Colombo, Featured Articles, Features

‛‛ මට පිළිතුරක් මේ ආණ්ඩුවෙන් ලැබෙනකන්. මම ආණ්ඩුවට දිගු කළ ඇඟිල්ල ආපස්සට හරවන්නේ නෑ..’’ – මාධ්‍යවේදී ප්‍රගීත් ගේ බිරිඳ


Pic by – Sampath Samarakoon

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර එළබෙන ජනවාරි 24දාට වසරයි.

“ආණ්ඩු පාර්ශවයෙන් හෝ පොලීසියෙන් කිසිම තොරතුරක් දීලා නැහැ. මම ගිය මාසෙ 17 වෙනිදා හිටපු ජනමාධ්‍ය ඇමතිතුමා ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධනටයි, අළුත් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයාටයි ලියුමක් තැපැල් කළා. ඊට පස්සෙ මං ගිහිල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා හම්බවෙලා ඒ ලියුම ගැන තොරතුරු ඇහුවා. කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා ඒ ලියුමට මට තොරතුරක් දුන්නෙ නැහැ. පොලීසියෙනුත් පරීක්ෂණ කරන ඒවා ගැන කිසිම දෙයක් කියන්නෙ නැහැ. අද උසාවි දවසක් තිබුණෙ. අද තිබුණෙ විරෝධතා ගොනුකරන්න කියපු අන්තිම දවස. උසාවිය පවත්වන වෙලාව තෙක් විරෝධතා ගොනු කළේ නැහැ. නමුත් අවුරුද්දක් ගෙවිලා යන තුරු මට කිසිම කෙනෙක්ගෙන් සහනදායි පිළිතුරක් හම්බවුනේ නැහැ.’’

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර එළබෙන ජනවාරි 24වනදාට වසරක් ගතවේ. නමුත් මේ වන විටත් ඔහු පිළිබදව කිසිදු තොරතුරුක් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. මාධ්‍යවේදීන් ඝාතනයට සහ අතුරුදහන් කිරීම්වලට එරෙිහිව මාධ්‍ය සංවිධාන විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පසුගිය 18දා පැවැත් වූ උද්ඝෝෂණයට සහභාගී වූ ප්‍රගීත්ගේ බිරිඳ වන සංධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් අතුරුදහන් කරන ලද තම සැමියා පිළිබදව ‛විකල්ප’ සමඟ එසේ අදහස් දැක්වූවා ය. එහිදී ඇය තවදුරටත් මෙසේ පවසා සිටියා ය.

‛‛නමුත් මම මේක නවත්වන්නේ නැහැ මට පිළිතුරක් මේ ආණ්ඩුවෙන් ලැබෙනකන්. මම ආණ්ඩුවට දිගු කළ ඇඟිල්ල ආපස්සට හරවන්න ඒගොල්ලන් කිසිම උත්තරයක් දීලා නැහැ. ඒක නිසා මං තවමත් දිගටම කියන්නේ මේ ආණ්ඩුව තමයි මේකට සම්බන්ධ කියලා. මං ඉල්ලා සිටින්නේ මට ප්‍රගීත් ලබා දෙන්න කියලා. අද වෙනකොට මගේ ජීවන තත්ත්වය බොහොම නරක අතට හැරිලා තියෙන්නෙ. එක ළමයෙක් ධරැඛ කරලා ඉවර වෙලා ඉන්නවා. එතනින් එහාට එයාගෙ අධ්‍යාපනය කරගෙන යන්න ඕනෙ. අනිත් ළමයා අසනීපෙන් ඉන්නවා. ඒ දෙන්නත් එක්ක මගෙ ජීවන ගමන ඉස්සරහට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබාදීම තමයි මගේ පරමාර්ථය. අපි දෙන්නගෙ තිබිච්ච සිහිනය ඒක. ප්‍රගීත්ගෙයි මගෙයි සිහිනය. ඒ සිහිනය සැබෑ කිරීම තමයි මගේ එකම අරමුණ. මං මේ දේවල් නවත්තන්නේ නෑ. ඒ මට ප්‍රගීත් ගැන තොරතුරක් හරි, ප්‍රගීත් හරි ලැබෙනකන් මම මේ දේවල් කරනවා. ඒක තමයි මගේ එකම අරමුණ.’’

පසුගිය කාලය පුරාම ප්‍රගීත් අතුරුදහන් කිරීම ගැන විවිද තැන් හී ඔහු සොයාගැනීම වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සගයන් මෙන්ම එම අතුරුදහන් කිරීමට විරුද්ධ මිනිසුන්, ගැහැණුන් එක ලෙස හඬ නැගී ය. විවිද අයුරින් බලපෑම් කළේ ය. ඒත් මේ වනතෙක් ප්‍රගීත් පිළිබඳව කිසිදු තොරතුරුක් නැත. ඔහුගේ බිරිද සන්ධ්‍යා ඔහු සොයා සෑම තැනකටම ගියේ ය. තවමත් යමින් සිටියි. ඒත් ඇයටත් මේ වන විට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවී තිබේ. මේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය යහමින් ඇතැයි කියනා ‛(අ)මුතු’ ඇටයේ තත්ත්වය යි.

කෙසේ නමුත් ප්‍රගීත් අතුරුදහන්කර වසරක් ගතවීමට ආසන්නව තිබියදීත් සන්ධ්‍යාට තවමත් තම සැමියා පිළිබදව කිසිදු තොරතුරුක් නැත. ප්‍රගීත්ගේ පුතුන් දෙදෙනා තවමත් තම ආදරණිය පියා එනතුරු මඟ බලා සිටි. ඒ සියලු වේදනාවන් සමඟ සන්ධ්‍යා තමන්ගේ ශක්තිමත් බලාපොරොත්තුව සටහන් කළේ මෙළෙස ය.
‛‛මේ රටේ මං මේ යන ගමන මේ රටේ තවත් දරුවන්ගෙ කඳුළු සහ තවත් ගැහැණියෙක්ගෙ කඳුළු නවත්වන්න පුළුවන්නන්, තවත් මිනිහෙක් අතුරුදහන්වීම නවත්වන්න පුළුවන්නන් ඒක තමයි මගේ මේ ගමනේ සාර්ථකත්වය වෙන්නෙ.”

අපි ප්‍රගීත් සොයා ගත යුතුය. ඔහුට සිදු වූ දෙය සොයා ගත යුතුම ය.

සටහන සහ ඡායාරෑප
සම්පත් සමරකෝන්