Colombo, Featured Articles, Features

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ දියණියගේ කතාව.


Pic by – Sampath Samarakoon

‛‛දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති’’ යන මැයෙන් ධම්ම දිසානායක මහතා 2011 ජනවාරී 26 වැනි දින ‛‛දිනමිණ’’ පුවත්පතට විශේෂාංග ලිපියක් සම්පාදනය කර ඇත. එම ලිපිය දිනමිණ පුවත්පතේ 14 වැනි පිටුවේ පළ කර ඇත. මෙම විශේෂාංග ලිපියට පාදක වී ඇත්තේ ජනපති දෙවැනි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය අද (ජනවාරි 26) ට යෙදී ඇති බැවින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කාර්යභාර්ය උත්කර්ශයට නැංවීම පිළිබඳවයි. මෙම විශේෂාංගය මගින් ප්‍රකාශ කරන්නා වූ තොරතුරු විවිධ පැතිමානයන්ගෙන් කලකා බැලීමේදී වැදගත් වන්නා සේම අතිශයෙන් වැදගත් කාරණයක් ලෙස මා දකින්නේ ධම්මම දිසානායක මහතාගේ සිගිති දියණිය පැවසූවා යැයි කියන ප්‍රකාශයි.

එම ප්‍රකාශය මෙසේ ය:- ‛‛මේ අවස්ථාවේ දී තවත් අපූරු සිදිධියක් කිව යුතුය. ජනාධිපතිවරණය පැවැත් වූ ජනවාරි 26 වැනිදා මගේ දියණියගේ ද උපන් දිනයයි. දිනක් පාසල ඇරී ගෙදර එන අතරතුරේ දී මගේ දියණිය මගෙන් විමසුවේ අප්පච්චි බොරැල්ලේ රැස්වීම තිබුණ ද? ඊළඟට ඇය ඇසුවේ ඒ රැස්වීමට විශාල ජනකායක් සහභාගී වූවා ද කියායි. ඊට මා ඔව් යැයි පැවසූ විට දියණිය පැවසූයේ එහෙනම් භය වෙන්න දෙයක් නෑ. ෆොන්සේකා දිනන්නේ නෑනේ. මහින්ද මාමානෙ දිනන්නේ. මම දියණියගෙන් විමසුවේ මහින්ද රාජපක්‍ෂ මහතාට ඔය තරම් කැමති ඇයි කියාය. එවිට ඇය කරුණු 2ක් ඉදිරිපත් කළාය. එකක් තමයි එයා ළමයින්ට ආදරෙයි. අනික එයා රටට ආදරෙයි යනුවෙනි’’ (දිනමිණ, පි. 14, 2011. 01. 26)

මෙම සිඟිති දියණිය තම අප්පච්චි වන ධම්ම දිසානායක මහතාට කළා යැයි කියන ඉහත සිඟිති ප්‍රකාශය ඒ මහතා, තම ලිපියේ කතානායක වන මහින්ද රාජපක්‍ෂ මහතාව සුවිශේෂීත්වයට නැංවීම සඳහා දේශපාලනිකව භාවිතාකර ඇත. අපි දන්නා සිඟිත්තන්, එක් වැඩිහිටියෙකුට ‛‛මාමා’’ කියා තවත් වැඩිහිටියෙකුට නම කියා ආමන්ත්‍රණය කරන්නේ නැත. එම සිඟිත්තන් ඉගෙන ගන්නා පෙරපාසලෙන් හෝ පාඨශාලාවෙන් වැඩිහිටියන්ට දෙවිදිහකට ආමන්ත්‍රණය කිරීමට උගන්වන්නේ නැත. එමෙන්ම, කුඩා දරුවන් ජනපති මහින්දට ‛‛මහින්ද’’ සහ සරත් ෆොන්සේකාට ‛‛ෆොන්සේකා’’ යැයි හිතවත් කවුරු සමග හෝ ප්‍රකාශ කරන්නට ද ඉඩ ඇති බව කිව යුතු නොවේ. වැඩිහිටි පිරිස් භාවිතා කරන වචන අසා මෙවැනි භාවිතයකට කුඩා දරුවන් ද හුරු වූවා විය හැකි ය. නමුත්, මහින්දට ‛‛මහින්ද මාමා’’ ලෙස ආමන්ත්‍රණය කර සරත් ෆොන්සේකාට ‛‛ෆොන්සේකා’’ ලෙස ආමන්ත්‍රණය කිරීම දෙවිදිහියකි. එය විස්වාස කළ නොහැකිය.

ඇතැම් විට මෙම දියණිය දෙදෙනාටම ‛‛මාමා’’ ලෙස ප්‍රකාශ කළා විය හැකිය. නැතහොත් දෙදෙනාගේම නම පමණක් ප්‍රකාශ කළා විය හැකිය. සත්‍ය ලෙස මේ දෙවිදිහෙන් කුමක් සිදු වුවත් ධම්ම දිසානායක මහතා භාවිත කරන්නේ මහින්දට ‛‛මාමා’’ කියා පමණක් ද විය හැකි ය. ඒ, ‛මහින්ද මාමා’ පරමාදර්හී චරිතයක් ලෙස ඔහු අදහන නිසාවෙන් ද විය හැකි ය. දියණිය සරත් ෆොන්සේකාට නම පමණක් කියා ආමන්ත්‍රණය කළ ද සිය දියණියගේ ගෞරවය වෙනුවෙන් දෙදෙනාටම මාමා කියා හෝ දෙදෙනාගේම නම කියා ආමන්ත්‍රණය කළා යැයි ලිපියේ සඳහන් කිරීමට ධම්ම දිසානායකට අදහසක් පහළ නොවූවාද විය හැකිය. ඒ ඔහුගේ චින්තනමය ශක්තියේ පසුබෑමක් ද විය හැකි ය.

සරත් ෆොන්සේකා මහතාට ‛‛ෆොන්සේකා මාමා’’ නොකියන්නේ මේ සිඟිති දියණිය එතුමන් සමග අමනාපව ඇති නිසා ද? රට පාවා දුන්නා යැයි නිතර නිතර රාජ්‍ය මාධ්‍යයන්ගෙන් ඇසුණු නිසා ද? නැත කිසිවිටක නැත. ලිපිය තුළ එසේ සිදු වන්නේ වෙනත් දේශපාලන පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ය. සරත් ෆොන්සේකා මහතා සමග සිය අප්පච්චි සහ ඔහු නියෝජනය කරන දේශපාලන සනුහරය තරහ නිසා කිසිවිටක ධම්ම දිසානායක තම ලිපියට ‛‛ෆොන්සේකා මාමා’’ ලෙස යොදා ගන්නේ නැත.

ධම්ම දිසානායක ගේ මෙම භාවිතය සංකල්පීය ලෙස ඉතා දිළිඳු ය. තකතීරු ය. තම දියණියට ද නිගා දෙන්නකි. සත්‍ය වශයෙන්ම මෙම දියණිය තම පියා සමග මෙසේ ප්‍රකාශ කිරීම පිළිබඳව මාගේ කිසිම අමනාපයක් නැතුවා සේම දියණිය හරි අහිංසක බව මාගේ වැටහීමයි. වැරැද්ද ඇත්තේ සිය අප්පච්චි තුළ ය. සිඟිත්තන්ගේ සිගිති වැඩ හෝ ප්‍රකාශ දේශපාලනික අපභාවිතාවක යෙදවීම නිවැරදි නොවේ. තමන් අදහන, නැතහොත් තමන්ට දොළපිදේනි ලබාදෙන දේශපාලඥයින් ව උත්කර්ශයට නැංවීම සඳහා අහිංසක නොමේරු මුදු මොලොක් මල් වැනි දරුවන්ගේ සිඟිති ප්‍රකාශ බාවිත කිරීම වැරැද්දකි.

සරත් විමලසිරි