සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.

         ‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන යනවා. ඒ මදිවට පොලිසියේ ඇතුලෙ දි අපේ ෆොටෝ ගන්නවා. අපිට තේරෙන්නේ නැති ප්‍රශ්ණ අහනවා. ඇයි මෙහෙම අපිට කරන්නෙ කියලා තේරෙන්නේ නෑ. අපිට අයිඩින්ටි කාඩ් ඔක්කොමත් තියනවා. ඒත් අපිට නිදහසේ ඉන්න නෑ.”

           මේ කොළඹට ආසන්න පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක රුකියාවක් කරන වතුකරයේ දමිළ කාන්තාවකගේ වේදනාවෙන් එක් කොටසක්.  

“අපිට තේරෙන්නේ නෑ, අපිට ඇයි මෙහෙම කරන්නේ කියලා.

අපි දෙමළ නිසා ද..? ලබන ආත්මෙදීවත් දෙයියනේ අපි දෙමළ නම් වෙන්න එපා.”

          කෙනෙකු රස්සාවක් කරන්නේ ජීවත් වන්නටයි. ජීවත් වීම යනු දහවල් තම රස්සාව වෙනුවෙන් දහදිය වගුරවා රාත්‍රියේ පොළිස්කූඩුවේ ලැගීම ද නොවේ. එහෙත් එවන් වේදනාත්මක අත්දැකීම් අප වටා සිදුවන බව ඉහත කතාවෙන් පෙන්නුම් කරනු ලබයි. තමා අසල සිටින ඕනෑම පුද්ගලයකු දෙස සැකයෙන් බලන්න උපදෙස් දෙන රාජ්‍යක මෙවන් දේ වැලැක්වීම දුෂ්කරය.

           ඊනියා බුද්ධිමතුන් පවසන ආකාරයට “ඕනෑම රටක අභ්‍යන්තර යුද්ධයක් යනකොට මේවගේ දේවල් සිද්ධ වෙනවා. ඒක ස්වාභාවිකයි.” නමුත් ඔවුනට නොතේරෙන දෙයක් නම් කිසිදු ප්‍රජාතන්ත්‍රවිරෝධි ක්‍රියාවකට අබමල් රේනුවකටවත් සම්බන්ධයක් නැති දකුණේ අසරණ කාන්තාවන් ප්‍රශ්ණ කිරීම සඳහා යැයි පවසා සතියකට දෙපාරක්වත් මුලු රාත්‍රියම පොළිස් කූඩුවේ ලගින්නට සිදුවීම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද..? ප්‍රශ්ණ කිරීම්, සෝදිසි කිරීම් සිදුකිරීම නොකළ යුතු යැයි කිසිවෙක් පවසන්නේ නැත. එය පවතින තත්වය නිසාම නොවේ වෙනයම් හෝ සිදුවීමකදී ද එකසේ අදාල ය. එහෙත් ඒවායේ ඇති මුග්ධ, ප්‍රජාතන්ත්‍රවිරෝධිභාවය පිළිබඳ මේ සමාජය තුළ යම් සාධාරණ කතිකාවක් තිබේ ද? නීතියේ සාධාරණත්වයක් ඔවුන්ට තිබේ ද?

ජෙයපාලන් නම් කෘතියේ, සුකුමාර් නැමති කවියාගේ ‛තවත් ඇටකටු’ නම් පද්‍යයේ මෙසේ සදහන් වෙයි.

මා දොරට සන සන් කොට

කිසිත් නාසව

මා නිවස මරණයෙන් දරදඬුය.

මේ දවස්

කාකි යක්ෂයින්ගෙන් පාලිතය

අද

මල් වැල් ද

දරුවන්ගේ මදහස ද

සියොත්හු ද

අඟනෝ ද දැවුණෝ හ.

මා දොරට සන්කොට කිසිත් නාසව

අද

මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.