Colombo, Featured Articles, Features

ජනතාවට අමුකවන ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දේශපාලනය හඳුනාගනිමු.!

විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක්

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි. එසේ යැවීමේදී ඒ ඒ පක්‍ෂයේ නායකත්වය ප්‍රතිපත්ති හා ක්‍රියාකාරීත්වය, ජනතාවට පවතින සමීප බව සලකා බලනු ලබන ප්‍රධාන ජනතා නිර්ණායක වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව අපට ආණ්ඩු පක්‍ෂයකුත්, ප්‍රති පක්‍ෂයකුත් ලැබේ. ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂය මෙහෙයවීම සඳහා පක්‍ෂ අතුරින් එක් පක්‍ෂයක නියෝජිතයකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලබයි. එයට පහලින් ඇති පළාත් සභා සහ පලාත් පාලන ආයතන තුළත් රට කරවන්නට ජනතාව මේ ආකාරයට තම නියෝජිතයන් පත් කරති.

ඒ අනුව අප රට කරවන්නට ජනාධිපතිතුමා ඇතුලුව අමාත්‍ය මණ්ඩලයේ 61ක්ද, නියෝජ්‍ය ඇමතිවරු 33ක්ද ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49 සිටිති. මෙයට අමතරව අමාත්‍යංශ අධීක්‍ෂණ මන්ත්‍රීවරුන්ද සිටිති. මීට ප්‍රතිපක්‍ෂව විපක්‍ෂනායකවරයා ප්‍රමුඛ විරුද්ධ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 81 ද, පළාත් සභා ක්‍රමය තුළ මහ ඇමතිවරු 08ක්ද, අමාත්‍යවරු 24ක්ද, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු 237ක්ද සිටිති. පළාත් සභා වල විපක්‍ෂ නායකවරුන් 08ක්ද පළාත් සභා තුළ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 143ක්ද සිටිති. තවද ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට තේරී පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4420 කි.

ඒ අනුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප පත් කොට ඇති ජනතා නියෝජිතයන් 5065 ප්‍රමාණයකි. (මෙයට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය එකතු කර නැත). මේ අය සඳහා දළ වශයෙන් මාසිකව දස කෝටියකට වඩා වැය කරති. වාර්ෂිකව වැය කරන වියදම රු. බිලියන ගණනකි. ඒ අප රටේ ජනගහණයෙන් අනුපාතයක් ලෙස ගත් විට සෑම ඡන්ද දායකයන් 3949කට එක් නියෝජිතයකු සිටිති. එසේ ඡන්දදායකයන් 3949කට සේවය කිරීම සඳහා දළ වශයෙන් එක් මහජන නියෝජිතයකු සඳහා අඩු වැඩි වශයෙන් රුපියල් 197,433ක් වැය කරති.

මේසා විශාල නියෝජනයක් සිදුකොට, මේතරම් ආයෝජනයක් සිදුකොට අපට ලැබෙන්නේ කාර්යක්‍ෂම මනා සඵලදායක සේවාවක්ද යන්න මෙහිදී අප සැලකිල්ලට ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත ජාතික නිෂ්පාදනය රුපියල් බිලියන 5000 කි. ශ්‍රී ලංකාවේ ජනගහණය මිලයන 20කි. ඒ අනුව අවිද්‍යාත්මක තර්කයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එක් පුද්ගලයකුගේ දළ ජාතික නිෂ්පාදනය ඇති හිමිකම රු 250,000ක් හිමි විය යුතුව තිබේ. විවිධ හේතුන් මත මෙය යථාර්තයක් නොවන බව අප හොඳින් දනිමු. නමුත් අපේ දිළිඳුකමේ මට්ටම රු.3000.00 තවමත් තිබෙන කළ මෙතරම් විශාල පරතරයක් ඇතිව ඇත්තේ අපේ පාලකයන්ගේ අකාර්යක්‍ෂමතාව නිසාවෙනි. අප විශාල වැය බරක් යොදවා වානිජ ඇමැතිවරයකු හා අමාත්‍යංශයක් පවත්වා ගෙන යයි. නමුත් පොල්, බිත්තර, කුකුල් මස්, දේශීය වෙළඳ පොලෙහි මිල ඉහල ගිය විට ඔහුට ඇති එකම විකල්පය වී තිබෙන්නේ පිටරටින් ඒවා ආනයන කිරීමයි. ඔහුට අනුව ඉල්ලුම හා සැපයුම අතර පවතින සම්බන්ධතාවය ඒකමානීව හා සරලය. ඒ සඳහා විශාල විදේශ විනිමයක් අවසානයේදී යොදවති. නමුත් එකී භාණ්ඩ ආනයනය කිරීමෙන් පසුවද පාරිභෝගික භාණ්ඩ වල මිලෙහි වෙනසක් තවමත් අපට නොදැනෙති. ඒ නිසා ජනාධිපතිවරයා සිතන්නේ, තම මලනුවන් යොදවා යුද්ධයේ ජයග්‍රහණය කරනු ලැබුවා සේම මිල යුද්ධය ජයගන්නට ය. ඒ සඳහා ආරක්‍ෂක ඇමතිවරයා හමුදාව යොදවති. ආණ්ඩුවේ පඩිවලින් යැපෙන ආණ්ඩුවේ ඉන්ධන වලින් දුවන වාහනත් යොදවා නිෂ්පාදකයා හා සිල්ලර වෙලඳපොල අතර හමුදා අතරමැදියකු යොදවති. ආර්ථික විද්‍යාවට මෙය අසුනොවන විද්‍යාවකි. එයම අපට ’’මහින්දටික්ස්’’ යයි කිව හැකිය. නමුත් ජනතාව එතැනය. තැනින් තැන දිග පෝලිම් වලට රොක් වන රටේ ජනගහණයෙන් අතලොස්සක් වන ජනතාව අඩු මිලට හමුදාවෙන් එළවළු මිලට ගනිති. හමුදා මේජර්වරුන් අද ලූණු කිරති. කෙසේ නමුත් මේ සද්ක්‍රියාවේ ප්‍රතිඵලය ජාතක කථාවේ එන ලේනකු තම පැටියා සොයා ගැනීමට මුහුද ඉසීමට දැරූ උත්සාහයට නොසමානනයි තර්ක කළ හැක්කේ කවරෙකුටද? නමුත් විශාල වියදමක් දරමින් අතීතයේදී රටේ වානිජය කළමණාකරණය කිරීමට ගොඩනැගූ ආයතන තිබේ. සතොස, මාක්ෆේඩ්, වී අලෙවි මණ්ඩලය, මෙයට උදාහරණ වෙති. ඉන් එකක් හෝ නව කළමනාකරණයකින් යුතුව ගොඩ නංවන්නට උත්සුක නොවන රජය, ආසියාවේ ආශ්චර්ය වන බවට ජනතාවට පාරම්බාති. ජනතාව දිනපතා එකී ආශ්චර්ය අනුබව කරමින් දුකසේ වෙසෙති.

ආණ්ඩුවේ ඉහත කී තරමටම නොදෙවෙනි බවක් විපක්‍ෂයත් පෙන්නුම් කරමින් සිටී.

විපක්‍ෂ නායකවරයා තම පක්‍ෂය පාලනය කිරීමට හෝ විපක්‍ෂයේ ප්‍රතිපත්ති ගොඩනංවමින්, ආණ්ඩුවට විකල්ප බලය ලෙස ගොඩනැංවීමට වැය වන කාලයට වඩා වැඩි කාලයක් ගත කරන්නේ විදේශ සංචාරවල ය. ඉදිරියේ පැවැත්වෙන පලාත් පාලන ඡන්දය පවතින කාලය තුළදීත්, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සමුලුවකට විදේශ ගත වීමට නියමිත බව පසුගියදා ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කොට සිටියේය.
විපක්‍ෂය තමන්ට හරිහමන් නායකයකු නැති බව ඔප්පු කරමින්, පසුගිය ජනාධිපතිවරණයට, පැත්තක සිටි හමුදා නිලධාරියකු වූ ජෙනරල් සරත් ෆොන්සේකා අමුණනු ලැබුවේය. ඒ සඳහා කල හැකි සෑම සටකපටකමක්ම සිදුකොට ෆොන්සේකා මහතා තරඟයට යොමු කළේය. නමුත් ජනාධිපතිවරණයේදී තමන්ගේ පක්‍ෂයේ යුතුකම හරි හැටි ඉටු නොකලාක්මෙන්ම, අද ජෙනරල් ෆොන්සේකා අසරණවී සිටින කළ ඔහු වෙනුවෙන් කල් පවතින සටනක් දියත් කොට, ෆොන්සේකා මහතා බේරා ගැනීමට විපක්‍ෂයක් නැත.

ජනාධිපතිවරයා 18 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආ විට ඒ සඳහා මාධ්‍ය ඉදිරියේද සංදර්ශනයක් පවත්වා වූවා මිස, විපක්‍ෂයට දැන් ඒ පිළිබඳ වගේ වගක් නැත.

පළාත් පාලන මැතිවරණ, ජනාධිපතිගේ න්‍යාය පත්‍රයට අනුව, මීට ඉහත පළාත් සභා ඡන්ද පැවැත්වූවා සේම කඩින් කඩ පැවැත්වීමට තීරණය කර ඇත. සුපුරුදු පරිදි විපක්‍ෂය ආරම්භයේදී සිහින් කෙඳිරියක් නැංවූ නමුත් දැන් ජනාධිපතිගේ න්‍යාය පත්‍රය ඔස්සේ සුපුරුදු පරාජය ලැබීමට ලහි ලහියේ ලක ලෑස්ති වෙති. 18 වන සංශෝධනය යටතේ ගොඩනැගූ මැතිවරණ කොමිසම යටතේ, රාජ්‍ය සේවා කොමිසම යටතේ, පොලිස්පති කොමිසම යටතේ, රාජ්‍ය මාධ්‍ය පාලනය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ව්‍යුහාත්මකව පැවැත්විය නොහැකි බව මොවුන්ට දැන් අමතක වී තිබේ. සුපුරුදු පරාජයෙන් පසු ඡන්ද මගෝඩියක් බව ජනතාවට කියා විපක්‍ෂය ඇඟ බේරා ගනු ඇත. නමුත් ඒ තුලින් ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ පවතින විශ්වාසය දිනෙන් දින මිලන වන බවට සංවේදීත්වයක් විපක්‍ෂයට නැත. ඒ තුළ තමන් දිනේ දිනම විෂම චක්‍රයක් තුළට ගමන් කරන බව විපක්‍ෂය තෙරුම් ගන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව විපක්‍ෂයට දේශපාලනික මනසක් නොමැති නිසාය. ඡන්දය පිළිබඳව විශ්වාසය අඩු වන තරමට එය ආණ්ඩු පක්‍ෂයට වාසි වන බව විපක්‍ෂයට නොදනති. ඒ නිසාම ඔවුන් දිගින් දිගටම මාධ්‍ය යුද්ධයකට පැටලෙති. නමුත් සෑබැ දේශපාලනික අරගලයකට ජනතාවට නායකත්වය නොදෙති.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව

Pic By – http://www.muthamil.com/2009/sep/srilanka_election.shtml