Ampara, Anuradhapura, සිංහල, Batticaloa, Health, Pollonnaruwa, Trincomalee

ගංවතුරෙන් සතුන් ලක්ෂ ගණනක් මිය යයි.

මේ දින වල පවතින ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පමණක් ගෘහාශ්‍රිත සතුන් දෙලක්ෂ පනස්දාහකට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වේ . මීට අමතරව ගංවතුර හා අධික වර්ෂාව බලපා ඇති ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වලද විශාල සත්ව මරණ ප්‍රමාණයක් සිදු වී ඇති නමුත් පවතින අයහපත් කාලගුණය තත්ත්වය නිසා එම මරණයන් කොතෙක් ද යන්න තවම ගණනය කළ නොහැකි බව ඒ ඒ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පවසයි.

මේ අනුව මඩකලපුව, අම්පාර, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන් හි පමණක් ගවයන් 59,521 ද, එළුවන් 19,811 ද, කුකුළන් 1,55,434 ද, ඌරන් 97 ද, හාවන් 225 ද මිය ගොස් ඇති බව වාර්තා වේ. මීට අමතරව ත්‍රිකූණාමලය දිස්ත්‍රික්කයේ ද ගෘහාශ්‍රිත සතුන් 15,000 ක් පමණ මිය ගොස් ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය පැවසීය.

එමෙන්ම ගංවතුර හා අධික වර්ෂාව නිසා විශාල වන ජීවීන් ප්‍රමාණයක් ද මිය ගොස් ඇති බව වාර්තා වන අතර තවමත් ඒ පිළිබඳ ගණනය කිරීම් සිදු කර නොමැති බව වන ජීවි ආරංචි මාර්ග පවසයි. ගවයන් ආදී ගෘහාශ්‍රිත සතුන් මිය යාමට ප්‍රධාන හේතුව අවශ්‍ය ආහාර හිඟවීමත්, ගංවතුර තත්ත්වයන් නිසාත් වන අතර මේ වන විටත් ඒ පිළිබඳ ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ආරම්භකර නොමැති බව පරිසරවේදීන් පවසයි.

මෙම තත්ත්වය ඉදිරියේදී ද පැවතුනහොත් ගෘහාශ්‍රිත සතුන්ට මෙන්ම වන සතුන් ට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පරිසරවේදීන් අනතුරු අඟවයි.