iMage:TG

සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට කතා කිරීමට බැලුවත් කෙළින්ම බොරු නොකියති. බොරුවක් කීවත්, එය රාජ්‍ය තාන්ත්‍රික වාංමාලාවක දවටා, සත්‍යයක් සේ හැෙඟන ආලේපයක් ඊට ගල්වති. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ කරුණු වසංකොට කතා කළා පමණක් නොව, තමන් කියන බොරුව තව පැයකින් හෝ දෙකකින් පසු අතේ පැළවෙන බව දැනගෙනම බොරු කීවේය.

ගිය සතියේ මේ කොලමේ, ඔහු ජර්මානු රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මුහුණදුන් ආකාරය ගැන කරුණු සාකච්ඡා කොට ඇත. එහිදී අපේ මූලික අවධානයට යොමු වුණේ, ඒ මාධ්‍යකරුවා ඉදිරියේ ඔහු හැසිරුණු අසංවර ආකාරය සහ අතාර්කික භාවය ගැනයි. ජර්මානු මාධ්‍යකරුවාගේ තිබුණු සංයමය සහ සෘජුභාවය ජනාධිපතිවරයාගේ අහලකින්වත් ප්‍රදර්ශනය නොවුණු බව එහිදී අප පෙන්වා දුනි.

එහෙත්, දැන් කරුණු අනාවරණය වන ආකාරයට ඔහු එහිදී තර්කයෙන් ජයගැනීම සඳහාම හෝ උද්ධච්චකම නිසා හෝ, හිතාමතා බොරු කියා ඇති බවත් ඔප්පු වී තිබේ. ඒ, වෙනත් වැදගත් කරුණු ගණනාවක් වසං කිරීමට සහ විකෘති කිරීමට, ඒ සාකච්ඡාවේදී ගත් උත්සාහයට අමතරව ය.

කාදිනල්වරයාගේ කොල කෑල්ලක් අතේ තියාගෙන තමාගෙන් ප්‍රශ්න ඇසීමට කලින්, අදාල මාතෘකාව පිළිබඳ ‘‘ගෙදර වැඩ’’ කරගෙන ඒමට මාධ්‍යවේදියෙකුට හැකියාව තිබිය යුතු යැයි පුරසාරම් කියමින් ඒ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ අර මාධ්‍යවේදියාව හෑල්ලූවට ලක්කෙළේය. රනිල් වික්‍රමසිංහ එහිදී කී ‘‘ගෙදර වැඩ’’ යන්න, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට අදාළ කාරණයකි. රනිල් වික්‍රමසිංහ එහිදී නොකියා කීවේ, මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ වචනය විශ්වාස නොකර, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමග අර ජර්මානු මාධ්‍යවේදියා කතා කළ යුතුව තිබුණු බවයි. මේ ප්‍රශ්නය පැනනැඟුණු මොහොතේ, ‘ඔබ ලංකාවේ රදගුරු සමුළුව සමග කතා කළාද?’ යැයි රනිල් වික්‍රමසිංහ අර මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කෙළේය. මාධ්‍යවේදියාගේ උත්තරය වුණේ ‘නැත’ යන්නයි. එවිට ඉතා ජයග්‍රාහීව රනිල් වික්‍රමසිංහ කියන්නේ ‘එහෙනම් තමුසෙට කිසි අයිතියක් නැහැ මගෙන් ඔය ප්‍රශ්නය අහන්න!’ යනුවෙනි. මාර තර්කයකි!

අදිසි හස්තය දේශීය එකකි

ඇත්ත වශයෙන්ම ඒ මාධ්‍ය සාකච්ඡාවට සවන්දෙමින් සිටිද්දී මගේ සිතට නැඟුණු අදහස වුණේ, කාදිනල්වරයාගේ මතයට වෙනස් මතයක්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකාවේ රදගුරු සමුළුවට ඇතැයි කියා ය. ඊට සවන්දුන් ඕනෑම කෙනෙකුට හැෙඟන අදහස එයයි. කාදිනල් හිමියන් දැන් කාලයක සිට දිගින් දිගට කියමින් සිටින එක් මුඛ්‍ය කතාවක් තිබේ. එනම්, සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට අමතරව, ඔවුන්ව මෙහෙයවූ අදිසි හස්තයක් පාස්කු ප්‍රහාරය පසුපස තිබී ඇති බවයි. එය, ජාත්‍යන්තර අදිසි හස්තයකැයි කාදිනල්වරයා පිළිනොගනී. ඒ වෙනුවට, ඔහු දරන අදහස බව පෙනෙන්නේ, ලංකාව ඇතුළේම යම් කිසි පිරිසක්, දේශපාලනික හේතු පෙරදැරිව මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට යම් ආකාරයකින් සහාය සපයා ඇති බව හෝ ආශීර්වාදකොට ඇති බවකි. ඔහුට අනුව, ඒ ‘අදිසි හස්තය’ දේශීයයි.

මේ මතය රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරති. රනිල් වික්‍රමසිංහ දැන් රාජපක්ෂ කඳවුරේ ජනාධිපතිවරයා වන නිසා ඔහුද ඒ මතය ප්‍රතික්ෂේප කරන බවක්, මේ කියන මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්නුම් කෙළේය. එංගලන්තයේ චැනල් 4 නාලිකාව පසුගිය දා මුදාහැරිය වීඩියෝ හෙළිදරව්ව තුළ ඇඟිල්ල දිග් කෙරෙන්නේ, ඒ කියන ‘දේශීය’ දේශපාලනික හස්තය හෝ ජාලය වෙතට ය. චැනල් 4 නාලිකාවේ මේ චෝදනාවේ සත්‍යතාව අපි කවුරුත් තවම හරිහැටි නොදනිමු. ඒ නිසාම කාදිනල් හිමියන් ඇතුළු අප කවුරුත් ඉල්ලා සිටින්නේ, ගවේෂණයකොට, පරීක්ෂණකොට ඒ සත්‍යය සොයාගත යුතුව ඇති බවයි. එහිදී, ඒ ගවේෂණය හෝ පරීක්ෂණය දේශීය වශයෙන් සිදු කළ නොහැක්කක් බව, මේ පාස්කු ප්‍රහාර සිද්ධිය පමණක් නොව, ඊට කලින් ඇති වූ දේශපාලනික අපරාධ සියල්ල සම්බන්ධයෙන්ද, අප කවුරුත් අත්විඳ ඇති සත්‍යයකි.

එවැනි දේශීය පරීක්ෂණවලින් මේ දක්වා යුක්තියක් හෝ සාධරණත්වයක් වින්දිතයන්ට ඉටු වී නැත. ඒ නිසා, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව දැන් කාලයක සිට, මෙරටේ යුක්තිය සහ සාධාරණත්වය අපේක්ෂා කරන කවුරුත් ඉල්ලා සිටින දෙයකි.

ජාත්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වන බව, ජර්මානු මාධ්‍යවේදියා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එවැනි තත්වයක් යටතේ ය. එසේ නොපැවැත්වීම සඳහා තමන්ට ලංකාවේ කතෝලික රදගුරු සමුළුවේ අනුමැතියත් ලැබී ඇතැයි යන්න ගම්‍ය කිරීමට ඔහුට අවශ්‍ය විය. ‘‘තමුසෙ නෙවෙයි, මමයි රදගුරු සමුළුව එක්ක ගනුදෙනු කරන්නේ. ඒක නිසා කටවහගන්නවා!’’ යැයි ඔහු අර මාධ්‍යවේදියාට සැර විය. අසාගෙන සිටි අපටත්, ලෝකයාටත් ඔහු දුන් පණිවිඩය වුණේ, කාදිනල්වරයා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද, ලංකාවේ රදගුරු සමුළුව එවැන්නක් ඉල්ලා නොසිටින බවකි. පාස්කු ප්‍රහාරය පසුපස දේශීය අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇතැයි කාදිනල්වරයා කීව ද, ලංකාවේ රදගුරු සමුළුව එවැනි අදහසක් නොදරන බවයි.

එහෙත්, මේ සාකච්ඡාව අවසන් වී දින දෙකක් ගියේ නැත. ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශයක් නිකුත් කෙළේය. කතෝලික රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහායක කතෝලික රදගුරු හිමිවරුන් 2 ගේ අත්සනින් එය නිකුත් විය. එයින් කියැවුණේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සියල්ලන් දරන මතය, කාදිනල් හිමිපාණන් දරන මතයම වන බවයි! එසේ තිබියදී, ‘කාදිනල්වරයාගේ කොල කෑල්ලක්’ අතේ තියාගෙන තමාගෙන් ප්‍රශ්න අසන බවට අපහාසකොට, ජර්මානු මාධ්‍යවේදියා අපහසුතාවට පත්කරමින්, රනිල් වික්‍රමසිංහ සිංහ ස්‍යොවෙන් කියා ඇත්තේ තනිකර බොරුවකි. එතෙකින් නොනැවතුණු ඔහු, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ කිහිප දෙනෙකු පමණක් බවත්, පාර්ලිමේන්තුව එවැනි ඉල්ලීමක් කර නැති බවත්, තවදුරටත් කියාගෙන ගියේය.

දේශීය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය නැත්තේ දෙතුන් දෙනෙකුට පමණක්ද?

නමුත් සත්‍යය කුමක්ද? විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත විපක්ෂයමත් කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ පත්කිරීමට යන කමිටුවට හෝ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ මේ පරීක්ෂණය පවත්වා සත්‍යය හෙළිදරව් කරගැනීමට හැකියාවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි. මේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳ අධිකරණයෙන් වැරදිකරුවෙකු වී විශාල වන්දියක් ගෙවීමටත් නියම වී සිටින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටී. ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් වැඩිම අත්දැකීමක් සහ ගැඹුරු දැනුමක් ඇති කෙනෙකියි සිතිය හැකි, හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටී. සුළු ජාතීන් නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානයත්’ එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටී. මේ සියලූ කරුණු රනිල් වික්‍රමසිංහ අර මාධ්‍ය සාකච්ඡාවේදී හිතාමතා වසංකොට, ‘දෙතුන් දෙනෙකු ඇරෙන්න වෙන කෙනෙක්… පාර්ලිමේන්තුවෙන් එවැනි ඉල්ලීමක් කරලා නැහැ’ යි කීවේය.

පාර්ලිමේන්තුවෙන් එවැනි ඉල්ලීමක් පැමිණිය යුතු බව කීමෙන් රනිල් වික්‍රමසිංහ අදහස් කෙළේ කුමක්ද? පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා යෝජනාවක් මාර්ගයෙන් එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටීම එවැන්නක් සඳහා අනිවාර්ය බවද? මෙවැනි මහා අපරාධයක් පරීක්ෂා කිරීම අරමුණු කරගත් කර්තව්‍යයකට, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරගත් ඉල්ලීමක් අවශ්‍ය යැයි කියන්නේ, මොන නීතියක් හෝ මොන සම්ප්‍රදායයක් උඩද? ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම සඳහා රටේ ඉල්ලීමක් නැතැයි බොරුවක් කියන අතරේම, අනිත් පැත්තෙන්, එවැනි පරීක්ෂණයක් කිරීම සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් වශයෙන් ‘පාර්ලිමේන්තුවෙන් කෙරෙන ඉල්ලීමක්’ තිබිය යුතුය යන ව්‍යාජ අවසරය ගෙනහැරපෑමෙන්, තමාගේ තර්ක ඥානයේ පවතින පටු භාවයත් රනිල් වික්‍රමසිංහ එදා ලෝකයාට හෙළි කෙළේය.

ඊළඟට, පාස්කු ප්‍රහාරය ගැන මේ දක්වා පරීක්ෂණ පවත්වා ඇති ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නම් පෙළක් ජනාධිපතිවරයා කියවාගෙන යයි. බ්‍රිතාන්‍ය පොලීසිය, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු සහ චීන පමණක් නොව, පාකිස්තානු පොලීසිය පවා පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වා ඇතැයි ඔහු කීවේය. ඒවා සියල්ලේ නිගමනය වශයෙන් ඔහු දක්වා සිටියේ, ‘විදේශ සම්බන්ධතාවක්’ මේ පාස්කු ප්‍රහාරයට නැති බවයි. එය, ගිය සතියේ මේ කොලමෙන්ද කියා ඇති පරිදි, අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින්ද සොයාගෙන තිබුණු කාරණයකි. එහෙත් මේ කියන ජාත්‍යන්තර සංවිධාන මගින් කර ඇතැයි කියන පරීක්ෂණ වාර්තාවන්හි, කාදිනල්වරයා ඇතුළු යුක්තිය අපේක්ෂා කරන සියල්ලන් එක දිගට කියා සිටින, ‘දේශීය අදිසි හස්තය’ පිළිබඳ කිසි සඳහනක් නැත්දැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ නැත. කෙසේ වෙතත්, දැන් ඔහුගේ මෙම ප්‍රකාශය නිසා, ඒ කියන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා සියල්ල තමන්ට ලබාදෙන්නැයි ලංකාවේ රදගුරු සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කතෝලික පල්ලියෙන් ‘අතරමැද’ ඉල්ලීමක්

මෙසේ තිබියදී පසුගිය (11), කතෝලික රදගුරු සමුළුවෙන් පත්කරන ලද ‘ජාතික කතෝලික කමිටුවෙන්’ ප්‍රකාශයක් නිකුත්කොට තිබේ. කාදිනල් මැල්කම් රංජිත් පියතුමාද එහි එක් අත්සන්කරුවෙකි. මේ ලිපියෙන් ඉල්ලා සිටින්නේ ‘විදේශීය නිරීක්ෂකයන් සහිත දේශීය පරීක්ෂණයක්’ පවත්වන ලෙසයි. පූර්ණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ පූර්ණ දේශීය පරීක්ෂණයක් යන ස්ථාවර දෙකට අතරමැද තැනක් වශයෙන් මෙය පෙනෙන්ට තිබේ. එසේම, මේ දක්වා පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු කාරක සභා ආදියෙන් සැලකිල්ලට ගෙන නැති ඉතා වැදගත් කරුණු රාශියක් වෙත අවධානය එම ලිපියෙන් යොමු කර තිබේ. ඇමරිකානු එෆ්.බී.අයි. බුද්ධි අංශ විමර්ශකයෙකු විසින් ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලද අයි.පී. ලිපිනයට හිමිකම් කියන පුද්ගලයා පිළිබඳ මේ දක්වා සොයා නොබැලීම, ‘සොනික් සොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැත්තාව ප්‍රශ්න කිරීම නතර කර ඇත්තේ මන්දැයි සොයාබැලීම, අබු හින්ද් නමැත්තා හඳුනාගැනීමට මේ දක්වා අපොහොසත්ව සිටීම, ජමිල් නමැති බෝම්බකරුවාට අපේ බුද්ධි අංශ සමග පැවති සම්බන්ධතාව සොයා නොබැලීම සහ පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් ලොරියකට ගැලනිගම අධිවේගී මාර්ග දොරටුවෙන් පිටවීමට හැරීමේ සිද්ධිය ගැන විධිමත්ව සොයා නොබැලීම ආදී කරුණු රාශියක් ඒ අතර වෙයි.

මෙතෙක් පවත්වන ලද විමර්ශනවලින් මොන තරම් වැදගත් කරුණු මඟහැරී ඇත්ද යන්න මෙයින් ස්ඵුට වෙයි. ඒවා සියල්ලම පාහේ, එක්කෝ නොදැනුවත්ව මඟහැරී ඇති කරුණු ය. නැත්නම්, බලධාරීන්ගේ අකුල්හෙලීම නිසා හෝ ඔවුන්ගේ බලපෑම් නිසා විමර්ශනය කළ නොහැකි වූ කරුණු ය. ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෝ ජාත්‍යන්තර නිරීක්ෂණය යටතේ පැවැත්වෙන පරීක්ෂණයකින් මෙහා, පාස්කු ප්‍රහාරයේ සැබෑ සුලමුල සොයායාමේ හැකියාවක් නැති බව මෙයින් පෙනේ. ඉතිං, ජනාධිපතිවරයා පෙනී සිටින්නේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීමේ සැබෑ අරමුණ වෙනුවෙන් නම්, පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම වෙනුවෙන් නම්, දැන් කතෝලික රදගුරුවරුන්ගේන් ඉදිරිපත්ව ඇති මේ අතරමැද ඉල්ලීම කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දැක්විය යුතුව තිබේ.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda