iMage: slguardian.org

බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කර ඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක දොඩම් ගෙඩියක්වත් අතේ නොරැඳෙයි.

ජනාධිපතිවරයා බලයට පත්ව තවම අවුරුද්දක්වත් නැත. ඔහුට එම තනතුරේ තව සිටිය හැකි කාලය අවුරුද්දකට ටිකක් වැඩි විය හැකියි. අපේ ජාතික ප්‍රශ්නය අඩු වශයෙන් අවුරුදු 75 ක්වත් පැරණියි. ජාතික ප්‍රශ්නයක් යනු, නීතියක් සංශෝධනය කිරීමෙන් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා, දූරදර්ශී නායකත්වයක් සේම, විචාරශීලි ජනතාවක් සහ සමාජයක් ද අවශ්‍ය කෙරේ. ඒවා අපට නැති නිසා, දශක හතකටත් වැඩි කාලයක් තිස්සේ එය ඔඩුදුවමින් පවතී. මේ ප්‍රශ්නය අදවත් විසඳා ගැනීමට බැලිය යුත්තේත් ඒ නිසාම නොවේදැයි කෙනෙකු ඇසිය හැකිය. ඇත්ත, ඒ ගැන විවාදයක් නැත. එහෙත්, ප්‍රශ්නයක් සඳහා විසඳුමක් සොයා යාමේ මාර්ගය ප්‍රායෝගික විය යුතුය. විශ්වසනීය විය යුතුය.

රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකත්වයට පත්වීම සන්සන්දනය කිරීම සඳහා පූර්වාදර්ශයක් සොයා ගැනීමට නැත. ඔහුගේ පත්වීම අතරමැදි එකකි. එවැනි අහම්බ පත්වීමක වාසි මෙන්ම අවාසි ද තිබේ. පවතින සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගත් විට, දෛනික කළමණාකාරීත්වයක භූමිකාවකට එහා කිසිවක් කිරීමට පුළුවන්කමක් ඔහුට ඇතැයි නොපෙනේ. අප මුල පටන්ම පෙන්වා දෙන, ඔහුට නැති ‘සුජාත භාවය’ පිළිබඳ ප්‍රශ්නයට අමතරව, සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින කඳවුරක සහයෝගය ඔහුට නොමැති වීම, ඔහුගේ සමස්ත පාලනයේ දුර්වලත්වයට ප්‍රධාන හේතුවකි. ඔහු රඳා සිටින්නේ රාජපක්ෂ කඳවුර මත ය. එය, මහජන අරගලයක් මගින් පන්නා දැමූ කඳවුරකි. හෙවත්, ඔහුටත් වඩා ‘සුජාත භාවය’ අහිමි කරගෙන සිටින කඳවුරකි. ඔහුට ජාතික ප්‍රශ්නය විසඳීම වැනි මහා ආඛ්‍යානයක් ගැන සිතන්ට සිදුවන්නේ ඔවුන් සමග ය.

පසුගිය පෙබරවාරි 4 වැනිදා වන විට අපේ ජාතික ප්‍රශ්නය ඉවරයක් කරමියි කීමට තරම් ඔහු සාහසික වීම, ඔහුගේ සත්භාවය මුලින්ම ප්‍රශ්න කෙරුණු මොහොතයි. එවැනි දින වකවානු සහිතව වැඬේට අතගැසීමම ප්‍රශ්නකාරී ය. යලට මහට දුවන දුම්රිය සේවයක තිබෙන කාලසටහනක් පවා යථාර්ථවාදී විය යුතුය. කෙසේ වෙතත්, දෙමළ පාර්ශ්ව සමග ඔහු තවමත් කතා කරයි. එය නරක නැත. එහෙත් රඟපෑමක් විශිෂ්ට වන්නේ, නිරූපණය විශ්වසනීය වූ විට ය. එවැන්නක්, ජනාධිපතිවරයාගෙන්වත්, ඔහු සමග දැනට සාකච්ඡා කරන දෙමළ පාර්ශ්වයන්ගෙන්වත් පෙනෙන්ට නැත.

කළ හැකි දෙයක් මෙන්න

එහෙත් ඉදිරි අවුරුද්දක කාලය තුළ, අවශ්‍යතාව ඇතොත්, ඔහුට කළ හැකි එක දෙයක් තිබේ. එය, තනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණක් කළ හැක්කකි. එනම්, ඔහු අද වාඩි වී සිටින පුටුවේ තව කෙනෙකුට වාඩි වීමට ඉඩ නොතැබීමයි. ඔහුගේ කෙටි ධුර කාලය තුළ එය ප්‍රායෝගිකව කළ හැකිවා පමණක් නොව, ඒ මගින් ඔහුට සාධනීය සහ ප්‍රශංසාත්මක අරුතකින් මේ රටේ දේශපාලනය තුළ ඉතිහාසගත වීමටද හැකි වන්නේය.

වර්තමාන ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ සියලූ පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන්, යම් යම් අවස්ථාවල පෙනී සිට තිබේ. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් තබාගත යුතු යැයි කලක් කියමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවා තමන්ගේ එම අදහස වෙනස් කරගනිමින්, සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මීට ටික කාලයකට කලින් පිළිගත්තේය. මේ දක්වා ඔහුගේ පක්ෂය ඒ මතය වෙනස් කොට ඇති බවට වාර්තා වී නැත.

ජනතා විමුක්ති පෙරමුණ මේ විධායක ජනාධිපති ක්‍රමය බරපතල ලෙස විවේචනය කෙළේය. එය අහෝසි කිරීම සඳහා වරක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීමේ සූදානමක් පවා ඔවුන් තුළ තිබුණි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගන්නා යම් නිශ්චිත ක්‍රියාමාර්ගයක් වෙතොත් ඊට ඔවුන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙතැයි සිතිය හැකිය.

මේ රටේ සුළු ජාතික පක්ෂ කාලයක් සිතා සිටි දෙයක් වුණේ, තමන්ගේ සහයෝගයකින් තොරව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ හැකියාවක් නැති නිසා, එම ජනාධිපතිවරයා ලවා තමන්ගේ ජනතාවට යම් ආකාරයක සහනයන් ලබාගත හැකි වන බවයි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ සහයෝගයකින් තොරව ජනාධිපති තනතුරට පත් විය. එසේ හෙයින්ම, මහජාතියට මිසක් සුළු ජාතියකට තමන් බැඳී නැතැයි යන මතයේ සිට කටයුතු කිරීමටත් ගෝඨාභය රාජපක්ෂට හැකි විය. දැන්, උතුරේ දෙමළ පක්ෂ, එතෙක් මේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ තමන් තබාගෙන සිටි විශ්වාසය නැති කරගෙන සිටින බැවින් එම ක්‍රමය අහෝසි කිරීමට දේශපාලනිකව එකඟ ය.

‘තනි අලියා’ සහ ජනාධිපති සිහින

මේ ක්‍රමය තවදුරටත් පවත්වාගත යුතුව ඇතැයි සිතන පිරිසක් ද සිටිති. ඔවුන් මා හඳුන්වන්නේ ‘තනි අලි’ ලෙස ය. ඔවුන් සිතන්නේ, තමා රටේ රජ වුණොත් සියලූ ප්‍රශ්න තමාට විසඳිය හැකි බව ය.. මේ පිරිස, සාමූහික නායකත්වයකට ප්‍රිය නොකරති. රජ ක්‍රමයට සමාන, තමාගේ නායකත්වය සමග තමාගේ පුද්ගල සාධකය අධිනිශ්චය කෙරෙන, පාලන ක්‍රමයකට වඩාත් ප්‍රිය කරති.

මෙහි එක් කෙළවරක උදාහරණයක් වශයෙන්, චම්පික රණවක ගත හැකිය. මීට කලින් විවිධ ආකාරයෙන් ඔහු තමාගේම ජාතික නායකත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කොට තිබේ. තමාගේ පරම්පරාව, නිදහසෙන් පසු ලංකාවේ නායකත්වයෙන් පිටමං කොට තිබිණැයි විශ්වාස කරන ඔහු, ඒ වැසුණු දොර ඇරගන්නා තෙක්, එනම් පිටමං කොට ඇතැයි කියන ඒ පරම්පරාවේ අතට දේශපාලනික නායකත්වය ගන්නා තෙක්, මේ රටට සුගතියක් නැතැයි සිතයි. ඒ නිගමනයට ඔහු ආවේ කෙසේදැයි පැහැදිලි නැතත්, අඩු වශයෙන් දැන් දශක පහක් තිස්සේවත් ලංකාව පාලනය කර ඇත්තේ, පිටමං කොට ඇතැයි ඔහු කියන පරම්පරාවම විසින්ම තමයි. එය, අද පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලූවත්, රාජ්‍ය පරිපාලනයේ සංයුතිය දෙස බැලූවත්, ආරක්ෂක අංශවල සංයුතිය දෙස බැලුවත් මනාව පැහැදිලි වෙයි. ටයි-කෝට් පරම්පරාව අපේ සමස්ත පාලනයෙන් පිටමං කොට දැන් බොහෝ කල් ය. ඒ සමාජ තට්ටුවෙන් ඉතිරිව සිටින්නේ, රනිල් වික්‍රමසිංහ වැනි ව්‍යතිරේකයක් පමණි.

මීට කලකට ඉහතදී ‘‘43 සේනාංකය’’ නමින් ව්‍යාපාරයක් ඔහු දියත් කෙළේය. එවැනි හමුදාමය යෙදුමක්, ලංකාවේ දේශපාලනික ව්‍යාපාරයක් සඳහා යොදාගත් පළමු අවස්ථාව එය විය හැකිය. පුද්ගලයා නමැති සාධකය, නායකත්වය තුළ විරාජමාන කෙරෙන පාලන ක්‍රමයක් සමග එවැනි සන්නාමයක් මනාව පෑහෙයි. ‘සේනාංක’ යුද්ධ භූමියට ගැළපුණත්, ප්‍රජාතන්ත්‍රවාදී භූමියට ඔරොත්තු දෙන්නේ නැත. ගිය සතියේ ඔහු තවත් අලුත් ව්‍යාපාරයක් පටන්ගත්තේය. පැහැදිලිව පෙනෙන්ට ඇත්තේ, රටේ නායකත්වය සඳහා, එනම් ජනාධිපති තනතුරට තමා පත්වන තෙක් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැති බවට ඔහු තුළ ඇති දැඩි විශ්වාසයකි. ප්‍රධාන ප්‍රවාහයේ සෑම දේශපාලන කුලකයක් සමගම මේ වන විට වැඩ කටයුතු කොට ඇති, කැබිනට් ඇමති ධුර පවා හොබවා ඇති ඔහු, රාජ්‍ය නායකත්වය තමන්ට නොලැබීම, මෙතෙක් මෙරටට සොයාගැනීමට නොහැකි වූ ආශ්චර්යමත් යතුර වශයෙන් සලකන බව පෙනේ.

පුද්ගලයා රජ කරවිය හැකි මේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම තබාගත යුතු යැයි සිතන අනිත් පිරිස නොම්මර එකේ විකටයන් ය. තක්කඩින් ය. ජනාධිපතිවරණයක් කිට්ටු වන විට මෙරූන් මෙන් මොවුහූ එළියට එති. සමස්ත පරිහානිය ගැන කලකිරී සිටින ජනතාවගෙන් යම් පිරිසක් (විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව) මොවුන් ගැන විශ්වාසය තබති. සල්ලිවලින් ආධාර උපකාර කරති. අවසානයේ එ් සියල්ලට විද ඔවුහූ ඊළඟ ජනාධිපතිවරණය කිට්ටු වන තෙක් අතුරුදහන් වෙති. තවත් පිරිසක්, යම් ප්‍රසිද්ධියක් ලැබුණු සැණින්, තමන් රටේ ජනාධිපති වීමට සුදුස්සෙකු යැයි සිතති. එහි අලුත්ම චරිතය වන්නේ, මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ය. පසුගිය (24) එම කොමිසමේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඔහු නෙරපා දැමීමට පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඡන්ද 123 ක් ලබාගනිමින් සම්මත විය. එම පරාජයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ස්ථිර වශයෙන්ම ඊළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ඔහු කියා සිටියේය. මොවුන්ට අනුකම්පා කරමින්, පරිස්සම් වී සිටීමටද අමතක නොකළ යුතුය.

ඇයි දැන් බැරි?

පුද්ගල සාධකයට ප්‍රමුඛත්වය දෙන මෙවැනි පිරිස් හැරුණුකොට, ප්‍රධාන ප්‍රවාහයේ අනෙකුත් සියලූ දේශපාලන පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ වන විට පක්ෂව සිටින නිසා, වර්තමාන ජනාධිපතිවරයාත් අප දන්නා කාලයක සිට එම ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියමින් සිටි නිසාත්, දැන් තමාට බලය ඇති මොහොතේ, ඉතා පහසුවෙන් ඔහුට එය කළ හැකිය. ‘අරගලය’ තුළ දිගින් දිගටම ඉල්ලා සිටි ‘ක්‍රමයේ වෙනසක්’ නමැති සටන්පාඨය තුළ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීමත් තිබුණි. රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති පදවියේ සිටින්නේ ඒ ‘අරගලයේ’ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් නිසා, යම් හෙයකින් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔහු සමත් වෙතොත්, ‘අරගලයට’ ඔහුගේ පැත්තෙන් විශාල යුක්තියක් ඉෂ්ට විණැයි අනාගත පරම්පරාව කියනු ඇත.

නැපෝලියන්ව බොහෝ ඉතිහාසඥයන් හඳුන්වන්නේ ‘විප්ලවයේ අවජාතක දරුවා’ වශයෙනි. නැපෝලියන් බොනපාට් යනු, ප්‍රංශ විප්ලවයේ පුරෝගාමීන් සහ එදා විප්ලවීය සමාජය සිහිනෙන්වත් නොසිතූ සහ නොපැතූ නායකත්වයකි. එහෙත්, නැපෝලියන්ගේ රාජ්‍ය කාලය තුළ ඔහු විසින් සිදු කරන ලද ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ, ප්‍රංශයට පමණක් නොව, මුළු ලෝකයටම කර ඇත්තේ ඓතිහාසික යුග මෙහෙවරකි. ලෝකයේ බොහෝ සිවිල් නීති පද්ධති තුළ අදටත් භාවිත වන විශාල පදාසයකට හිමිකම් කියන්නේ ඔහු ය. ඒ නිසා, පත්වීමක ඇති ‘අවජාතක’ භාවය, ක්‍රියාකාරීත්වයෙන් ‘සුජාත’ කරගැනීමට කෙනෙකුට බැරිකමක් නැත.

‘අරගලය’ කෙරෙහි යම් ආරෝවක් රනිල් වික්‍රමසිංහට ඇති නිසා, ‘අරගලය’ වෙනුවෙන් සහ ‘අරගලය’ නාමයෙන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටීම යෝග්‍ය නොවිය හැකිය. එහෙත්, ඔහුත්, ඔහුගේ පක්ෂයත් දීර්ඝකාලීනව ප්‍රතිපත්තියක් වශයෙන් මේ අහෝසිය පිළිබඳ කාරණය රැගෙන විත් ඇති බව සලකා, මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතීගෙන එන සමාජ-දේශපාලනික ප්‍රධානතම ඉල්ලීමක් වශයෙන් සලකා, නොකර හැරීමට වඩා කිරීමට ඇති ප්‍රායෝගික හැකියාවත් සලකා බලා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි මේ මොහොතේ යොමු වීම, ‘ජාතික ප්‍රශ්නයට’ නොකෙරෙන විසඳුමක් සෙවීමට වඩා, හැම අතින්ම තත්කාලීන සමාජ අනුමැතිය සහ අනුකූලතාව ලැබීමට තරම් වන ව්‍යායාමයක් වෙනවාට කිසි සැකයක් නැත. චම්පික රණවක සහ කාංචන විජේසේකර වැනි දක්ෂ සහ බුද්ධිමත් සහ තවම මහලු වී නැති පරම්පරාවක දායකත්වයත්, (ඔවුන් සමග ඇති අපේ වෙනස්කම් එසේම තිබියදී), මේ රටේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ උපරිමයෙන් උකහාගැනීමට පවා එවැනි වෙනසක්, එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු ගොඩනැෙඟන සමාජයක්, මහෝපකාරී විය හැකිය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda