සිංහල, Colombo, Democracy, Economic issues, Governance

මහින්ද ගේ එඩිතරකම

සනත් බාලසූරිය

මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙක් යැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය යුත්තා හ. මේ එඩිතරකමේ රඟ තවමත් තේරුම්ගන්නට සමත් නොවූ හුදී ජනයා ගේ පහන් සංවේගය උදෙසා ය, මේ කෙටි පැහැදිළි කිරීම.

ජනපති මහින්ද ගේ ජේ්‍යෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල, ඒවා ලද්දන් ගේ කනස්සල්ලටත්, ආණ්ඩු විරෝධීන් ගේ උසුළු විසුළුවලටත්, ආණ්ඩුවේ ඊළඟ ජේ්‍යෂ්ඨයන් ගේ භීතියටත් හේතු වී ඇති බවක් කනින් කොනින් අසන්නට ලැබේ.

එහෙත් හිත රිදී සිටින කවුරු මොනවා කීවත්, මෙය එඩිතර මහින්ද ගේ එඩිතරකම මැනගත හැකි තවත් අනගි අවස්ථාවකැයි නොකියා සිටීම නම් කුහකකමකි.
මෙගා කැබිනට්ටු ලෝකයාට විහිළු සැපයීමේ සද් චේතනාවෙන් මෙගා කැබිනෙට්ටු හැදීමේ අපේ ඉතිහාසය, අදක ඊයේක පටන්ගත් එකක් නොවන බැවින් ‛රාජපක්ෂ අලුත් ම මෙගා කැබිනට්ටුවක් හදා ඇතැ’යි අණබෙර ගැසීම විහිළුවකි. දෑත් ශක්තිමත් කිරීමට රොදබැන්ද එකසිය හැටකට වැඩි හැමෝම ඇමැති තනතුරුවලින් පුදා, මෙගා කැබිනට්ටු ගිනස් වාර්තාවත් තමන් සන්තක කරගැනීමට මහින්ද කල්පනා නොකිරීමේ අඩුව යාන්තමටවත් පිරිමැසුණානම් ඒ ගිනස් රැකෝඩ් කිරිබතෙන් ම පමණ ය.

රාජපක්ෂ ගේ ජේ්‍යෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල එඩිතරකමක් වන්නේ කෙසේදැයි අපි දැන් සොයාබලමු.

හැට පැන්නත් බිම නොයන වඳුරන්ගෙන් සේම, අසූව පැන සුෂුම්නාවේ වාරු නැතිවුණත් පුටුව දමා ගෙදර නොයන දේශපාලකයන්ගෙන් ද අපට අඩුවක් නැත. ඒ කිසිවකුත් ‛දැන් මදෑ’ කියා ගෙදර යවන්නට තරම් හිත හයිය, එඩිතර නායකයකු අපට මෙතෙක් පහළවූයේ ද නැත. එහෙත් ඒ හිත හයිය, එඩිතර නායකයා දැන් පහළවී සිටී. දැන් කෙලින් ම එකුන් දුසිමක් ඇමැතියන් ‛දැන් මදෑ’ ඇමැතිකම් දී නුදුරේදී ම ගෙදර යවන්නට ඒ එඩිතර නායකයා පිඹුරුපත සකසා ඇත.

තමන් දේශපාලන වශයෙන් විශ්‍රාම යාම හෝ නොයාම තීරණය කළ යුත්තේ තමන් බවත්, එහෙත් මේ ඇමැතිකම් ඔස්සේ මහින්ද එය තීරණය කර ඇති බවත්, එක් ජේෂ්ඨ ඇමැත්තකු කී බවක් මාධ්‍යයක පළවී තිබිණි. ප්‍රශ්නය වන්නේ, තීරණය කළ යුත්තේ තමන්ම වුවත් එහෙම තීරණයක් තමන්ගෙන් ම නො එන එක ය. ඉතින් තමන් තීරණය කරන්නට ඕනෑ දේ හරියට කලට වේලාවට තීරණය කරන්නට අසමත් අයවලුන් වෙනුවෙන් ඒ තීරණය ගන්නට වෙන කෙනෙක්වත් සිටීම හොඳ ය. අනෙක් අතට මේ ඇමැත්තන්ට සැනසීමට කාරණා ඇතිතරම් තිබේ. තමන් වෙනුවෙන් ඒ භාරදූර තීරණය ගෙන ඇත්තේ නිකම්ම නිකම් ලපයි සිපයි නායකයෙක් නොවේ. රාජ්‍ය මාධ්‍යවලට අනුව ‛ලෝකය ජයගත් නායකයා’ ය. ‛දිවි ඇති තෙක් ජනාධිපති පුටුවේ වැජඹීමට වාසනා වේවා’ යි දොහොත් මුදුන් දී පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ම එකසිය හැට ගණනක් කඳින් නැවී වරම් දුන් උත්තමයා ය. ඉතින් තමන් අරබයා තමන් විසින් ගත යුතු තීන්දුව, එවන් උත්තමයකු අතින් තමන් වෙනුවෙන් රැගෙන දීම පිනක් බව මේ ජෙෂ්ඨයෝ තේරුම්ගත යුත්තාහ.

‛දැන් මදෑ’ ඇමතිකම්

මේ ‛දැන් මදෑ’ ඇමැතිකම්වලට විෂයයන් බෙදා ඇත්තේ ද අමුතු පිළිවෙලකට යයි කියති. එහෙම අමාත්‍යාංශ ජාතියකට අයවැයෙන් මුදල් වෙන්කරලාත් නැතිලු. ඉන්නට හිටින්නට කාර්යාලත් නැතිලු ලේකම්වරුනුත් නැතිලු. වැඩක් කරගන්නට ගෝලබාලයෙකු තබා පියුං කොලුවකු හෝ ඉන්නවාද නැද්දැයි තාම ඔවුන්වත් දන්නා පාටකුත් නැතිලු. කොටින්ම ව්‍යවස්ථාවටත් අඩංගුද නැද්ද දන්නේ නැතිලු. ‛කරන්නට ඇත්තේ මොනවාදැ යි’ මාධ්‍යකාරයකු මේ අලුත් ජේෂ්ඨ ඇමැත්තන්ගෙන් අසන ලදුව, ‛එයාගෙන්ම තමයි අහන්ඩ ඕනෑ’ යි එක් ජේෂ්ඨයෙක් කීවේලු. කරුණු යෙදී ඇත්තේ මෙහෙමනම් ‛දැන්වත් පව්නොදී යනවලා’ යි, නොකියා කී එඩිතර කීමක් සේ මෙය ගන්නට මේ ජෙෂ්ඨයන් දැන්වත් නොසිතන්නේ කාගේ පවටද?

අනෙක් අතට ‛පල නොකියා පලා බෙදිල්ල’ වැනි ගමේ ගොඩේ වැඩකට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීමට මහින්ද කටයුතු කිරීම පිළිබඳව, අපේ ගැමි සංස්කෘතිය අගයන ‛ජැක් – සූරිලා’ගෙන් ලැබෙන ප්‍රශංසා හොඳටම මදිබව පෙනේ.

හිටපු අගමැතිවරයාත්, ඉන්නා අගමැතිවරයාත්, සියවස් අඩකට වඩා පැරණි වමේ පක්ෂ දෙකක වයස්ගත ලොක්කන් දෙ දෙනාත් ‛දැන් මදෑ’ ඇමැතිකම්වල ඇද දමමින් මහින්ද පෙන්වූ එඩිතරකම සැබෑම එඩිතරකමක් නොවේය යි කාටනම් කිවහැකිද?.

අත ඉස්සීමේ ‛පරිනතකම’

පරිනත ජෙෂ්ඨයන් රටක දේශපාලනයට අවශ්‍ය බව ‛ලෝකය ජයගත් නායකයා’ නොදැන ඉන්නට හේතුවක් නැත. එහෙත් අවශ්‍ය වන්නේ පරිනත දේශපාලන දැනුමක් ඇති, ඒ දැනුමින් රටේ වැදගත් තීන්දුවකට තීරණයකට සම්මාදම් විය හැකි පරිනතයන් ය යන්නද ඔහු හොඳාකාරව ම දන්නවා ඇත. එහෙම නැතිව පරිනත දේශපාලකයන් කියන්නේ ඇමැති පුටුව මත ම අවසන් හුස්මත් හෙළා, රජයේ වියදමෙන් අවසන් ගමනත් යමියි සිතා සිටින්නන් නොවේය යි ද මහින්ද නිච්චියටම සිතනවා ඇත. සිය පරිණත දේශපාලන දැනුමෙන් රටට වැඩක් කරන්නේ නැතිනම්, කරන්නේ ‛ලෝකය ජයගත් නායකයා’ වශයෙන් තමන් කරන ඕනැ දේටයි එපා දේටයි හැම එකට ම හරියක් වැරැද්දක් නොබලා, තම තමන්ගේ පුටුව දෙස ම පමණක් බලා අත ඉස්සීම පමණක්නම්, චිරාත්කාලයක් ජනපති පුටුවේ වැජඹෙන්නට වරම් ඇති තමන්ට එහෙව් පරිණතයන්ගෙන් ඇති පලේ කුමක්දැ යි මහින්ද හිතන්නට ඇත. එහි වරද කිම?

තමන් ගේ මතු නොව පක්ෂයේ ද මුළුමහත් දේශපාලන ප්‍රතිපත්තිය ම පාවා දී ඇමැතිකම් ගැන පමණක් සිතා 18 වැනි සංශෝධනයට අත ඉස්සූ සමසමාජ කොමියුනිස්ට් ලොක්කන් දෙදෙනාගේ පරිනතකමින් ඇති වැඩේ මොකක්දැ යි ‛ලෝකය ජයගත් නායකයාට’ නොහිතෙන්නට කිසිම හේතුවක් නැත.

කැබිනට් මණ්ඩලයේ ම තවදුරටත් එල්ලී ඉන්නට වරම් ලද ජෙෂ්ඨයන් එක්ක බලද්දී, එහෙමකට ජ්‍යෙෂ්ඨයයකුත් නොවන පියසේන උන්නැහේටත් ජ්‍යෙෂ්ඨකමක් ලැබීම තමන්ගේ වාසනාවක් සේ උන්නැහේ ගණන්ගත යුතු ය. මන්දයත් නිකම්ම මස්තබාල්දු වී ගෙදර යන්නේ නැතිව, රත්තරන් සපත්තුවක් ලෑ පයකින් පශ්චාත් භාගයට අන්නවාගෙන ජ්‍යෙෂ්ඨයයකු සේ ගෙදර යන්නට තරම් වාසනාවක් තමන්ට පෑදී ඇති බව උන්නැහේට වැටහිය යුතු බැවිනි.

ජ්‍යෙෂ්ඨ කැපිල්ල

පක්ෂය ඇතුළේ එහෙමකට ජ්‍යෙෂ්ඨකමක් නැති පියසේනට මේ හදිසි ජ්‍යෙෂ්ඨ නම්බුනාමය ලැබුණේ උන්නැහේ ගේ හපන්කමකින් නොව උන්නැහේ ගේ සහෝදරියක ගේ හපන්කමකින් බව දැනගන්නට තිබේ. තරු ගැලවූ ජෙනරාල්ට සෙත් පතා ජෙනරාල් ගේ බිරිය සමඟ පොල් ගහන්නට දේවාල ගානේ යාම ඒ හපන්කමලු. එහෙව් පියසේන උන්නැහේට ජ්‍යෙෂ්ඨ කමක් දීමෙන් මහින්ද පෙන්නා ඇත්තේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ ඕනෑම අයෙකුට වුව ඔවුන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පට්ටමක් ලබාදීමේ පුණ්‍යකර්මයට කරගැසිය හැකි බවයි. ඉතින් එහෙමකට ජ්‍යෙෂ්ඨත් නැති උන්නැහේ කෙනෙක් හත්මුතු පරම්පරාවේ කාගේ හෝ කෙරුවාවක් නිසා ජ්‍යෙෂ්ඨයෙක් කිරීමට තමන්ට ඇති බලය පෙන්වීම, මහින්දගේ එඩිතරකම නොවන්නේ නම් වෙන කුමක්ද?
මේ තනතුරු බෙදිල්ලේ දී මහින්ද සිය එඩිතරකම පෙන්වූ එකම අවස්ථාව ‛දැන් මදෑ’ ඇමැති පට්ටම් මැවිල්ල පමණක් නොවේ.

එඩිතරකමේ රඟ

ජනමාධ්‍ය ආයතනවලට කඩාවැදී යකා නැටූ, මහ දවාලේ ජනමාධ්‍ය ආයතවලට ගල්ගහන්නට කුපිත වූ අහිංසක ජනයාට ශක්තියක් වූ, රාජ්‍ය නිලධාරීන් ගස්බැදීමේ නාට්‍ය රඟදැක්වූ සිල්වා උන්නැහේට නිකම්ම කැබිනට් ඇමැතිකමක් නොව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු වැනි හරියට ම කැපෙන කටයුත්තක් භාරදීමෙන් මහින්ද පෙන්වා ඇති එඩිතරකම සුළුපටුද? තමන්ට මෙවැනි පට්ටමක් දීමෙන් සිය නායකයා පෙන්වූ එඩිතරකම හෑල්ලු කිරීමට සිල්වා උන්නැහේගෙන් කීයටවත් නොසිතන බැවින් තව හොඳ හොඳ සෙල්ලම් ද නාට්‍ය ජවනිකා ද එළිවෙන ජාමයට බලාගත හැකිවනු ඇත.

මාවිල් ආරු ගොවියන් ගේ සහනාධාර ගසාකෑවාය යි චෝදනා ලද උන්නැහේට ගොවිජන සේවා අමාත්‍යාංශය ම ලබාදීම තවත් එවැනි ම එඩිතරකමක් නොවන්නේ නම් වෙන කුමක්ද? සිය නායකයා තමන්ට සැලකීමේ දී දැක්වූ එඩිතරකමට සරිලන එඩිතරකමක් අප ඔහුගෙන් ද බලාපොරෙත්තුවුව මනා ය.

‛කළ පින්’ පලදීම

මහින්දට මේ සා එඩිතරකමක් කාන්දුවන්නේ කුමකින්ද? ඒ, පක්ෂයට පිටුපා හෝ කොලේ වසා, තමන් ගේ ඇමැතිකම් ගැන ම ලොබ බැඳ, සිය දේශපාලන ව්‍යාපාරයේ මෙතෙක් පවත්වාගෙන ආ කිසියම් ම වූ ප්‍රතිපත්තියක් වීනම් එය ද දෙකේ කොලයට දමා තිස්සලා ඩිව්ලා දහ අටට අත උස්සා ලබා දුන් හයියෙනි. උණ හෙම්බිරිස්සාවට පස් පංගුව සේ දේශපාලන විද්‍යාව දිරවාගත් ආචාර්ය මහාචාර්යලා කිසිදු විලිලැජ්ජාවක් නැතිව දහඅටට අත උස්සා දුන් හයියෙනි. කටුකම්බි වැටවල් පැනගෙන හතරවටින් දිව ආ එකසිය හැට ගණනක් පබාලා සහ කොබාලා දහ අටට දෑත ම උස්සා දුන් හයියෙනි. ඒ හයියෙන් කාන්දුකරන ලද එඩිතරකම හෙට අනිද්දා වනවිට කොයි තරම් දුර යාදැ යි අද ‛වෙන්ඩ ජ්‍යෙෂ්ඨයන්’ සේ සිටින අයට පමණක් නොව රටේ කොයි කාටත් ඊළඟ අවුරුදු කිහිපයේ දී දැකබලා ගන්නට හේතුවාසනා වනවා නො අනුමාන ය.

‛‛මේ රටේ පහළවූ එඩිතර ම නායකයාගෙන් පස්සට පයින් අන්නවාගෙන දේශපාලන කුණුබක්කියට වැටීමට තරම් අපි වාසනාවන්ත වීමු’’ යි උදම් ඇනීමේ පින ඩිව් තිස්ස සහෝදර දෙපොළට ළඟදීම පලදෙනවා ඇත. අවාසනාවකට වාසු සහෝදරයාට ඒ පින පලදෙන්නට තව ටිකක් කල් යන බව පෙනෙන්නට තිබේ.
(ජ්‍යෙෂ්ඨ ඇමැතිකම් බෙදිල්ල මහින්දගේ එඩ්තරකම පෙන්වන අවස්ථාවකැයි මෙහි කියා ඇත්තේ විහිළුවටය යි යමෙකුට සිතෙන්නේ නම්, එය ලියුම්කරු ගේ ලිවිල්ලේ අඩුපාඩුවක් නිසා සිදුවූවකි. මෙය එඩිතර තීරණයක්ය යන්න කිසිසේත් ම විහිළුවට කාරණයක් නොවන බව සැලකුව මනා ය)