Colombo, Featured Articles, Features

හරක් වගේ වැඩ කරන මුග්ධ පොලීසියක්


දෙමාපියන් විසින් දෑස මෙන් රැක බලා ගෙන හැදූ වැඩූ, අවුරුදු 7 ක් වසසැති නිලුපුල් පුතු ඊයේ බේරුවල නගරය මැද්දේදී මිය ගියේ වෙඩි වැදීමෙනි. අම්මාත් තාත්තාත් ළඟම සිටියදී ටී 56 රයිපලයක මූණිස්සමක් ඒ අවිහිංසකයාගේ හිස පසා කරගෙන ගියේය.

පාසලේදී, ගෙදර මිදුලේදී, මහපාරේදී, රෝහලේදී හෝ වෙනත් ඕනෑම තැනකදී වෙඩි වැදී හෝ බෝම්බවලට අසුවීමෙන් හෝ කුඩා දරුවන් සහ වැඩිහිටියන් හිටි තැනම මැරී වැටීම අපේ රටට අලුත් ප්‍රවෘත්තියක් නොවේ. අපි දශක දෙක තුනක් තිස්සේ නිරන්තරයෙන්ම ඇසුවේ එවැනි පුවත්ය. අසා අසාලාම එවැනි පුවත්වලින් අපේ ජනතාවගේ කැවුතු කකියන්නේ නැති තරමටම ඒවා අපේ සමාජයට පුරුදුය.

වෙඩි වරුසාවලට හෝ ෂෙල් ප්‍රහාර වලට මැදි වීමෙන් මහමග යමින් සිටි අහිංසක මිනිසුන් මැරී වැටෙන බව අපි අසා තිබුණේ, උතුරින්ය. දෙපැත්තක් යුද්ධ කරන කොට ඉතිං සිවිල් වැසියෝ මැරෙන එක වළක්වන්න බෑනේ කියමින් දකුණේ අපි ඒ මරණ ගැන ලොකුවට හිතන එකත් නවත්තා දැමුවෙමු.

කෙසේ හෝ, ඒ සාපකාරී මිනිස් ඝාතක යුද්ධය දැන් නිමා වී කලක් ගෙවී ගොසිනි. අපි දැන් ඉන්නේ අලුත් ශ්‍රී ලංකාවකය.

අද පත්තරවල පළ වූ, නිලුපුල් දෑස් විදහා සිනාවෙන පින්තූරයේ සිටින මේ දරු කැටියා මිය ගියේ යුද බිමක නොවේ. දකුණේ බේරුවල නගරය මැද්දේදීය. ඔහු මිය ගියේ පොලීසියත් හරක් හොරුත් අතර ඇති වූ වෙඩි හුවමාරුවකට මැදී වී පොලීසිය විසින් හරක් හොරුන්ට හෝ හරක් හොරුන් විසින් පොලීසියට හෝ තැබූ වෙඩි පහරක් වැදීමෙනි. දරුවාට වැදුණේ පොලිසියේ වෙඩිද හොරුන්ගේ වෙඩිද කියා සොයන්නට මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.

මේ කියන හරක් හොරු ගැන අපට කතා කරන්නට දෙයක් නැත. නමුත්, පොලීසිය යනු මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට බැඳී සිටින ආයතනයයි. දහවලේ, ජනයාගෙන් පිරී තිබෙන නගරයක ටී 56 අවි අමෝරාගෙන වෙඩි තබන පොලීසියක් ලොව තිබේද? අත්අඩංගුවට ගන්නට යන දරුණුතම අපරාධකරුවෙකුට වුව වෙඩි තබන්නට පොලීසියට පුළුවන්ද? හරක් හොරු අල්ලා ගන්නට යද්දී ඒ අහළ පහළ සිටින, අහිංසක මිනිසුන් කී දෙනෙකුට වෙඩි වැදුනත් කරන්නට දෙයක් නැතැයි සිතා දස අතේ වෙඩි තබන්නට පොලීසියේ මහත්වරුන්ට පුළුවන්ද? ටී 56 කින් වෙඩි වැදුණොත් දරුවෙක් තබා යෝධයෙකුවත් ඉතුරු නොවන බව පොලීසියේ මහත්වරු දන්නේ නැද්ද?

මේ නම් ශ්‍රී ලංකාවේ මුග්ධ කමයි. මිනිස් ජීවිතවලට ඇති වටිනාකමේ තරමයි.

පසුගිය කාලය පුරාම ලංකාවේ පොලීසිය දිගින් දිගටම ලොවට පෙන්නුම් කළේ මේ මුග්ධ බවයි. ලංකාවේ පොලීසිය යනු අඥානයන්ගෙන් සහ මුග්ධ තිරිසනුන්ගෙන් පිරුණු ආයතනයක්ය යන්න අඟුලාන තරුණයින් ඝාතන සිද්ධියෙන් ඇරඹී, පසුගිය කාලය තුළ සිදුවී සිදුවීම් ගණනාවකින්ම ලෝකයට විදහා පෑවේය. මානසික ව්‍යාධියකින් පෙළුණු තරුණයෙකුට, මුහුදේ ගිලී යන තුරුම පොලිස් නිලධාරියෙකු විසින් පන්න පන්නා පහර දුන් ආකාරයත්, ඒ දර්ශනය දෙස අයාගත් දෙනෙතින් බලා සිටි ශ්‍රී ලාංකික ජනතාවත්, විද්‍යුත් මාධ්‍යවල සජීවි පෙළහර ඔස්සේ අපි දුටුවෙමු.

දැන් මේ රටේ මොන තරමේ අපරාධයක් සිදු වුවත්, මිනිසුන් ප්‍රාණ විරහිත ‘ඩමි’ ලෙස ඒ දෙස බලා සිටිනවා පමණි.

මේ දරුවාගේ මරණය ගැන අද සිරස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදි දීර්ඝ වශයෙන් කියැවිණි. කිසිදු සංවේදී බවක් නොමැතිව භාවාතිශය වචන ගොඩක් ඇද හැලූ නිවේදකයා දරුවාගේ උපන්දිනය ලබන සතියේ යෙදී තිබූ බවත්, ඊයේ ඔහු බේරුවලට අම්මාත් තාත්තාත් සමග පැමිණියේ දහම් පාසැල් යන්නට සුදු ඇඳුමක් ගන්නට බවත් කීවේය. දරුවාගේ මවත් පියාත් සහෝදරියත්, හඬා වැටෙන අයුරු රූ ගත කර තිබූ අතර දරුවාගේ පාසලේ ගුරුවරියක් සහ මිතුරෙක්ගෙන් ගත් වොයිස් කට් දෙකක් ද විකාශය විය. නිලුපුල් ඔහුගේ සම වයසේ දරුවන්ට වඩා ශරීරයෙන් උස මහත බවත්, ඔහු පාසලේ දී ඉතා නිහඬව සිටි බවත් කියනවා ඇරෙන්නට ගුරුවරියට කියන්නට දෙයක් තිබී නැත. සිරසට අසන්නට දෙයක්ද තිබී නැත. නිලුපුල් ගැන අපිට හරි දුකයි කියා තවත් කුඩා පිරිමි දරුවෙක් කීවේය. මේ ප්‍රවාත්තිය සකස් කිරීමේදි සිරස රූපවාහිනියට දරුවාගේ මරණයට හේතුව කුමක්ද කියන කාරණය මුළුමනින්ම අමතක වී ඇතිවා සේය. මේ අවස්ථාවේ මාධ්‍යයේ වගකීම වන්නේ දරුවා මිය යාමෙන් ඔහුගේ සමීපතමයන් කොයිතරම් දුක්වෙනවාද යන්න පෙන්වීමද? පොලීසියේ අමනෝඥ හැසිරීම ගැන කතා කරන්නට හෝ එය ප්‍රශ්න කරන්නට ඔවුන් කිසිදු උත්සහයක් ගෙන තිබුණේ නැත. දරුවාගේ මරණය ගැන නොදැන සිටි කෙනෙක් ඒ ප්‍රවෘත්තිය බැලුවානම් දරුවා මිය ගොස් ඇත්තේ අසනීපයකින් හෝ හදිසි අනතුරකින් හෝ කියා සිතනවා ඇත.

අපේ රටේ මාධ්‍යවලට අවශ්‍ය වන්නේ එදාට එදාට තලු මරන්නට ප්‍රවෘත්තියක් පමණි.

18 වන සංශේධනයත් සම්මත වී ඇති බැවින් දැන් පොලිස් කොමිසමක්ද නැත. අපට ඉතිං ඉස්සරහට කොයි දේටත් ඉන්නේ ආඩම්බරකාර ජනාධිපති තාත්තා විතරය. ඉතිං තාත්තාගේ පස්ස උණු වී මේ ගැන මොනවා හෝ කරනතුරු අපි බකං නිලාගෙන ඉමු.

නිලුපුල් දරුවා මේ රටේ එක් අම්මා කෙනෙකුගේ හා තාත්තා කෙනෙකුගේ දරුවෙකි. අමන වැඩිහිටියන්ගේ වරදින් අකාලයේ නැසී ගිය තමන්ගේ රත්තරං දරු පැටියා වෙනුවෙන් ඒ දෙමාපියන්ගේ ලෙහි සදාකාලිකවම දුක් ගිනි ඇවිලෙනු ඇත.

පොලීසියේ හරක් කම සහ මුග්ධ කම තව දුරටත් යෙහෙන් පවතිනු ඇත.

දිනපතා තව තවත් ප්‍රවෘත්ති ද විකාශය වනු ඇත.

-ජයලලිතා-