image: historica.fandom

ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි. මෙවැනි අය, ජේ. ආර්. විරෝධී දේශපාලනික වාංමාලාවක් නිතර භාවිත කරති. දේශපාලනය සහ ආර්ථිකය ගැන පමණක් නොව, සංස්කෘතිය සහ සදාචාරය ගැන පවා කෙරෙන එදිනෙදා කතාබහේදී, ‘මේ ඔක්කොම හෙණේට හේතුව ජේ. ආර්.’ යැයි කියති. එහිදී, කාරණා දෙකක් විවේචනයට ලක්වෙයි. එකක්, ජේ. ආර්. ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයයි. අද අප මුහුණදෙන ආර්ථික සහ සදාචාරමය පරිහානියේ මූලය ඇත්තේ එකී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ බව එහිදී කියැවෙයි. කොටින්ම, වසර 2500 ක පටන් අප සතුව තිබිණැයි කියන සියලූ සාරධර්ම සෝදාපාලූ වී, හුදු මනුස්සකම පවා රුපියල් ශතවලින් මැණෙන සිල්ලර භාණ්ඩයක් බවට පත්වුණේ, මේ විවෘත ආර්ථික ක්‍රමය නිසා යැයි කතාවට කියති.

දෙවැන්න වන්නේ, ජේ. ආර්. ලංකාවට හඳුන්වා දුන්, විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහිදීත්, වර්තමානයේ අප අත්දකින ප්‍රජාතන්ත්‍රීය නායයාම් සියල්ල ඊට බැර කෙරේ. පාලන තන්ත්‍රය තුළ ඒකාධිපති ස්වරූපයක් දර්ශනය වන ඕනෑම අවස්ථාවකදී, ජේ. ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය ඊට හේතුව වශයෙන් ගැනෙන්නේ නිරායාසයෙනි. ජේ. ආර්. ට වැඳුම් පිදුම් කරන, ‘මැරුවත් යූ.එන්.පී. වන’ පිරිස් හැරුණුකොට අනිත් බොහෝ දෙනා, ජේ. ආර්. සිද්ධ කළ මේ වෙනස්කම් දෙකට නිතර දෙස්දෙවෙල් තියති.

ඒ කාරණා අරභයා එල්ල වන විවේචනයේ ඇත්ත-නැත්ත සෙවීම මේ ලිපියේ අරමුණ නොවේ. ගත වූ දශක හතරකට අධික කාලය තුළ, අප ඇතුලූ බොහෝ දෙනා ඒ ගැන නොයෙක් තැන්වල අනන්තවත් ලියාකියා ඇති බැවිනි. එහෙත්, දුෂ්ටයෙකු සේ සැලකෙන ජේ. ආර්. ඔහුට ඒ ලේබලය අලවන සතුරන්ගේ හදවත් තුළ හොර රහසේ වීරයෙකු සේ චිරාත් කාලයක් අජරාමර වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලීම මෙහි අරමුණ වන නිසා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන ඒ විවේචන ලූහුඩින් සලකා බැලීම අවශ්‍ය කෙරේ.

විවෘත ආර්ථිකය යනු, රටක් තරගකාරීව ලෝකය සහ ලෝක වෙළෙඳාම සමග සම්බන්ධ වීමයි. ඒ සම්බන්ධතාව මත පදනම්ව සහ එයින් යැපෙමින් දේශීය ආර්ථිකයන් සංවිධානය කරගැනීමයි. මේ විවෘත ආර්ථික ක්‍රමය දැනට අනුගමනය නොකරන්නේ රටවල් දෙකක් පමණි. ඒ, උතුරු කොරියාව සහ කියුබාවයි. ඒ දෙකම සමාජවාදී රටවල් ය. එසේම අන්ත දිළිඳු රටවල් ය. කාලයක් තිස්සේ ඒ මතයේම සිටි චීනය සහ වියට්නාමය වැනි වෙනත් සමාජවාදී රටවල්, මේ වන විට යම් පාලනයකට යටත්ව, විවෘත ආර්ථිකයට ප්‍රවිෂ්ට වී ඇත. විවෘත ආර්ථික ක්‍රමය ඓතිහාසිකව උරුම කරගෙන සිටි දියුණු ධනපති බටහිර රටවල් සියල්ලම, ඒ මොඩලය තවදුරටත් නියාමනය කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යයි. ඒ සඳහා, කලාපීය සහයෝගීතා ගිවිසුම් සහ කලාපීය නිදහස් වෙළෙඳ ගිවිසුම් පමණක් නොව, මුළු ලෝකයම ඇතුළත් කරගන්නා ‘‘ලෝක වෙළෙඳ සංවිධානය’’ වැනි ජාත්‍යන්තර සංවිධානත් මේ වන විට ඇති කරගෙන තිබේ.

ඒ නිසා, විවෘත ආර්ථික ක්‍රමය ඉවතලීම වර්තමාන ලෝකය තුළ ප්‍රායෝගිකව සාධනය කරගත හැකි දෙයක් නොවේ. එසේ හෙයින්, මේ විවෘත ආර්ථික ක්‍රමය නිසා, 2500 වසරක අපේ සාරධර්ම පරිහානියට පත්ව ඇතැයි කියන පිරිස් ඉදිරියේ මතු වන ප්‍රශ්න දෙකක් තිබේ. එකක් වන්නේ, විවෘත ආර්ථික ක්‍රමය වෙනුවට ඉදිරිපත් කළ හැකි ආර්ථික මොඩලය කුමක්ද යන්නයි. රසායනික පොහොර ගෙන්වීම තහනම් කොට, කාබනික වගාව වැනි ක්‍රමවේද හරහා දේශීයත්වයට යොමු වීමට ගෝඨාභය ගත් ප්‍රයත්නය එහි එක් මෑතකාලීන අත්හදාබැලීමකි. දෙවැන්න වන්නේ, ලංකාවාසීන් වශයෙන්, තමන්ගේ වර්තමාන දෛනික ජීවිත තුළ ඒ කියන විවෘත ආර්ථිකයෙන් දැනට භුක්ති විඳින කුමන පහසුකම් අතහැරීමට මේ දක්වා තමන් ගෙන ඇති පියවර කවරේද යන්නයි. විවෘත ආර්ථික මොඩලයට මාරාන්තික හතුරු ආකල්පයකින් යුතුව තවමත් අප සමග තර්ක කරන අපේ මිතුරන්, ඒ විවෘත ආර්ථිකයේ ඉසුරු ඵල නොමසුරුව භුක්ති විඳින්නන් බවත්, මොන තත්වයක් යටතේවත් ඒ කිසිවක් අතහැරීමට කිසිසේත් සූදානම් නැති පිරිසක් බවත් මෙහිලා සිහිපත් කළ යුතුය.

දෙවැනි චෝදනාව

එහෙත්, ජේ. ආර්. ට විරුද්ධව නැෙඟන දෙවැනි චෝදනාවට, එනම්, විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ චෝදනාවට අවංක වීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවේ. ජේ. ආර්. ඒ මහා පෙළහර පෑවේ, පාර්ලිමේන්තු ඡන්දයකින් සම්මත කරගත් සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයකිනි. එය ආපස්සට හැරවීමත් ඒ යාන්ත්‍රණයම උපයෝගී කරගනිමින් කළ හැකිය. ඊටත් වඩා, එදා සිට අද දක්වා, විවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරමියි කිසි මැතිවරණයකදී කිසි පක්ෂයක් පොරොන්දු වී නැතත්, (ඊට ‘මානුෂික මානුෂික මුහුණවරක්’ දෙන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක වරක් පොරොන්දු වී ඇතත්), මේ කියන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම්, මේ දක්වා රාජ්‍ය බලය හෙබැවූ සෑම ප්‍රධාන පක්ෂයක්ම පොරොන්දු වී තිබේ. (ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කළ ‘පොහොට්ටුව’ ඒ පොරොන්දුව දී නැතත්, ‘පොහොට්ටුව’ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම වන බැවින්ද, ඒ නැතත්, ජනතාව විසින් ගෝඨාභයට දෙන ලද එකී ජනවරම එම ජනතාව විසින්ම අතරමඟකදී බලහත්කාරයෙන් උදුරාගැනීමෙන් නීච අවමානයට පත් එකම පක්ෂය එය වන බැවින්ද, ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව 2019 ජනාධිපතිවරණයේදී නොදීම නමැති කාරණයට මෙහිදී වලංගු භාවයක් නොලැබෙයි).

මේ ලිපියේ සැබෑ නිමිත්ත මතු වන්නේ මෙහිදී ය. මේ වන විට, ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂිත පිරිස රාශියකි. විධායක ජනාධිපති කමය ඇති කරගත් දා සිට පළමු වතාවට, පළමු ඡන්දයෙන් ජයග්‍රාහකයෙකු තේරී පත්වීමට ඉඩක් නොලැබෙන ප්‍රථම ජනාධිපතිවරණයත් මෙය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ගණනයෙන් ජයග්‍රාහකයෙකු වීමට නම්, පාවිච්චි කළ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් සහ එක ඡන්දයක්, අවම වශයෙන් කෙනෙකු ලැබිය යුතුය. මේ දක්වා පැවති කිසි ජනාධිපතිවරණයකදී එය ප්‍රශ්නයක් වී නැත. එහෙත් මෙවර ජනාධිපතිවරණය සඳහා, සෑහෙන ඡන්ද ප්‍රතිශතයක් ලැබිය හැකි අපේක්ෂකයන් ගණනාවක් සිටිය හැකි බැවින්, ඒ කිසිවෙකුට සියයට 50 ක් සහ එක ඡන්දයක් ලැබීමේ හැකියාවක් නොතිබිය හැකිය. එවිට, ඡන්දදායකයා ලකුණු කරන දෙවැනි සහ තුන්වැනි මනාපය ගණන් කිරීමටත් සිදු වනු ඇත. ඒ තරමට, මෙවර ජනාධිපතිවරණය උණුසුම් වීමට ඇති ඉඩකඩ බොහොමයි.

මෙතරම් තීව්‍ර තත්වයකට පත්කළ හැකි තරඟයක්, සමස්ත දේශපාලනික සංස්කෘතියේ ඓන්ද්‍රීය අංගයක් සේ මෙතෙක් කල් පවත්වාගැනීමට තරම් වාතාවරණයක් නිර්මාණය කළ පුද්ගලයා, අනාගතය නිවැරදිව කියැවීමේ අති දක්ෂයෙකු වී ඇතැයි, ආපස්සට හැරී බලන විට අපට පෙනේ. මෙතරම් පිරිසක්, ඔහුගේ මඟපෙන්වීම යටතේ, ඔහුගේ තරඟ රෙගුලාසි සහ ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙතරම් කාලයක් තිස්සේ තරඟයට සහභාගී කැරැවීමට තරම් ඔහුගේ චින්තනය මොන තරම් ශූර වී ඇත්ද යන්න සිතාගැනීම අපහසු නැත.

මෙවර තරගයට සහභාගී වෙතැයි සිතන සියලූ ප්‍රධාන පක්ෂ සහ සියලූ ප්‍රධාන නායකයන්, ජේ. ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති පක්ෂ සහ පුද්ගලයන් ය. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන නායකයන්ගේ පක්ෂ ප්‍රතිපත්ති දෙස බැලූ විට සහ ඔවුන්ගේ අතීත කියුම්කෙරුම් දෙස බැලූ විට ඒ බව මනාව පෙනී යනු ඇත. එහෙත්, මෑතක සිට මොවුන්ගෙන් කිසිවෙක් ඒ ගැන කිසිවක් නොකියති. ඒ වෙනුවට, ජේ. ආර්. ගේ විධායක ජනාධිපති ක්‍රමයට හද පත්ලෙන් අනුරූප වීමට දැන් සිටම සැරසෙති. ය

අවශ්‍ය නම්,
මේ මොහොතේ පවා කළ හැකි දෙයක් තිබේ

මේ කවුරුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෝය. ඔවුන්ට අවශ්‍ය නම්, මේ ජනාධිපතිවරණයට කලින්, පාර්ලිමේන්තුව තුළින්ම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පියවර ගත හැකිය. එවැනි පියවරක් සඳහා ඔවුන් කිසිවෙකු වචනයක් පවා නොකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඊළඟ වර ජනාධිපති පුටුවේ වාඩි වීමේ මනෙදාළක් මේ මොහොතේ, මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකයාද ඇතුළු මේ කාටත් එක සේ ඇති බවයි.

මේ ජනාධිපතිවරණය විචිත්‍රවත් කරන තවත් අලුත් ලක්ෂණයක් දැන් දක්නට ලැබේ. කෙනෙකුට ජනාධිපතිවරණයකින් ජයගත හැක්කේ, යම් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකත්වය හිමි කරගැනීමෙන් පමණි. (සිද්ධාලේප මුදලාලි හෝ සමානාත්මතා පක්ෂය හෝ සිරිතුංග ජයසූරිය වැන්නන් තරඟ වදින්නේ, සිරිතට මිස ජයගැනීමට නොවේ). ඒ වෙනුවට මෙවර, ගිජුලිහිණි ව්‍යාපාරික ධන කුවේරයෝ තරග බිමට එන්නට සැරසෙති. එයින් කෙනෙක්, කොටස් වෙළෙඳපොලේ යටිකූට්ටු ඞීල්වලින් ගොඩගිය කෙනෙකි. තවෙකෙක්, කැසිනෝ සූදුවෙන් ගොඩගිය කෙනෙකි. (ලංකාවේ සම්භාව්‍ය ධනපතියන් නැත. ඇත්තේ, රාජ්‍ය අනුග්‍රහයෙන් සහ මජර ගනුදෙනුවලින් ප්‍රකෝටිපතියන් වූවන් ය. ඉහත කී දෙන්නාගෙන් කෙනෙක්, වසර ගණනක් තිස්සේ නොගෙවා සිටි කෝටි ගණනක බදුවලින් කොටසක් ගෙවා දැම්මේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වරම් ලබාගැනීමට යන මොහොතේදී ය!)

ප්‍රජාතන්ත්‍රවාදයත් රැකගනිමින් විධායක ජනාධිපති ක්‍රමයක් සාර්ථකව නඩත්තු කරන රටවල් දෙකක් තිබේ. එකක්, ඇමරිකාවයි. අනෙක, ප්‍රංශයයි. මීට අවුරුදු කිහිපයකට කලින්, ඩොනල්ඞ් ට්‍රම්ප් නමැති පිස්සු ව්‍යාපාරික ගිජුලිහිණියෙක් එරට ජනාධිපති තනතුරට පත්විය. ඊට අවුරුදු දෙසීයකටත් ඉහතදී එරටේ ප්‍රථම ජනාධිපති පදවියට පත් ජෝර්ජ් වොෂින්ටන්ගේ පටන්, කිසි දවසක එරටේ ජනාධිපති තනතුර නොවැටුණු වළකට එය වැටෙන්ට ගියේ ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ ය. වාසනාවකට, දීර්ඝ කාලයක් තිස්සේ එරට පැවති දියුණු ආයතනික පද්ධතියත්, පරිණත සමාජ-දේශපාලනික සංස්කෘතියත් නිසා ඒ අවදානමෙන් ඔවුන් එදා බේරුණි. අපි එතරම් වාසනාවන්තයෝ නොවම්හ. ඒ දෙකෙන් එකක්වත්, එනම්, දියුණු ආයතනික පද්ධතියක්වත්, පරිණත දේශපාලනික සංස්කෘතියක්වත් අපට නැති බැවිනි.

ජේ. ආර්. විවෘත ආර්ථිකය සහ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ එක පෙකෙණිවැලකින් ගැටගසාගෙනයි. යම් හෙයකින්, මජර ක්‍රමයෙන් ඉහළට පැමිණි ව්‍යාපාරික ගිජුලිහිණියෙකු මෙරටේ විධායක ජනාධිපති තනතුරට පත්වුවහොත්, ජේ. ආර්. ගේ පූර්ණ සිහිනය මස්තකප්‍රාප්ත වනු ඇත. විකෘති වූ විවෘත ආර්ථිකයක් සමග වැඩවසම් විධායක ජනාධිපති ක්‍රමයක් බොක්කෙන් බද්ධ වනු ඇත්තේ එදාට ය.

තවත් ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් මේ සියල්ලන් මේ මොහොතේ දක්වන ලැදියාවේ තරමින් බලන විට, ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව තවත් චිරාත් කාලයක් මෙරටේ වැජඹෙනු ඇතැයි පෙනේ. ඇත්තෙන්ම, ඉන් දෙන්නෙකුට (මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට) දැනටමත් එහි ‘තහනම් ඵල’ භුක්ති විඳීමටත්, අනිත් දෙන්නාට (සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට) එසේ රස බැලීමේ දිනුම් කණුව සමීපයේ ආශ්වාදය ලැබීමටත් සැලැස්වීම ගැන ඔවුන් සියල්ලන් ජේ. ආර්. ට යටිසිතින් ස්තුතිවන්ත වෙතැයි සිතිය හැකිය. විධායක ජනාධිපති ක්‍රමය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැනටමත් හෙණයක් වී ඇති බවත්, එය හැකි ඉක්මණින් අහෝසි නොකළොත් අපේ සියලූ ප්‍රජාතන්ත්‍රීය ආයතන සහ සාරධර්ම මීට වඩා පරිහානියකට පත්විය හැකි බවත් අවංකවම විශ්වාස කරන ඉදිරිගාමී පුරවැසි පිරිසක් තවමත් මෙහි වෙසෙති. ඒ පිරිසට මිස, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිවෙකුට, මින් මත්තට, විධායක ජනාධිපති ක්‍රමය අරභයා ජේ. ආර්. දුෂ්ටයෙකු විය යුතු නැත.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda