ වෙන් වී ඇත්තේ ඉන්දියාව විසින් මෙරට දෙමළ ජනයා අරභයා කරන්නට යන සුභ සාධක කටයුතු අරභයා ය. ඇත්ත වශයෙන්ම නම් නිරූපමා රාවෝගේ මෙම සංචාරයට හේතු වූයේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ඉන්දීය මධ්‍යම රජය වෙත කරන ලද බැලපෑම ය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ වාර්ගික ප්‍රශ්ණ වලට විසඳුමක් ලෙස දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙම තමිල්නාඩු බලපෑම මහත් අවධානයක් යොමු කරයි.
ශ්‍රී ලංකාවේ චීන මැදිහත් වීම දැන් ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දීය රාජ්‍යයේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත් ද යන ප්‍රශ්ණය යම්යම් දේශපාලන විචාරකයින් විසින් මතුකරනු ලැබ තිබේ. සෝවියට් සමාජවාදී කඳවුර සහ ඇමෙරිකානු බටහිර ධනපති කඳවුර අතර තිබූ සීතල යුද්ධ කාලයේ දී ඉන්දියාව සිටියේ සෝවියට් කඳවුර සමඟ ය. එනමුත් සෝවියට් කඳවුරට අයත් වූ චීනය සමඟ ඉන්දියාව කවර කළෙකවත් එක් කඳවුරක සිටියේ නැත. දකුණු ආසියාවෙහි ඉන්දීය පිළිවෙත චීනය විසින් හදුන්වන ලද්දේ ඉන්දියානු ව්‍යාප්තවාදය ලෙස ය. නමුත් අද ඉන්දියාවේ විදෙස් පිළිවෙත ඇමෙරිකාව සමඟ සමීප බැදීමක් බවට පත්ව තිබේ. වෙනස් නොවී ඇත්තේ චීනය සමඟ වූ පසමිතුරු සබඳතාවය යි.
ඉන්දියානු යුද දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ දකුණු ආසියාව තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙහි බාහිර බලවේග මැදිහත් වීම ඉන්දියානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පත්ව ඇති බව යි. බාහිර බලවේග යනු අන් කවර රටක්වත් නොව චීනය යි. පශ්චාත් එල්ටීටීඊ යුගය තුළ ශ්‍රී ලංකාවෙහි චීන බලපෑම ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයිනගේ නිරන්තර මාතෘකාවකි.
එනමුත් ශ්‍රී ලංකාවෙහි සමජ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ඉන්දියානු බලපෑම තවමත් චීනයට නැත. අනෙත් අතට අප්‍රිකාවෙහි බොහෝ රටවල චීනය විසින් අල්ලා ගෙන ඇති දේශපාලන සහ ආර්ථික බලපෑම දෙස බලන විට ශ්‍රී ලංකාවෙහි ද එයම සිදු නොවනු ඇතැයි කිව නොහැකි ය. චීන ප්‍රාග්ධනය විශේෂයෙන්ම ලැදියාව දක්වන්නේ යටිතල ව්‍යුහ සංවර්ධනය මගින් දීර්ඝකාල බලැපෑමක් අල්ලා ගැනීමට ය. අද චීන විදෙස් පිළිවෙතෙහි නිර්ලෝභී සමාජවාදී ආධාර කියා දෙයක් නැත. අප්‍රිකාවෙහි චීන අවශ්‍යතාවය වන්නේ චීන කර්මාන්ත සඳහා ඇති අමුද්‍රව්‍ය ලබා ගැනීම පිණිස ය. ශ්‍රී ලංකාවෙහි චීන ලැදියාව මුලික වශයෙන්ම ඇත්තේ ඉන්දියානු බලපෑම දුර්වල කිරීම සහ නාවික පහසුකම් ලබා ගැනීම පිණිස ය.
ඉන්දියාවට එසේ නොවේ. එයට මේ තාක් තිබූ ප්‍රධාන ලැදියාවන් දෙක නම් තමිල්නාඩුව හරහා එන ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සහ දකුණු ආසියාවෙහි සිය ආධිපත්‍ය පවත්වා ගැනීම ය. එයට මෙරට දෙමළ ජනතාව අතර බලපෑමක් ඇති අතර දෙමළ දේශපාලන පක්ෂ ඉන්දියාව දෙස බලන්නේ සිය අයිතීන් ලබා ගැනීම සඳහා සහාය ලබා ගත හැකි දකුණු ආසියානු බලවතා ලෙස ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්දයෙන් විශේෂයෙන් ම මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ ඉන්දියාව තරම් ඍජුව මත ප්‍රකාශ කරන අන් රටක් නැත. ඉන්දියානු ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාවෙහි කරනු ලැබ ඇති ආයෝජනයන් මෑත කාලයෙහි සැළකිය යුතු පරිදි ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියානු සංචාරක වෙළද පොළෙහි ශ්‍රී ලංකාව මහත් ආකර්ශනයක් බවට පත්ව තිබේ. චීනයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන්නේ නැති තරම් ය. ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. ශ්‍රී ලංකාවෙහි චීන බැලපෑම ඉන්දියාවට තර්ජනයක් වන පරිදි නැගී ආවේ වත්මන් ආණ්ඩුව යටතේ ය.
එසේ නමුත් ඉහත කී තත්ත්වය අපට පෙනුනුම් කරන්නේ ශ්‍රී ලංකාවේ චීන බලපෑම් කොතරම් ප්‍රබල වුව ද එයට ඉන්දියාව පැරද වීම දුෂ්කර බව යි. ඉන්දියාවට ශ්‍රී ලංකාවෙහි ආර්ථික දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සමාජ ක්ෂේත්‍රයේ ද බලපෑමක් සතු ය. මෑත කාලීනව මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්දයෙන් ඉන්දියාව පෙන්නුම් කරන අලුත් උනන්දුව ඊට එක් නිදසුනකි.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ඉන්දියානු ආණ්ඩුව සමඟ දේශපාලන සාකච්ජාවන්හි නිරත විය. ප්‍රසිද්ධියේ ම ඉන්දියාව කෙරෙහි පක්ෂපාතිත්වයක් දක්වන වර්ධරාජා පෙරුමාල් වැනි දේශපාලනඥයින් ද ඇතුළත් වන දෙමළ දේශපාලන පක්ෂ පෙරමුණ ගොඩනැගුනේ එම සාකච්ජාවන්ගෙන් අනතුරුව ය. එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ සන්ධානය ද ඉන්දියානු ආණ්ඩුව සමඟ නිරන්තර සාකච්ඡාවන්හි නිරත වෙයි. මෙම දේශපාලන පක්ෂ සියල්ල සිය ප්‍රධාන එකඟතාවය ලෙස සළකන්නේ දේශපාලන විසඳුමක් ලබා ගැනීම යි.
යුද්ධාවසානයෙන් දින කිහිපයකට පසු ඉන්දියනු සංචාරයක යෙදුණු ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ 13වන සංශෝධනය ඉක්මවා යමින් මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්ණවලට දේශපාලන විසඳුමක් ලබා දීමට තමා සූදානම් බව යි. එනමුත් පසුගිය මාස 16ක් කාලය තුළ ඒ අරභයා කිසිදු ප්‍රගතියක් අත් කර ගැනුණේ නැත. මෙම ප්‍රශ්ණය පිලිබඳව දිගින් දිගටම උනන්දුවක් පෙන්වා ඇත්තේ ඉන්දියානු දේශපාලනයේ තීරණාත්මක භුමිකාවක් අයත් තමිල්නාඩු ප්‍රාන්තය පමණි. තමිල්නාඩුව සහ දිල්ලිය හැරුණ විට ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ ගැන එතරම් උනන්දුවක් පෙන්වන වෙනත් දේශපාලන බල කේන්ද්‍ර කිසිවක් ඉන්දියාවේ නැත. එමෙන්ම අනෙක් අතට තමිල්නාඩුව නොසළකා සිය දේශපාලන උපාය මාර්ග සකස් කිරීමට ඉන්දීය මධ්‍යම රජයට හැකියාවක් ද නැත.
තමිල්නාඩුව ඉන්දියාවේ සියළුම ප්‍රාන්ත අතුරින් කාර්මිකරණය අතින් පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාවේ තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කිය යි. නාගරිකකරණය අතින් ද ඉදිරියෙන්ම සිටින එය විදේශ ප්‍රාග්ධනය ගලා ඒම අතින් තෙවැනි ස්ථානයේ සිටියි. ඉන්දියාවේ වේගයෙන් නැගී එන ඉන්දීය ආර්ථිකයේ අවශ්‍යතාවයන් නියෝජනය කරන ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩුව අතර ඇති සහ සම්බන්ධය හුදෙක් ලෝක් සභා ආසන අංක ගණිතය ඉක්මවා යනනේ එබැවිනි.
තමිල්නාඩු දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික දේශපාලනය අතර ඇති බැඳීම දැන් මෙරට දෙමළ ජනයා අරභයා ඇති බැදීමක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් ගැන කතා කරන තමිල්නාඩු දේශපාලන පක්ෂ කුඩා බව සැබෑ ය. එනමුත් කුඩා දේශපාලන පක්ෂයක් වන හෙළ උරුමය සිංහල ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රයට තීරණාත්මක බලපෑමක් කරන පරිද්දේන්ම තමිල්නාඩු දේශපාලනය තුළ උත්ප්‍රේරක භුමිකාවක් එම පක්ෂ සහ සංවිධාන විසින් අල්ලා ගෙන තිබේ.
ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිගෙන් විමසා සිටියේ ප්‍රසිද්ධියේ ය. තත්ත්වය විමසා බැලීම පිණිස විශේෂ නියෝජිතයකු ශ්‍රී ලංකාවට යැවිය යුතු යැයි තීරණය වුයේ ඒ ප්‍රසිද්ධ සාකච්ජාව හරහා ය.
රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීමේ පිළිවෙත අවසන් කළා ය. විශේෂයෙන් ම කොන්ග්‍රස් පක්ෂ නායකත්වය යටතේ ඉන්දියාව දැක්වූයේ එල්ටීටීඊ ය පරාජය කිරීමට සහාය දක්වන අතර තුර දෙමළ ජනයාගේ ප්‍රශ්න සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය ය යන ස්ථාවරය යි. මෙරට දෙමළ ජනයා සහ දෙමළ දේශපාලන පක්ෂ සමඟ ඇති සබඳතා ශ්‍රී ලංකාවේ චීන බැලපෑම අවම කිරීමට පාවිච්චි කළ යුතුය යන අදහස් ඉන්දියාවෙහි යම්යම් යුද දේශපාලන විචාරකයින් විසින් දැන් පෙරට ගනිමින් තිබේ.