Colombo, Featured Articles, Features

තුවක්කුව දැන් ඔබ වෙතට….


කලකට පෙරදී ශ්‍රී ලංකාවේ සරත් ෆොන්සේකා – මහින්ද රාජපක්‍ෂ ගජ මිතුරන් වූහ. ඔවුන්ගේ නාමයන් කලෙක ක්‍රිකට්වල ලාංකේය සුසංයෝගය වූ සනත් – කලු ලෙස ප්‍රසිද්ධ විය. සනත් – කළු ක්‍රිකට් ලොව උඩකුරු කළ ලෙස මේ දෙබෑයන්ද තමන් ලංකාවේ ඉතිහාසය අලුතින් ලියූ බව පාරම් බෑහ. දෙදෙනා උදේ කෑම කෑවේ පවා එකටය. රජගෙදර කේක් ගෙඩිය පවා කැපුවේ ෆොන්සේකා විසිනි. ඒතරම් ළඟ සබැදියාවක් දෙදෙනා අතර විය. සරත් ෆොන්සේකා ලොව හොඳම හමුදාපතිවරයා බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියද්දී මෙවන් කොන්ද පණ ඇති නායකයෙක් ලොව කොතැනකවත් නැතැයි සරත් ෆොන්සේකා කීය. දෙදෙනාටම ඒ කාලයේ දෙමළා වහකඳුරුය. මැයි 18 වැනිදා දෙදෙනාම සිටියේ දෙමළාට ආයේ නැගිටින්න බැරිවෙන්නට පතබෑවාය කියන ප්‍රමෝධයෙනි. අර අපේ පැරණි කියමනක් තිබේන්නේ වැඩි සෙනේ දඹරෙටයි. දෛවයේ ඉහළම සරදම කරමින් ඉහත කියමන සනාථ කරමින් 2010 ජනාධිපතිවරණයේ ජනාධිපති මහින්දගේ ප්‍රතිවාදියා වන්නේ සරත් ෆොන්සේකාය. එතැන් සිට දෙදෙනා බද්ධ වෛරක්කාරයින් බවට පත්වූ අයුරු ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝදෙනා පවා දනිති. එතැන් සිට ලාංකේය දේශපාලනයේ නීත්‍යනූකූල ලෙස පළිගැනීමේ සම්ප්‍රදායක් අලුතෙන් බිහිවුනි.

ඉන් අනතුරුව කපන්න බැරි අත කලක් සිපගත් මහින්ද දිගට හරහට ෆොන්සේකා වෙතව දැවැන්ත රාජ්‍ය මර්ධනයක් එල්ල කළේය. එහි ප්‍රධාන මෙහෙයුම්කරුවා වූයේ තම බාලමළණුවන් වන ගෝඨාභය රාජපක්‍ෂයි. එල්ටීටිඊයට විරුද්ධ සටනේදී ගෝඨාභයට නැතිවම බැරි සහකරුවා වූ ෆොන්සේකා දැන් ගෝඨාභයට නයාට අඳුකොළ වගේය. ඔහු ෆොන්සේකාට එරෙහිව තමන්ගේ සියලු බලයන් මෙහෙය වයි.. නිවාස අඩස්සියට ගත්තේය, නඩුපිට නඩු පටවන ලදී. යුද්ධාදිකරණද පිහිටවූයේය, තීන්දුද ලබාදුන්හ. තරු පටි පට්ටම්ද ගැලවූහ. ඉන් නොනැවතී අවසානයේ මාස 30 කට මහඋළුගෙදරටද යැවීය. එහිදීද හැකි උපරිමයෙන් කෙනෙහිළිකම් කරයි. එයින් ඔහුට එරෙහිව ඇත රාජපක්‍ෂ මර්ධනයේ නිමාවක් ඇතැයි සිතිය නොහැක. නිමාවක් වන්නටනම් රාජපක්‍ෂ දෑත් ශත්තිමත් කළ යුතුය නොහොත් රාජපක්‍ෂවාදියෙකු විය යුතුය.

දැන් සරත් ෆොන්සේකා හිරේය. ඔහුව මෙලෙස සිරගත කිරීම තුළ පිළිඹිබු වන්නේ කුමක්ද? ඒ හරහා සමාජයට දෙන පණිවුඩය හඳුනාගැනීමට පසුගිය කාලය පුරා සිදුවූදේ දෙස සබුද්ධිකව බැලීමෙන් අමාරු නොවේ. සරත් ෆොන්සේකා සන්සිද්ධිය හරහා සංඛේතවත් වන්නේ රාජපක්‍ෂ නොවන තමන්ට කැමති මතයක් දැරීමට ඇති අයිතියේ බරපතල අර්බුදයයි. මේ සියල්ල සරත් ෆොන්සේකාට සිදුවන්නේම ඔහු 2010 ජනාධිපතිවරණය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම හරයායි. එතෙක් ඔහු මහින්දගේ වීරයා විය. අප හමුවේ පවතින අභියෝගය හා ප්‍රශ්නාර්ථය දැන් ලංකාවේ සිටිය හැක්කේ රාජපක්‍ෂවාදින්ට පමණද යන්නයි. මහින්ද රාජපක්‍ෂ වරක් මෙසේ ප්‍රකාශ කළේය. ඒ දැන් මේ රටේ ඉන්නේ රටට ආදරේකරන ජාතියක් හා රටට ආදරේ නොකරන ජාතියක් බවයි. නමුත් දැන් ක්‍රියාකලාපයන් අනුව පෙනීයන්නේ එය මේ විය හැකි බවයි. මහින්දට ආදරේකරන හා මහින්ද ආදරේ නොකරන යනුවෙනි. එහිදී මහින්ද ආදරේ නොකරන අය වෙනුවෙන් ඔහු දැඩි මර්ධනයක් දියත් කරයි.

මේ මර්ධනය ඔස්සේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ඈතට ඈතට ඇදීයයි. එලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඈත්වීම හරහා අහිමිව යන්නේ අපගේ ජීවත්වීමේ නිදහසයි. තමන් ගේ ගජයෙකුව සිටි සරත් ෆොන්සේකාට මෙහෙම සලකුවානම් අපට කොහොම සලකයිද යනුවෙන් අප සිතීම වරදක් නැත. මහින්ද තම වර්ගයේ සිංහලයන්ටම මෙසේ කරයිනම්, උතුරේ දමිළ ජනතාව වෙත සාධාරණයක්, යුක්තියක් පිළිබඳ බලාපොරොත්තු තබාගැනීම විහිළුවකි. මහින්ද හැකිතරම් උතුරට තඟ දමන්නේ එබැවිනි.

පසුගිය 2009 මැයි 18 වැනිදා කිරිබත් කා අනාගතයේ බිහිවන කේතුමති රාජ්‍යය පිළිබඳ සිහින දකිමින් මේපුර වැසියෝ අපිරිමිත ප්‍රමෝදයක් වින්ඳහ. දහස් ගණනක් ජනතාවක් යුද්ධයට මැදිව මැරීවැටෙද්දී දකුණ කළේ උදේහවා ක්‍රිකට් තරගයක ලකුණු අහනවා මෙන් රජයේ හමුදාවන්ගේ හා එල්ටීටීඊ සාමාජිකයන්ගේ මරණ සංඛ්‍යාව උදේම ඇසීමයි. එකකින් හෝ එල්ටීටීඊ ගණන වැඩිනම් එය දකුණටම ඉහවහාගිය ප්‍රමෝධයක් දනවයි. ඒ හෙයිනි උතුරේ මාසගණනක් නිරාහාරව තැනින් තැනට කොටුවූ ජනයාගේ ජීවිත කුඩුපට්ටම් වී යද්දී පවා දකුණ යුධජයග්‍රහණ සමරමින් පෙළපාලි ගියේ. කිරිබත් දන්සැල් පැවැත්වූයේය. එදා ඒ දන්සල් වලින් කිරිබත් පතක් කෑ සරත් ෆොන්සේකා මහින්ද තමන්ට කවදාවත් මේ වැනි දඬුවමකට යටත් කරනු ඇතයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඒදා සරත් ෆොන්සේකා නොසිතූ තවමත් දකුණේ බහුතරයක් නොසිතන සත්‍ය එයයි. ලෝකයටම පෙනෙන සත්‍ය එයයි. තමන්ගේ මැතිවරණ ප්‍රතිවාදියා වීමනිසා සිංහලයෙකුටම මෙහෙම කරනවානම් උතුරේ ගාල්කර ගෙන සිටින දමිළ පිරිසට දෙයියන්ගේම පිහිටය. දකුණේ බහුතරයක් දැක දැක පයින් ගසනා සත්‍යද එයයි. සමහර පිරිසකට එදා වීරයා අද දේශද්‍රෝහියෙක් බවට පත්ව ඇත. ඒ දකුණේ හැටිය. කන්න උවමනානම් කබරගොයි තලගොයි කරගෙන තලු මර මරා කයි.

දැන් පුවත්පත් පුරා, අන්තර්ජාලය පුරාම සරත් ෆොන්සේකා වෙනුවෙන් ලිපි, කවි එමටය. ඒ මහතා සිරමැදිරියට ගෙනාවේ මෙහෙමය, නිදාගන්න ඇත්තේ පැදුරක් සහ කොට්ටයක් පමණිය. ෆෑන් එක ගලවාගෙනය. කන්න දෙන්නේ අනෙක් සිරකරුවන්ට මෙන්ය. ඇත්තටම මේවාත් දකුණේ බොහෝදෙනෙකුට ප්‍රමෝධය කාරණය. දැන් ඔවුන් උදේට පුවත්පත අතට ගත්විට බලන්නේ අද සරත් ෆොන්සේකා මහතාට කුමක් සිදුවන්නේද කියාය. නැතිව මේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී ක්‍රියාවලියට එරෙහිව යමක් කිරීමට නොවේ. උතුරේ කීදාහක් කඩමාලු දමා දුවිලි පොළවේ නිදනවා ඇද්ද? තමන්ගේ ගේදොර අහිමිව. කන්න කවුරුන් හෝ දෙනතුරු සිටිය යුතුය. ෆෑන් නොව මිනිසාට ජීවත් වීමට අවැසි මූලික පහසුකම්වත් ඔවුන්ට නැත. එදා මේවා දැක දැක සතුටූ වූ දකුණ තමන්ගේ එකෙකුට එසේ වනතුරු එය දැනුනේ නැත. සමහරුන්ට නම් තවමත් කිසිම දෙයක් දැනී නැත. ඒ ලාංකේය සමාජය කෘර යුධ වින්ඳනය විසින් වෙලාගෙන ඇති ඛේදනීය තත්ත්වයේ සජීවී උදාහරණයන්ය. රාජපක්‍ෂ ආණ්ඩුව වැඩි වැඩියෙන් මිළිටරි න්‍යායන් ලංකාවේ සිවිල් සමාජයට කවන්නේම මෙම වින්ඳනීය තත්ත්වය ඔවුන් හොඳින් හඳුනාගෙන ඇති හෙයිනි.

රාපක්‍ෂ ආණ්ඩුව උතුර මර්ධනය කරනු ලැබුවේ මිළිටරි මඟිනි. ඒ ලෙසම දකුණේ මර්ධනය දැන් පෙරට වඩා වැඩි වේගයකින් අරඹා ඇත. ආණ්ඩුව කුමක් කළත් එයට විරුද්ධ වීම, ආණ්ඩු විරෝධී මතයක් දැරීම පමණක් නොව ආණ්ඩුවට විරුද්ධව පෝස්ටරයක් ඇලවීම පවා මේ වන විට හිරේවිලංගුවේ වැටිය හැකි වැඩකි. මෙය ලාංකිය දේශපාලනයේ කිසිදිනෙක නොතිබුණු තත්ත්වයකි. මේ මොහොත වන විට සෑම දෙසින්ම මතුව එන්නේ පැසිට්වාදී ගති ලක්‍ෂණයන්ය. කිසිදු නෛතික පදනමකින් තොරව වැඩිම දේශපාලන සිරකරුවන් පිරිසක් රඳවාගෙන සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වන්නේම මේ ක්‍රමය ඔස්සේය. විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණ යන ත්‍රිවිධ බල එක් පුද්ගයෙකු වටා ගෙනුවීම හරහා ලංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඛේදනීයම අවස්ථාවට මුහුණ දී ඇත. රාජපක්‍ෂ ආණ්ඩුව රටට හඳුන්වාදුන් ජාතිවාදී ජනප්‍රිය යුධ සංස්කෘතියෙන් අතිශය වින්දනීය තැනක තබා තිබූ දකුණේ සිංහල බෞද්ධ සමාජයට එම සංස්කෘතියෙන්ම දමා ගැසීම දෛවයේ සරදමකි.

උතුරට යොමූවී තිබුණු විට තමන් චියර් කෙරූ තුවක්කු බටයම දැන් තමන්ට එල්ල වී ඇති දකුණේ බහුතරයක් තවමත් තේරුම්ගෙන ඇති බවක් නම් පෙනෙන්නට නැත. යුධ ජයග්‍රහණ ප්‍රමෝධයේ යථාර්ථය එදා තේරුම් ගත්නානම් සරත් ෆොන්සේකාටගේ ගමන වැළිකඩින් අවසන් නොවන්නට තිබුණි. දෑස් හැරගෙන බලා හිඳින්න…එය කොයිම මොහොතක හෝ ඔබේ හිසටත් එල්ලය ගනු ඇත…අද දවසේ ලංකවේ සමාජයේ ඇති එකම සත්‍ය එයයි.

ක්‍රිශාන් රාජපක්‍ෂ