සිංහල, Colombo, Democracy, Education, Gender, Governance, Human Rights, Life quips, Media

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්න

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා, පසුගිය මාසයේ එක් සවසක විශ්ව විද්‍යාල භූමියේ නිදහසේ කතා බස් කරමින් සිටි ශිෂ්‍ය පෙම්වතුන් වෙත කඩා පැන, ඔවුන්ට පරිභව කොට, ඔවුන්ගේ දෙමාපියන්ටද දුරකතන ඇමතුම් දී බැන වැදී, අනතුරුව තම පෙම්වතුන් සමග සිටි ශිෂ්‍යාවන්ව බලහත්කාරයෙන් ගිලන් රථයක නංවා කන්‍යාභාවය පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල රෝහලට යවා ඇති බව කියවෙන අදහා ගත නොහැකි පුවතක් අද දින ඇතැම් පුවත් පත්වල පළ වි තිබිණි. මේ විකාර සිද්ධිය සිදු වී ඇත්තේ අගෝස්තු මස 24 වැනිදාය. මේ සා බරපතල සිදුවීමක් මාසයක් ගත වන තුරුම මාධ්‍යවලට හෙළිදරවු නොවුණේ කෙසේදැයි යන්න මට නම් විශාල උභතෝකෝටිකයකි. කෙසේ වෙතත්, මේ සිදු විම සැබෑවටම සිදු වූවක් නම්, ඒ වනාහි සමස්ත සරසවි ශිෂ්‍ය ප්‍රජාවම එක් වී හෙළා දැකිය යුතු, මානසික අසහනකාරයන්ව විශ්ව විද්‍යාලයක උපකුලපති වැනි බැරෑරුම් ධුරවලට පත් නොකරන ලෙස මේ රටේ පාලකයන්ට බරපතල පණිවුඩයක් ලබා දෙමින් දැවැන්ත උද්ඝෝෂණයකට එළඹිය යුතු භයංකර නිමිත්තකි.

මේ සිදුවීම පැති දෙකකින් භයානකය.

1) විශ්ව විද්‍යාල සිසුන්ගේ නිදහස බරපතල ලෙස අභියෝගයට ලක් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම

2) ස්ත්‍රී වර්ගයා පීඩනයට පත් කරන ම්ලේච්ඡ පුරුෂාධිපත්‍යයේ ප්‍රධානතම සංකේතයක් වන කන්‍යාභාවය පරීක්ෂා කිරීම නැමැති නින්දිත සම්ප්‍රදාය කරළියට ගෙන ඒම

මෙයින් පළමුවැන්න විශ්ව විද්‍යාල ප්‍රජාව ගේ පෞද්ගලික නිදහස සහ අයිතිවාසිකම් මුග්ධ පරිපාලකයන් විසින් අමු අමුවේ උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටළුවකි. එහෙයින් ඊට එරෙහිව ප්‍රබල හඬක් නැගීම සමස්ත ශ්‍රී ලාංකිය සරසවි සිසුන්ගේ වගකීමකි. මෙතුවක් කාලයක් විශ්ව විද්‍යාල භූමිය තුළ පෙම් කිරීමට පරිපාලනයෙන් හෝ ආචාර්ය මණ්ඩලය වෙතින් බාධා එල්ල වූයේ නැත. සැබවින්ම සරසවි ශිෂ්‍යභාවය විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්පත් කරදෙන එක් ප්‍රධාන වරප්‍රසාදයක් වූයේ විශ්ව විද්‍යාලභූමිය තුළ පැවති නිදහස්කාමී වාතාවරණයයි. ඕනෑම සරසවියක ශිෂ්‍ය පෙම්වතුන් බංකු වල කතා බස් කරමින් සිටීම, අත් අල්ලාගෙන ඇවිදගෙන යාම, ඉතා සුලබව දැකිය හැකි, සුන්දර දසුනකි. සරසවි ප්‍රේමය වනාහි සිංහල කවියට, ගීිතයට සහ ප්‍රබන්ධ සාහිත්‍යයට බොහෝ ඈත අතීතයේ පටන් නිරන්තරයෙන්ම නිමිති වි ඇති වස්තු විෂයකි. සරසවියට ඇතුල් වන්නේ වැඩිහිටි තරුණ තරුණියන්ය. ඔවුන් ප්‍රේම කිරීම කාටවත් නීති දමා තහනම් කළ හැකි දෙයක් නොවේ.

කෙසේ වෙතත් මා මේ සිදුවීම දකින්නේ අපේ විශ්ව විද්‍යාල සිසුන් පසුගිය කාලය පුරා, මිලිටරිකරණය වූ රාජ්‍යය විසින් තම නිදහස දිගින් දිගටම ආක්‍රමණය කරද්දී, ජාතික ආරක්ෂාව නාමයෙන් ඒ සියළු දේ කරබාගෙන නැතිනම් හුරේ දාගෙන පිළිගෙන සිටීමෙන් පළ කළ උදාසිනභාවයේ ආදීනවයක් ලෙසයි. යුද්ධය පැවති සමයේ කොළඹ විශ්ව විද්‍යාල භූමිය අධි ආරක්ෂිත කලාපයක් කරන ලදි. ශිෂ්‍යයන් සවස 6 න් පසු විශ්ව විද්‍යාල භූමියෙන් පිටමං වී, එය ආරක්ෂක හමුදා වලට බාර දිය යුතු විය. පෙම්වතුන්ට බංකුවල වාඩි වි සිටිම පමණක් නොව, සම්මන්ත්‍රණයක් පැවැත්විම, නාට්‍යයක් පෙන්වීම, සාකච්ඡා පැවැත්වීම, නාට්‍ය පුහුණු වීම යන කිසිදු සංස්කෘතික කටයුත්තක් සවස 6 න් පසු විශ්ව විද්‍යාල භූමියේ කරන්නට ඉඩක් නොලැබිණි. මා දන්නා තරමින් කිසිදු විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් මේ තත්ත්වයට එරෙහිව ප්‍රබල හඬක් නැගුවේ නැත.

අප දැන් මේ අත්විඳිමින් සිටින්නේ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතය පාලකයන්ගේ බත් බැලයන් විසින් තම තමන්ගේ සිතැඟි පරිදි ආණ්ඩු මට්ටු කිරීමට හදන ආකාරයයි.

මේ සිදුවීම හරහා ඉස්මතු වන දෙවන කාරණය වනාහි, සමාජයේ සිටින ස්ත්‍රී පීඩනයට එරෙහි, සියලු දෙනා විසින් පිළිකුල් කළ යුතු, ප්‍රබල ලෙස විරෝධය පළ කළ යුත්තකි. කන්‍යාභාවය පරීක්ෂා කිරීම නැමැති ආචීර්ණ කල්පික ම්ලේච්ඡ සම්ප්‍රදාය අපේ සමාජයෙන් එක්තරා දුරකට බැහැර වෙමින් පවතින (අඩු ගණනේ නගරයේ ජීවත් වන තරුණ පිරිස් අතර හෝ) සම්ප්‍රදායයකි. දැන් මේ ඒ කන්‍යාභාවය ගැන මහා ආන්දෝලනයක් ඇති කර ඇත්තේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකි. මේ නම් අපේ ශ්‍රී ලාංකීය සමාජයේ විකෘතියේම තවත් ප්‍රකාශනයකි. මෙවැනි ම්ලේච්ඡ සම්ප්‍රදායයන් පිළිබඳ පර්යේෂණ පැවැත්විය යුතු, ඒවා ගැන ශාස්ත්‍රීය නිබන්ධන ලියවිය යුතු, වඩා ශිෂ්ට සම්පන්න, ස්ත්‍රී පරුෂ සමානාත්මතාව අගයන ප්‍රගතිශීලි සමාජයක් බිහිකිරීමේ අරමුණ ඇතිව පුරවැසි විඥානය දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු රටේ ප්‍රධානතම අධ්‍යාපන ආයතනනයේ ඉහළම තනතුරක් හොබවන ආචාර්යවරයෙක් තම ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය ගැන විස්සෝප වී ක්‍රියා කිරිම විකෘතියක් ලෙස මිස අන් කවර ආකාරයකින් තේරුම් ගත හැකිද?

අපේ රටේ ක්‍රියාත්මක වන මානව හිමිකම් ආයතන, ප්‍රගතිශීලි පුරවැසියන්ද එකතු කරගෙන මේ උපකුලපතිවරයාගේ මුග්ධ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය ප්‍රකාශ කළ යුතුය.

පැහැදිලිවම මේ කියන උපකුලපතිවරයා විශාල මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයෙක් බව පැහැදිලිය. ඔහු දරුණු ලිංගික අසහනයකින් පෙළෙන්නෙක් විය යුතුය. ලිංගික ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නෙක් විය යුතුය. මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන්ට සමාජයෙන් හිමි විය යුත්තේ අනුකම්පාවය. නමුත් ගැටළුව වන්නේ මානසික රෝගීන් රටේ වැදගත්ම ආයතනවල තීරණ ගන්නා බරපතල තනතුරු හොබවමින්, පිස්සු කෙළින විට කරන්නේ කුමක්ද යන්නයි. වහාම සිදු විය යුත්තේ එවැන්නන් ඒ තනතුරු වලින් ඉවත් කොට, හැකි පමණ ඉක්මනින් ඔවුන්ව මානසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි.

කෙසේ වතුදු, ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවද මේ සිදුවීමෙන් ඉගන ගත යුත්තක් ඇත. පසුගිය සමයේ අපේ විශ්ව විද්‍යාල දොරටු ඉදිරියේ එල්ලී තිබුණේ ත්‍රිවිධ හමුදාවට සෙත් පතා පවත්වන පිරිත් මඩු, ධර්ම දේශනා පිළිබඳ බැනර්ය. කොළඹ විශ්ව විද්‍යාලය මේ අතින් ඉදිරියෙන්ම සිටියේය. ජයවර්ධනපුරත් එසේම ය. දහස් ගණන් අපේම සහෝදර සහෝදරියන් උතුරේ යුද්ධයෙන් අපමණ පීඩා විඳිඳ්දී, දකුණේ විශ්ව විද්‍යාල ප්‍රජාව අතරින් අති බහුතරයක් කළේ, පාලක පන්තියට සෙත් වැඩීමය. දැන් මේ එළඹ ඇත්තේ, තමන් තමන් විසින්ම අටවාගත් උගුලේ සිර වූ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ප්‍රජාව යළි තමන්ගේ භූමිකාව නිවැරදිව තේරුම් ගැනීමටත්, ශීඝ්‍රයෙන් තමන් වෙතින් උදුරාගනු ලැබෙමින් සිටින, ශිෂ්‍ය නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ සවිඥානික වීමටත් අවස්ථාවය.

තරුණ තරුණියන් ප්‍රේම කිරීම ‛ජාතික ආරක්සාවට’ තර්ජනයක් ලෙස අධිකරණය විසින් අර්ථ දක්වා ඇති දැයි යන්න තවම නම් දැනගන්නට ලැබී නැත. එසේ කර ඇත්නම් ඉතිං අපිට කටපියාගෙන ඉන්නවා ඇරෙන්නට කරන්නට දෙයක් නැත. අනිත් අතට ගෑනු දරුවන්ට කන්‍යාභාවය ආරක්ෂා කරගැනීම නීතියෙන් නියම කොට හෝ මහින්ද චින්තනයෙන් නියම කොට හෝ ඇත්දැයි යන්නද සොයා බැලිය යුතු කාරණයකි.

ආසියාවේ ආශ්චර්යය බිහි කරන අතරතුරදී අපි තලෙයිබාන්වරුන්වත් ආදර්ශ කොට ගන්වාද යන්නත් විමසිල්ලෙන් සොයා බැලිය යුතුයි.

-ජයලලිතා-