සිංහල, Colombo, Democracy, Galle, Human Rights, Human Security, Life quips, Media

ගාලු සාහිත්‍ය පාරාදීසයට ගල්ගැසීම


පිටරටින් පැමිණෙන ජගත් කීර්තිධර ලේඛක බුද්ධිමතුන් හා ශ්‍රී ලාංකේය ඉහළ පාන්තික ප්‍රභූ ජනයා එකට වාඩිගෙන සාහිත්‍ය කලාදී විෂයයන් සේම මානව හිමිකම්, භාෂණයේ නිදහස වැනි බොහෝ දෑ පිළිබඳ හරබර සංවාදයක යෙදී, ඒ සාහිත්‍ය දෑවැන්තයන්ට අවට මුහුදේ තල්මසුන් ද ගල්මල් ද පෙන්නා, ශ්‍රී ලංකාව නම් සොඳුරු සංචාරක පාරාදීසයේ චමත්කාරය ඇස ගල්වා, වැඩි කලබලයක් නැතිව අවසන් කිරීමට නියමිත ව තිබුණු ගාලු සාහිත්‍ය පාරාදීසයට ගල්ගසා තිබේ. මේ ගල්ප්‍රහාරය නිසා දැන් එය දෙබරයක් සේ ඇවිස්සී ඇත.

එසේ වී ඇත්තේ නෝම් චොම්ස්කි, අරුන්දතී රෝයි ඇතුළු තවත් දැවැන්තයන් කිහිප පොළක් විසින් අත්සන් කරන ලද ගාලු සාහිත්‍ය උළෙල පිළිබඳ ආයාචනයක් ප්‍රසිද්ධියට පත්කළ දේශසීමා රහිත වාර්තාකරුවෝ (ආර්.එස්.එෆ්) සහ ජේ.ඩී.එස් නමින් ප්‍රකට, ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව වෙසෙන ජනමාධ්‍යවේදීන් ගේ ජාලයක් වන ‛ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ’ විසිනි.

ගාලු සාහිත්‍ය උලෙළට ක්‍රියාශීලී ව දායක වන පුද්ගලයෝ කිහිප දෙනෙක් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සේම භාෂණයේ නිදහස වෙනුවෙන් ද කැපී පෙනෙන වැඩකොටසක නිරත ව සිටින්නෝ වෙති. ඔවුන්ගේ ඒ මැදිහත්වීම් සම්බන්ධයෙන් ලියුම්කරු තුළ ද ගෞරවයක් තිබේ. ඔවුන්ගෙන් ඇතැමෙක් මේ ආයාචනය ප්‍රසිද්ධ කිරීමට සම්බන්ධ ආර්එස්එෆ් සමඟ සේම ජේඩීඑස් ක්‍රියාකාරිකයන් සමඟ ද විවිධ අවස්ථාවන්හි දී සමීප ව කටයුතු කර තිබේ.

මීට අදාළ කතිකාවෙන් මතුවන ප්‍රධාන වාද මාතෘකා කිහිපයක් වෙත අවධානය යොමු කිරීම ලියුම්කරු ගේ අරමුණ වෙයි.

‛වර්ජන කැඳවීමක්’ සේ හුවාදැක්වෙන ‛ආයාචනය’

මෙම ජාත්‍යන්තර ආයාචනය උළෙලට සහභාගීවන්නට අදහස් කරන කිසිවකුට එය වර්ජනය කිරීමට බලකරන්නක් නොවේ. ඊට ඇරැයුම් ලැබූවන්ගෙන් එහි පැහැදිළිව ඉල්ලා ඇත්තේ ‛ශ්‍රී ලංකාවේ භයානක මානව හිමිකම් කඩවීමේ වාතාවරණය හා ජනමාධ්‍යවේදීන් ගොදුරු බවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස’ ය. එසේම ‛කතා කිරීමට නිදහසක් නැති ශ්‍රී ලංකාවේ සහෝදර කලාකරුවන් වෙනුවෙන් නැඟී සිටින ලෙස’ ය. මේ ඉල්ලීම සලකා බැලීමට වටින්නේ යයි කල්පනාකරන්නකුට, ඒ සඳහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයන් කිහිපයක් විවෘත වෙයි. උළෙලට සහභාගී වීමෙන් වැළකී සිටීමේ සිට, ඊට සහභාගී වෙමින් ම රටේ පවත්නා මානව හිමිකම් කඩවීමේ තත්ත්වය ඒ තුළ අවධාරණය කිරීම දක්වා ඒ ඉඩකඩ විවෘත ය. කෙසේ වෙතත් මේ ආයාචනය අවධානයට ලක්විය යුතු එකක් සේ සලකන්නකුට, ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස දෑස් විවරකර බැලීමට, ඒ පිළිබඳ හැදෑරීමක් කිරීමට බලකැරීම වැළැක්විය නොහැක. මානව හිමිකම් සම්බන්ධයෙන් අයහපත් වාර්තාවක් සහිත තැනක පැවැත්වෙන සාහිත්‍ය කලා උළෙලකට යාමට පෙර, තමන් යන තැන පවත්නා වාස්තවික තත්ත්වයන් ගැන ගැඹුරින් සලකා බලන්නට, බලපෑමක් සහිත යමකු පෙළඹවීඹ වරදකැයි කිව නොහැක.

මේ උළෙල ඍජු රාජ්‍ය සම්මාදමක් නැති, රටේ සාමාන්‍ය ප්‍රජාව ගේ කටයුත්තක් ලෙස පමණක් හුවා දක්වමින්, එවැනි කටයුත්තකට එරෙහිවීම යුක්ති යුක්තදැ යි ප්‍රශ්න කිරීම තවත් තර්කයකි.

බැලූ බැල්මට මීට රාජ්‍යයේ ඍජු දායකත්වයක් නැත. එහෙත් ගැටලුව වන්නේ, මේ උළෙල ඔස්සේ ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය තුළ තහවුරු වීමට ඉඩඇති මතවාදය, ආණ්ඩුව විසින් මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයට ලබාදෙන්නට වැරදරන චිත්‍රය හා සාකල්‍යයෙන් සමපාත වීම යි.

පෙනෙන නොපෙනෙන ආණ්ඩුවේ ඇඟෑලුම

ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ ශ්‍රී ලංකාව යනු ත්‍රස්තවාදයෙන් මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලද, මානව හිමිකම් සුරැකෙන, ආරක්ෂාකරී, සුන්දර සංචාරක පාරාදීසයක් ය යන මතය ලෝකය තුළ තහවුරු කිරීමට ය. ඒ සිය ආර්ථික අවශ්‍යතා හේතුවෙනි. එහෙත් ඒ ප්‍රබන්ධය පසුපස තිබෙන කටුක යථාර්ථය අපට රහසක් නොවේ.

ත්‍රස්තවාදයෙන් මුදාගත්තාය කියන උතුරේ ජනතාවගෙන් සැලකියයුතු පිරිසක් අදටත් කඳවුරුවල ගාල්කර සිටිති. ආරක්ෂාවේ නාමයෙන් අත්පත් කරගත් ඔවුන්ගේ ගේදොර ඉඩකඩම් අදටත් ඔවුන්ට හිමි නැත. මේ මොහොතේත් උතුරේ මනුෂ්‍යයෝ නන්නාඳුනන තුවක්කුකරුවන් ගේ උණ්ඩවලට බිලිවෙති. ෆේස්බුක් පින්තූරයකුත් ඊට ප්‍රමාණවත්ය. නීතියෙන් බැහැර ඝාතන උතුරේ මෙන් ම දකුණේ ද නිදැල්ලේ සිදුවෙයි. වැසියෝ අතුරුදන් වෙති. ඔවුන්ට සිදු වූ දෙයක් දැනගන්නට ලැබෙන්නේ නැත. දේශපාලන සිරකරුවෝ දහස් ගණන් නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව රහසිගත ස්ථානවල සඟවා සිටිති. රැඳවුම් ස්ථාන තබා ඔවුගේ නම්ගම් කීම පවා බලධාරීහු ප්‍රතික්ෂේප කරති. නම් ඇහුවොත් ඔලු පලති. ප්‍රගීත්ට වූ දෙයක් නැත. ලසන්ත මැරූ කෙනෙක් නැත. ලිවීමේ වරදට හිරේ යැවූ තිස්සනායගම් යන්තම් එළියේ වුවත් ඔහු දඟගෙයි ලෑ නීති එහෙම්මමය ඒවා හෙට වෙනකකු අරබයා ක්‍රියාවට නැඟෙනු ඇත නාට්‍ය පෝස්ටරයක් ගැහුවත් කුදලාගෙන යති. අක්ෂරය සදහට තහනම් ය. ගෑනු යටිකය වැස්මේ දිග නීතිගත කිරීමට සූදානමකි. ඒ සියල්ල එසේ සිදුවද්දී ආණ්ඩුව උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී, ආරක්ෂිත, සංචාරක පාරාදීසයක් බව ලෝකයට මවාපෑමට ය.

‛සාහිත මංගල්‍යයේ’ සැබෑ පණිවිඩය

තතු මෙසේ තිබිය දී ගාලු සාහිත්‍ය උළෙල ඔස්සේ ලෝකයට යැවෙන පණිවුඩය කුමක්ද? ආණ්ඩුව කියන අර කාරණාවලට අමතරව, ශ්‍රී ලංකාව යනු රාජ්‍යයේ කිසිදු මැදිහත්වීමක් හෝ බාධාවක් නොමැතිව ලිබරල් සංස්කෘතික කලා ජීවිතයක් ද පිබිදෙමින් එන ස්ථානයක් බව ය. උළෙල අභ්‍යන්තරයේ මානව හිමිකම්වල හා ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීම් ගැන මොන විවේචන සංවාද සිදු වුවත්, ගෙඩිය පිටින් ගත්කළ විශ්ව කීර්තිධර කලාකරුවන්ට ශ්‍රී ලාංකේය සිවිල් බුද්ධිමතුන් හා ඉංග්‍රීසි සාහිත්‍යකාමීන් සමඟ එකතුව නිදහසේ සංස්කෘතිය පිළිබඳව පමණක් නොව රටේ දේශපාලන තත්ත්වය ගැන ද කතාකරමින්, ආණ්ඩුව පවා විවේචනය කළ හැකි නිදහස්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් රටතුළ ගොඩනැඟී ඇතිබව ලෝකය හමුවේ පෙන්වා සිටීමේ මහඟු අවස්ථාවක් ආණ්ඩුවට නොලැබෙන්නේද? ගාලු සාහිත්‍ය උළෙලේ අස්වැන්න මොකක් වුවත්, එය ආණ්ඩුවට අවශ්‍ය හැටියට විකුණාගැනීමට අවශ්‍ය සියලු අවකාශයන් නිර්මාණය වී ඇතිබව මෙයින් මොනවට පැහැදිළි වෙයි ආණ්ඩුවේ අවශ්‍යතාවත්, ගාලු සාහිත්‍ය උළෙලේ ප්‍රතිඵලයත් කදිමට සමපාත වනබව කියන්නේ එහෙයිනි.

එසේම මේ සංස්කෘතික මංගල්‍යයට සහභාගී වන ආණ්ඩුවට වහකදුරු මෙන් වන ශ්‍රී ලාංකේය ප්‍රභූ සිවිල් සංවිධාන ප්‍රධානීන්ට පවා මේ කාර්යය අතරතුර දී අබමල් රොනක අතුරු ආන්තරාවක් සිදු නොවන බව ද නියත ය. එවැනි කිසිවක් සිදුකිරීමට කිසිදු පිරිසකට ද ආණ්ඩුව ඉඩ තබන්නේ නැත. (ආණ්ඩුව හෝ ආණ්ඩුවට හිතවත් පිරිස් හැර වෙනත් එවැනි දෙයක් කළහැකි පිරිස් අද නැත) අවශ්‍යනම් ඔවුන්ට ආරක්ෂාව ද සැපයෙනු ඇත.

දෑවැන්තයන් සියරට ගියපසු මහපාරේ ගුටිකෑම

එහෙත් ගාලු සාහිත්‍ය මංගල්‍යයෙන් අනතුරුව ඒ ලාංකේය සිවිල් ප්‍රධානීන් ම දෙමළ ජනයා අතුරුදන් වීම ගැන කිසියම් විරෝධතාවක් සංවිධානය කළහොත්, අර ලැබුණු ප්‍රතිචාරය ම ඔවුන්ට එවිටත් ලැබේද? නැතිනම් ඔවුන්ට මර්දනයම සම්මුඛ වේද? මෙයින් පෙනෙන්නේ රටතුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, ආණ්ඩුව පවා විවේචනය කිරීමට ඉඩකඩක් විවර වී ඇති බව ද, නැතිනම් ආණ්ඩුවට එවැනි ඉඩකඩක් රටතුළ පවතින බවට ලෝකයට හඬගා කීමේ මහඟු අවස්ථාවක්, මෙතෙක් මර්දනයේම ගොදුරු බවට පත්ව සිටියවුන්ගේ ද සම්මාදමෙන් පෑදී ඇති බවද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.

මෙහි තේරුම නම් රාජ්‍ය මර්දන යන්ත්‍රය සිල්ගෙන ඇතිනිසා ගාලු සාහිත්‍ය උළෙලේ රැඩිකල් විවේචනවලට ඉඩලැබෙන බව නොව, තමන්ට එය දැවැන්ත වාසියක් නිසා ආණ්ඩුව එහි සිදුවන රැඩිකල් කතා අසන්නට ආසාවෙන් සිටින බව ය. විශ්ව කීර්තිධර කලාකරුවන් රටින් පිටව ගිය පසු, ඔවුන් සමඟ බරසාර සංස්කෘතික සංවාද කළ, එකට මී බඳුන තොලගෑ, එකට තල්මසුන් බැලූ ලාංකේය සිවිල් සමාජ ක්‍රියාධරයන්ට හෙටත් මහපාරේ දී ගුටිබැට ලැබෙන බව ය. මේ විලම්බීත තත්ත්වය සේවය කරනු ඇත්තේ කාටද?

ගාලු සාහිත්‍ය උළෙල ගැන ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදන නිකුත් කරමින් සිටී. මේ කාර්යාලය එබඳු සාධනීය ප්‍රචාරයක් ලබාදෙන්නේ සාමාන්‍ය ප්‍රජාව ගේ කිනම් වැඩසටහනකටද? ප්‍රජාව ගේ මූලිකත්වයෙන් කෙරෙන ප්‍රගීත් සැමරුමකට හෝ ලසන්ත සැමරුමකට ජනාධිපති ලේකම් කාර්යාලය එවැනි ප්‍රචාරයක් දෙන්නේද? එයින් පෙනෙන්නේ මේ ‛ආණ්ඩුවේ සම්මාදමෙන් තොර ප්‍රජා මූලික’ කතාව ඇස්බැන්දුමක් බව ය.

’අපට සංස්කෘතික ජීවිතයක් නැද්ද?’

‛සමාජයට දැවැන්ත ව්‍යසනයක් සිදුවුණා කියා අපට කලා සංස්කෘතික ජීවිතයක් සමරන්නට අයිතියක් නැතිදැ’ යි ප්‍රශ්න කරනු ද පෙනේ. මෙහි ඇති වඩාත් බැරෑරුම් හා සංවේදී ම ප්‍රශ්නයක් ලෙස මෙය සැලකිය හැකි ය.

80 දශකය අග දකුණේ හැටදහසක් මනුෂ්‍යයන් පාරවල් ගානේ මරාදමනු ඇපි දුටුවෙමු. එහෙත් අදවනවිට සිදුවී ඒ හැටදහසක මිනී කන්ද මත සුදු පිරුවට එළාගෙන අපි වාඩිලා සිටිමු. ඝාතකයෙක් සොයා නොගත් හැටදහසක මිනී කන්ද අප වාඩිලා සිටින පිරුවටය යටින් ඇති අතර, හැටදහසක් කෲර ලෙස ඝාතනය කළ, අප නොහඳුනනා මිනීමරුවෝ ද අප අසළින් ඒ සුදු පිරුවටය උඩ වාඩිලාගෙන සිටිති. රිචඩ් මැරූ ඝාතකයෙක් අදටත් නැත. ප්‍රේමකීර්ති මැරුවේ කවුදැ යි පසුගිය දිනවල ද යාන්තමට ‛හා හූවක්’ මතු වුවත් එය ද බැරෑරුම් ලෙස ගත් කෙනෙක් නැති ගාණ ය. කොටින් ම එදා ඝාතනය වූ හැටදහස ගැන අද අපට වගේ වගක් නැත. අපි එතැන් පටන් සංස්කෘතික ජීවිත ගතකරමින් සිටියෙමු.

‛ඛේදවාචක සිදුවුණා කියා අපට සංස්කෘතික ජීවිතයක් නැතිදැ’ යි අසමින් අප දැන් කළ යුත්තේ උතුරේ තවත් දස දහස් ගණනක මිනී කන්දක් මත සුදු පිරුවට එළාගෙන වාඩිගැනීමද? එදා සිදුවුණා සේ, මේ ඝාතකයන් ද අප අසළින් පැමිණ සාන්තුවරුන් සේ වාඩිගන්නවා ඇත. මන්ද අප ඒ ඝාතකයන් හඳුනන්නේ නැති බැවිනි. ‛රිචඩ් මරපු කෙනෙක් තාමත් නෑ’ යි අදටත් කියන්නා සේ තවත් වසර දහයකට පසු ‛ලසන්ත මරපු කෙනෙක් තාමත් නෑ’ කියමින් අපට ඔහු සැමරිය හැක. ‛ප්‍රේමකීර්ති මරපු කෙනෙක් අදටත් නෑ’ යි මේ දැනුත් කියන්නාක් මෙන්, තවත් වසර දහයකින් ප්‍රගීත් ‛පැහැරගත් කෙනෙක් අදටත් නෑ’ යි කියමින් සැමරුම් පැවැත්විය හැකි ය. සමහර විට ඒ වනවිට උතුරේ හෝ දකුණේ තවත් දස දහස් ගණනක මිනී කන්දක් ගොඩගැහෙන පසුබිමක් නිර්මාණය වී ඇතුවා වන්නටත් පුළුවන. එදා දකුණේ හැට දහසකට වග කී ඝාතකයින් ද, මෙදා උතුරේ තිස් හතලිස් දාහකට වග කී ඝාතකයින් ද, ඔවුන්ගෙන් ඝාතන කලාව උගත් නවතම ඝාතකයින් ද එදාටත් මේ පොළොව ලෙයින් නහවනවා ඇත.

මිනීකඳු මත පිරුවට එළා වාඩිලෑම

ඒ තත්ත්වය වැළැක්වීමේ කිසියම් හෝ උත්සාහයක් දැරිය යුතුනම්, මේ අප ගතකරමින් සිටින්නේ එය කළ හැකි අවසන් තීරණාත්මක මොහොත යි. ඒ මොහොත උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැක්කේ ‛දැන් වෙච්ච දේ වුණා, මීට පස්සෙවත් හොඳ ළමයි වගේ හැසිරෙන්ඩ ඕනෑ’ යි අතපිසදා ගැනීමෙන් නොවේ. එදා හැටදහසකට වගකී මිනීමරුවන් අල්ලාගන්නට බැරි වූ, ඒ නිසාම මිනීමරුවන්ගෙන් ආතුර වූ, හෘදසාක්ෂියක් අහිමි සමාජයක ජීවත් වන්නට සිදු වූ අප, එයින්වත් පාඩමක් ඉගෙනගෙන මෙවර මේ මහා මානුෂික ඛේදවාචකයට වගකිවයුතු මිනීමරුවන් සොයාගෙන ඔවුන් නීතියේ ක්‍රියාදාමයට යටත් කිරීමට බලකිරීම තුළිණි. ඒ ඔස්සේ සමාජය තුළ කිඳාබැස ඇති අවනීතිය සුන් කොට නීතියේ සැබෑ ආධිපත්‍යය තහවුරු කිරීමට හැකි සෑම බලපෑමක් කිරීම තුළිණි.

අප මේ මොහොතේ ඒ යුතුකම ඉටු නොකළොත්, තවත් වසර කිහිපයකින් තවත් මිනී කන්දක් දකින්නටත්, මැරූ කෙනෙක් නැති සිවරාම්ලා, ලසන්තලා සේම, සිදු වූ දෙයක් නැති ප්‍රගීත්ලා බඳු දස දහස් ගණනක් සමරන්නටත්, අවසන ඒ මිනී කන්ද මත ද සුදු පිරුවටයක් එළාගෙන ‛ඔන්න ආයිමත් බෑ’ කියමින් සිටීමටත් හැකිවනවා ඇත.

මේ තීරණාත්මක මොහොතේදී අප කළයුත්තේ ඒ සඳහා හැකි හැම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගනිමින් දේශීයව හා ජාත්‍යන්තරව කළහැකි උපරිම බලපෑම කිරීම ය. එසේ නැතිව ආණ්ඩුවේ ඊනියා සංචාරක පාරාදීසයට මතවාදී තාර්කිකත්වයේ හයිය ලබාදීමට කටයුතු කිරීම නොවේ.

සනත් බාලසූරිය