Colombo, Featured Articles, Features

මෙතැනින් කොතැනට ද?


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

පසුගිය සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි කතුවරයා සිය වැකිය අවසන් කළේ මෙසේ ය:
“දේශපාලන විචාරකයින් විසින් උදාහරණ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකාව ලෝක රඟමඩලෙහි කුණු බිත්තර සේ සැළකෙන මියන්මාරය, ලිබියාව, වෙනුසියුලාව සහ සමහර අප්‍රිකානු රටවල මඟෙහි ගමන් ගනිමින් තිබේ යැයි දක්වමින් තිබුණි. මෑත දී අපද මෙරට නොදැනුවත්ව හෝ සියළු බලය තම අතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය යකඩ සපත්තුවට පාගා දැමූ ජෙනරල් සුහර්තෝ යටතේ ඉන්දුනීසියාව ගත මඟ ගනිමින් තිබේ දැයි මවිත වීමු.

“යුද වීරයකු සිරගත කිරීම, මිනීමැරුමකට වරදකරුකරන ලද පුද්ගලයකු දේශපාලන සබඳතා මත නිදහස් කිරීම, හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ව්‍යාජ පරීක්ෂණයකින් පසු විහුළු සහගත ලෙස වරදින් නිදහස් කිරීම යනාදිය අපරිශුද්ධ ප්‍රවණතාවයේ ළකුනු ය. ඉදිරියේ ඇති මඟ පැහැදිළි ය. අප සමඟ නැත්නම් ඔබ අපේ විරුද්ධකාරයෙක් ලෙස සැළකෙනු ඇත.”

18වන ව්‍යවස්ථා සංසෝධනය ජනාධිපතිවරයා වාර දෙකක් පමණක් එම ධූරය දැරීමමේ සීමාව ඉවත් කිරීම සහ රාජ්‍ය සේවයේ සියළු පත්වීම් ජනාධිපති යටතට ගැනීම යන කොටස් දෙකකින් යුක්ත බව පෙන්වා දුන් කතුවරයා මෙසේ කීය: “මෙම සංසෝධනය සම්මත වීමෙන් පසු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සහමුළින්ම අහෝසි වනු ඇත.”

“රාජ්‍ය නායකයා වශයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන බැවින් ජනාධිපතිවරණයේ දී ත්‍රිවිධ හමුදා ද පොලීසිය ද පවතිනු ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය”
“මෙම සංශෝධන දූෂණ සහ චංවා කොමිසම ඉක්මවා මැතිවරණ සහ අධිකරණයේ ඉහළ තලයන් කරා ගමන් කරයි. තුලණ සහ සංවරණ මෙන්ම බල විභේදනය අහවරකර දමා ඇත. දැන් නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කර තිබේ ”

අප මුහුණ දෙනු ඇත්තේ මෙම නව දේශපාලන සංස්කෘතියට යි. එහි නීතිය සහ යුක්තිය වනු ඇත්තේ පක්ෂග්‍රාහීත්වය යි.
ජනාධිපතිවරයාට මෙම බලතල ලැබීමට කලින් ම ජෙනරල් සරත් ෆොන්සේකාට දඬුවම් දී ඇති සැටියෙන් ද නඩු පිට නඩු පවරා ඇති සැටියෙන් ද කතුවරයා පවසන පරිදි ‛රාජපක්ෂ රිජීමය’ සමඟ නැති ඕනෑම අයකුට ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය යටතේ අත් විය හැකි ඉරණම තේරුම් ගැනීම දුෂ්කර නැත. එකක් හැර එකක් බැගින් හිටපු යුද නායකයා වූ ජෙනරල් සරත් ෆොන්සේකාට විවිධාකාර නඩු පැවැරීම මගින් පෙන්වන්නේ සැබෑ විරුද්ධවාදීන්ට අත්වන ඉරණම ය.

නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා විසින් සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දේ ද, නැත් ද යන්න ශ්‍රී ලංකාවේ දේශපාලන උනන්දුවක් ඇති ඕනෑම පුරවැසියකු දනී. කවර හෝ යහපාලන කඩතුරාවක් යටතේ හෝ ඔහු ආණ්ඩුවේ තබා ගත යුතු වූයේ නම් කළ යුතුව තිබුණේ ඇමැතිවරයාට ප්‍රසිද්ධයේ අවවාද කොට සමෘද්ධි නිලධාරියාගෙන් සමාව ඉල්ලා ප්‍රශ්ණය අවසන් කිරීමයි. ඒ වෙනුවට ආණ්ඩුව කළේ මුළු මහත් සමාජයම ගොනාට ඇන්දවීම ය. දි අයිලන්ඩ් කතුවරයා කීවේ
“මේ වනාහී සත්‍ය ගබ්සා කිරීමක් ” බව යි. අවසානයේ දී ජනාධිපතිවරයා සියළු කතුවරුන් කැඳවා කීවේ එම සමෘද්ධි නිලධාරියා සිය කැමැත්තෙන් කට උත්තරය දුන් බවත් තමා කළේ රඟපෑමකැයි කියා සිටියේ කිසිදු තර්ජනයක් නිසා නොවන බවත් ය. රටෙහි නීතියේ සහ සාමයේ ආරක්ෂකයා වන ජනාධිපතිවරයා සියළු පුවත්පත් කතුවරුහමුවේ එසේ කියා නියෝජ්‍ය ඇමැතිවරයාගේ නිදහස වෙනුවෙන් කරුණූ දක්වන කළ වෙන කුමණ කතා ද? ලක්බිම ඉංග්‍රීසි පුවත්පත කියා සිටියේ පක්ෂපාත වුවන්ට සහ පක්ෂපාත නැති අයට වශයෙන් ශ්‍රී ලංකාවේ නීති දෙවර්ගයක් ඇති බව ය.

කොලුගේ ලියමන් බ්ලොග් අඩවිය මේ තත්ත්වය අපූරුවට සටහන් කරන්නේ මෙලෙස ය: “වැරදිකරු බව ඔප්පු කරන තෙක් ඕනෑම පුද්ගලයකු නිර්දෝශි ය. බොහෝ දෙනෙකු නොදන්නා කාරණය වන්නේ ලංකාවේ නීති ක්‍රමයට අනුව අපි සැමෝම නිර්දෝශියැයි ඔප්පු කරන තෙක් වරදකරුවන් බව ය. වරද ඔප්පු නොකර සැකපිට පමණක් වැලිකඩ යැවිය හැකි ය. නිවැරදිකරුබව ඔප්පු කර නිදහස්වී ඒම සැකකරුගේ යුතුකම ය.” හරියටම හරි. ජවිපෙ මංත්‍රිවරුන් සිරගත කරන්නේ නිවැරදි බව පෙන්වා නිදහස් වීමට ය. හමුදාවේ උසස් නිලධාරීන් සිරගත කරන්නේ ද නිවැරදි බව පෙන්වා පුළුවන් නම් නිදහස්වන අභියෝග කරමිනි. මේ තර්කයේ අවසානය වන්නේ රාජපක්ෂවරුන් හැර අන් සියළු දෙනාම මෙම වරදකරුවන් ගොඩට ඕනෑම අවස්ථාවක දැමිය හැකි වීම යි.

දේශපාලන පොලීසිය හරහා ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොයිබට ද යන්න පෙන්වන වැදගත් සිදුවීම් කිහිපයක් ම පසුගිය දිනවල වාර්තා විය. එනම් මාතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියකුට පහර දීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයට සිදුවෙමින් ඇති තත්ත්වය යි. මෙම පහර දීම මහත් ආන්දෝලනයකට ලක් වූ අතර එය පිටුපස සිටින්නේ දේශපාලනඥයකු බවට කතා පැතිර ගියේ ය. පරීක්ෂණය පිණිස යොදවන ලදැයි කියූ සිය දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායම ආපසු කැදවන ලද අතර යළි පරීක්ෂණය මාතර පොලීසියට බාර දී තිබේ. එපමණක් නොව මෙම පහරදීම සමථ මණ්ඩළය හමුවේ නිරාකරණය කර ගන්නා ලෙස පොලීසිය යෝජනා කර ඇතැයි ද සති අන්ත පුවත්පත් වාර්තා කරන ලදී. මෙම වර්ධනය විසින් පෙන්වන්නේ ද මිනී මැරුමක වැරදිකරු දේශපාලන හිතවත්කම උඩ නිදහස් කරන ලද අන්දමට ම මෙම පහරදීම පිටුපස සිටින බලවත් පුද්ගලයින් ද කිසිදු දඩුවමක් නොලබා බේරී යනු ඇති බව යි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයකු ’පැන යාමට උත්සාහ කිරීමේ’ දී මරා දැමීමේ අයිතිය යළි ප්‍රායෝගික වශයෙන්ම පෙන්වන ලද අවස්ථා දෙකක් පසුගිය දිනවල ඇති විය. ඉන් ප්‍රසිද්ධියක් ලබා ගත්තේ පාතාල නායකයකු යැයි කියූ ‛ඕලකොට්’ නම් පුද්ගලයකු මරා දැමීමේ සිදුවීම යි. ඔහු ‛පැන යාමට තැත් කිරීමේ දී’ පොලිස් වෙඩිපහරට ලක්ව මිය ගියේ යෟ. දැන් පුවත් පත් විසින් වාර්තා කර ඇත්තේ පාතාල නායකයින් 25 දෙදෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග දී ඇති බවයි. ඩබ්ලිව්3ලංකා වෙබ් අඩවිය එම පුවත වාර්තා කලේ “පාතාලයන් 25 දෙනෙකු ඉදිරි දිනවල දී ආයුධ පෙන්වන්නට ගොස් පලායාමට උත්සාහ කිරීමේ දී වෙඩි වැදී මිය යනු ඇත” කියා ය. සිදුවන්නේ කුමක්ද කියා අපි හැමෝම දනිමු.

පොලීසියට දැන් ස්වාධීන කොමිසමක් නැත. පත් කැරෙනු ඇති ව්‍යාජ උපදේශක සභාවටවත් පොලිස් සේවය ගැන කිසිදු අයිතියක් නැත. එය පාලක දේශපාලනඥන්ගේ අයිතිය බවට නීතියෙන්ම පත්ව තිබේ. එම පොලීසිය විසින් ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවය කරන විදේශිකයින් පිළිබඳ සෙවිල්ලෙන් සිටින බව නිල වශයෙන්ම වාර්තා කරන ලද්දේ ද පසුගිය දෙසතිය තුළ ය.

18වන සංසෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයා කුලීකරුවකුගේ තත්ත්වයට පත්වන බව ආචාර්‍ය කුමාර් ඩේවිඩ් පෙන්වා දුන්නේ ය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ සිත්කාවදින නිවේදනයක් මගින් කියා සිටියේ මේ අවස්ථාවෙහි නැගී සිටියේ නැත්නම් සදාකාලික නින්දකට යෑමට ශ්‍රී ලංකාවේ පුරවැසියනට සිදුවනු ඇති බව යි.

පසුගිය 07 දා කොළඹ පැවැති 18වන සංශෝධන විරෝධී ජවිපෙ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට පොලීසියේ උසස් නිලධාරීන් කටයුතු කළ බවට ජවිපෙ චෝදනා කළේ ය . එම උද්ඝෝෂනයේ ප්‍රචාරක කටයුතු කළ ජවිපෙ සාමාජිකයින් ගණනාවක්ම කිසිදු චෝදනාවක් නැතිව අත්අඩංගුවට ගන්නා ලදී.
මේ වනාහී ශ්‍රී ලංකාව මෙතැනින් කොතැනට ද යන්න පෙන්වාලන නව දේශපාලන සංස්කෘතියේ ලුහුඬු සිදුවීම් කිහිපයක් පමණි. ශ්‍රී ලංකාව සිටින්නේ පොලිස් රාජ්‍යක එළිපත්තේ ය. එහි මූලික අවිය වනු ඇත්තේ බියගන්වා පාලනය කිරීම යි. බිය ගැන්වීම පිනිස අවශ්‍ය වන ඕනෑම පියවරක් මෙම නව දේශපාලන සංස්කෘතිය විසින් යුක්ති සහගත කරනවා ඇත. ඉහත කී සියළු සිදුවීම් පෙන්වාලන තර්කය එය යි.

එමෙන්ම මෙම පොලිස් රාජ්‍ය බිහිවීම යම් දුරකට හෝ වළක්වාලීමට පෙළ ගැසෙන ක්‍රියාකාරී බලවේග ද අපට මේ අඳුරු පැයෙහි ම දක්නට හැකි ය. ඒ වනාහී ජනතා විමුක්ති පෙරමුණ සහ වාම බලවේග, දෙමළ සන්ධානය සහ ජාතිකවාදී දෙමළ දේශපාලන බලවේග, ප්‍රගතිශීලි වෘත්තීය සමිති ව්‍යාපාරය, ජනමාධ්‍ය විශේෂයෙන්ම ආණ්ඩුවට ගැති නොවන ඉංග්‍රිසි භාෂාමය මෙන්ම දෙමළ සහ සිංහළ මුද්‍රිත ජනමාධ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ආගමික පිරිස් සහ සිවිල් සමාජ සංවිධානයන් ය. එක්සත් ජාතික පක්ෂය ගැන පක්ෂයක් වශයෙන් අදහසක් ඇති කර ගැනීමට බැරි තරමට එය දුර්වර්ණය.