සිංහල, Colombo, Corruption, Governance, Human Rights, Peace and reconciliation

බන්ධනාගාර නිලධාරින්ගේ රී ලෝඩ් වදහිංසාව

කොටි සංවිධානයට සම්බන්ද යැයි සැකපිට රැඳවුම්භාරයේ සිටින දෙමළ තරුණයින් ඕනෑ තරම් මෙරට බන්ධනාගාර තුළ සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම මෙම සැක සහිත තරුණයින් බන්ධනාගාර තුළ නොයෙකුත් හිංසාවන්ට හා අඩම්තේට්ටම් වලට ලක්වන බව ද අද ප්‍රසිද්ධ රහසක් වී ඇත. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ සිත්පිත් නැති ක්‍රියාකාරකම් නිසා මෙම රැඳවුම්කරුවන් අනන්ත අප්‍රමාණ දුක්වලට මුහුනපාන්නට සිදු වන බව පෙනේ.

මෙම නිළධාරින්, නිරායුද හා අත්අඩංගුවට පත් රෑඳවුම් කරුවන්ගෙන් අල්ලස් ලබාගැනිම සහ ශාරීරික හා මානසික වදබන්දනයට ලක් කිරිම යන කාරණා සඳහා උපන් හපන් දක්‍ෂතා ඇති පිරිසක් ලෙස මේ වන විට නම් දරා ඇත. මෙම අනාවරණය ද ඒ සම්බන්ද පුවතකි.

කොටි සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන දෙමල තරුණයින්ගෙන් නවීන ආකාරයට අල්ලස් ලබාගැනිමේ ව්‍යාපාරයක් මේ වන විට හෙලිදරව් කරගෙන තිබේ. එනම් ඇතැම් බන්ධනාගාර නිලධාරින් විසින් තමන්ගේ ජංගම දුරකතන වලට, අත්අඩංගුවට පත් තරුණයින්ගේ දෙමව්පියන්ගේ මාර්ගයෙන් රී ලෝඩ් දමා ගැනිමේ ක්‍රියා මාර්ගයක් සිදුකරමින් පවතී. උතුරු, නැගෙනහිර හා වතුකරයේ දෙමළ තරුණයින් මෙම අකරතැබ්බයට මුහුන පා සිටී.

සිද්දිය මෙසේය.

අත්අඩංගුවට පත්ව සිටින දෙමල තරුණයින්ගෙන් තම නිවෙස් හා සම්බන්ධවිය හැකි දුරකතන අංක බන්ධනාගාර නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර එම අංක වලට කතාකර තමාගේ ජංගම දුරකතනයට 1000, 2000 වැනි මිල ගනන් වලට රී ලෝඩ් කරන ලෙස බලකර ඇත. එම මුදල් ඇතැම් විට රු.5000ක් දක්වා වැඩි වී ඇත. ඇතැම් විට මෙම රුඳවුම් තරුණයින් ද තම ගෙවල් වලට ඇමතුම් ලබා දී එසේ රී ලෝඩ් කරන ලෙස තම දෙමව් පියන්ට හෝ නෑදැයින්ට ප්‍රකාශකර තිබේ. තම දරුවන් පිලිබඳ බියට පත්ව සිටින දෙමාපියන් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා කොපමණ අමාරුවෙන් හෝ එම ඉල්ලීම් ඉටුකර දීමට කටයුතු කර තිබේ. මේ සඳහා තම රන් භාණ්ඩ විකිණීමට හෝ උකස් තැබිමට ද, ණයට මුදල් ලබා ගැනීමට ද, ගෙදර දොරෙ වියහියදමට ඇති මුදල් පවා යෙදවීමට ද සිදු වී ඇත.

මීට අමතරව මෙම දුරකතන අංක ලබාදීමට හා ගෙවල් වලට කතා කිරිමට අකමැති වන රෑඳවුම්කරුවන්ට එම නිලධාරීන්ගේ දැඩි හිංසාවට හා පිඩාවට ලක්වීමට සිදුවන බවට ද තොරතුරු ලැබී අත.

මෙම අකටයුත්ත පිලිබඳව දැනුවත් කර ඌව පලාත් සභාවේ එ. අරවින්ද කුමාර් නැමති මන්ත්‍රිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් වරයාට ලිපියක් ද යවා අති අතර එහි පිටපත් ජනාධිපතිවරයාට සහ නීති පිලිබඳ ඇමති වරයාට ලැබෙන පරිදි කටයුතු සිදුකර ඇත.

එදා වේල හරිහම්බකරගන්නා දුප්පත් ජනතාවන් හට මේ සිදුකරන්නා වු නස්පැත්තිය කොතරම් සාධාරණ වන්නේද? යන්න පිලිබඳව වගකිවයුත්තන් කඩිනමින් කටයුතු කළ යුතුය. මෙසේ අල්ලස් ලබා ගන්නා නිලධාරීන්ව වහාම නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. රජය සමග සිටින සහ වතුකරය නියෝජනය කරන ජනතා නියෝජිතයින් මේ පිළිබඳව සෘජු තීන්දු තීරන ගත යුතුය. සැකපිට පමණක් අත් අඩංගුවට ගෙන සිටින මෙම දමිළ තරුණයින්ට හා ඔවුන්ගේ දෙමාපිටන්ට විඳින්නට සිදු වි ඇති මෙම රී ලෝඩි වදහිංසාව වහා නතර කිරිමට කටයුතු කළයුතුව ඇත. ඒ වෙනුවෙන් රාජ්‍ය පාර්ෂවය වඩා උනන්දුවකින් කටයුතු කළ යුතුය.

සම්පත්.