iMage: DF

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හෙතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 14) සුවිශේෂී තීන්දුවක් ලබා දෙන ලදි.

අධිකරණය සිය තීන්දුවේ දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.

– අර්බුදකාරී තත්ත්වයට තුඩු දුන් කරණා වලට වගඋත්තරකරුවන්ගේ හැසිරීම සෘජුවම බලපෑවේය.

– වගඋත්තරකරුවන් දැනුම්වත් වී සිටිය යුතු අතර, ඔවුන් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වගකීමෙන් බැඳී ඇත. ඒ අනුව, ආර්ථිකයට අහිතකර
ලෙස බලපාන කරුණු විසඳීමට සහ අහිතකර බලපෑම් තවදුරටත් උග්‍ර නොකිරීමට ඔවුන් ක්‍රියා කළ යුතුව තිබුණි.

– මහජන සුබසිද්ධිය ප්‍රමුඛ කොට තම රාජකාරිය ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත.

– මහජන විශ්වාසය තහවුරු වන අයුරින් ක්‍රියා කිරීම සඳහා වගඋත්තරකරුවන්ට ඉහළ බලතල ලබා දී ඇති අතර, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි
විධාන අනුව රාජකාරි ඉටු කිරීමට බැඳී සිටී.

– තමන් ගත් තීරණ ප්‍රතිපත්තිමය තීරණ යැයි පවසමින් වගඋත්තරකරුවන්ට වගකීමෙන් මිදිය නොහැක.

– වගඋත්තරකරුවන් පැවති තත්ත්වය මනා ලෙස දැන සිටි බැවින්, එවැනි විපතක් වැළැක්වීමට ඔවුන්ට පූර්ණ බලයක් පැවතුනි.

– මහජන යහපත වෙනුවෙන් පැවැති තත්ත්වයට පිළියම් යෙදීමට වගඋත්තරකරුවන් ඔවුන්ට ගත හැකිව තිබූ සියලු ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලිය.

– වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සහ ඔවුන් සුදුසු පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අර්බුද තත්ත්වයක් ඇති විය.

– මහජන විශ්වාසය රැකීම සියලු රාජ්‍ය නිලධාරින්ට පොදුය. එබැවින්, වගඋත්තරකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී ඇත.

– වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන්, අතපසුවීම් සහ හැසිරීම් ආර්ථික අර්බුදයට මූලික හේතු විය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් 2022 වසරේ ජූනි 17 වන දින ගොනු කරන ලදි. විනිවිදභාවයකින් සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව අද පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන, මහජන සුබසිද්ධිය අරමුණු කර ගෙන මෙම පෙත්සම ගොනු කරන ලදී.

වගඋත්තරකරුවන්ගේ ඉල්ලීම මත, අදාළ පෙත්සම ඒ හා සමාන ස්වභාවයක් ඇති වෙනත් පෙත්සමක් (SCFR 195/2022) සමඟ අධිකරණයේ විභාගයට ගන්නා ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනාධිපති නීතිඥ බී.පී අලුවිහාරේ, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන, ජනාධිපති නීතිඥ විජිත් කේ මලල්ගොඩ සහ ජනාධිපති නීතිඥ මුර්දු එන්.බී ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි. අධිකරණ තීරණය 4-1ක් ලෙස බෙදුණු අතර, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන ඊට විරුද්ධ විය.

මහජන සුබ සිද්ධිය වෙනුවෙන් අධිකරණ‍යේ පිහිට පැතීම මිස වන්දියක් ඉල්ලා නොතිබූ බැවින්, පෙත්සම්කරුවන්ට දැරීමට සිදු වූ වියදම් හැර වෙන යම් වන්දියක් වගඋත්තරකරුවන්ට නියම කිරීමට අධිකරණය පෙළඹුණේ නැත.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇද වැටුණු තත්ත්වයට, මෙහි නම් කර ඇති වගඋත්තරකරුවන් සෘජුව ම වගකිව යුතු බව TISL ආයතනය, සෙසු පෙත්සම්කරුවන් වන චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං සමග ඉදිරිපත් කළ පෙත්සමෙන් කියා සිටියේය. වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන්, අදාළ වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී, අත්තනෝමතික, අයුතු ක්‍රියා හෝ අතපසුවීම් වෙනුවෙන් ඔවුන් වග කිව යුත්තන් කළ යුතු බවට පෙත්සම ඉල්ලා සිටින ලදී.

ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාව, ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ ක්‍රියාත්මක නොවීම් නිසා උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරුවන්ගේ තර්ක කරන ලදී.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියා සහ ක්‍රියාත්මක නොවීම් නිසා රටෙහි ආහාර, බෙහෙත්, ඉන්ධන සහ ගෑස් හිඟවීම් නිර්මාණය වී, මුළු මහත් ජනතාව ම පෙර නොවූ විරූ පරිදි බලපෑමට ලක් වූ බව තවදුරටත් එය සඳහන් විය.

බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීම, බදු සහන ආපසු හැරවීමට අපොහොසත් වීම, කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ස්වෛරී ණය දිගටම ගෙවීමට තීරණය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන කරුණු අතර බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.

එස්.ඒ බෙලිං, චින්තක ප්‍රනාන්දු, සයුරි ලියනසූරිය සහ මනීෂා දිසානායක යන නීතිඥයින් සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

(BY TISL)