Colombo, end of the War, Featured Articles, Features

‛‛ජනතාව නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්ත්වයකට පත්වෙලා’’ – පියල් කාරියවසම්

යුද්ධයෙන් පස්සෙ දෙමළ ජනතාවට පමණක් නොවෙයි සිංහල ජනතාවටත් සුවිශේෂ බලයක් හෝ සුවිශේෂ තත්වයක් උදාවෙලා නැහැ. යුද්ධය කියලා කියන්නෙ ආයුධත් එක්ක කරන ගණුදෙනුවක්. ලෝක ඉතිහාසයෙ ගත්තත් යුද්ධයකින් පස්සෙ කුඩා මිල්ටරි කණ්ඩායම් ඇතිවෙනවා,අපරාධ වැඩිවෙනවා. මෙවැනි තත්වයන්ගෙන් වෙන්නෙ ජනසමාජය ඇතුළෙ මිල්ටරිකරණය ඉහළ යාම. සාමාන්‍යයෙන් අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල, දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සමහර රටවල, ටිමෝරය, පිලිපීනය යම් ආකාරයකට, ලතින් ඇමරිකානු රටවල් ගණනාවක්, අප්‍රිකානු රටවල් ගණනාවක් මේ ආකාරයට යුද්ධයෙන් පස්සෙ අරාජිකත්වයට පත්වුණා.

ලංකාවෙ මේ මොහොත වන විට ජනතාව යම් ආකාරයකට නිහඬවෙච්ච, කලකිරෙච්ච, කිසිම දේශපාලන සංවේදීභාවයක් නැති තත්වයකට පත්වෙලා තියෙනව. පවතින ආර්ථික, සමාජීය ප්‍රශ්න වලට විසඳුමක් විදිහට ඒ අය හිතුවෙ යුද්ධය ජයග්‍රහණය කරන එක. මේ අය කල්පනා කරමින් හිටියා අපට වලකපන්නේ අපේ ඉන්න අනෙකා නැත්නම් දෙමළ ජාතිය කියලා. දැන් ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි දෙමළ ජාතිකයාව මර්ධනය කළා. ඔහු නෙමෙයි අපිට දැන් තියෙන ගැටළුව. මොකක්ද එහෙනම් දැන් අපිට තියෙන ගැටළුව? මූලික වශයෙන්ම දේශපාලනය පිළිබඳව යම් ආකාරයකට මතයක් ජනසමාජය තුළ ඇති කරගෙන නැති වුණාම ඇතිවන සොරකම් කිරීම, දූෂණය, වංචාව සහ මිනී මැරීම තමයි ගැටළුව. මේක වෙන්නෙ ලාභය මත.

පොදු ජනයා හිතුවා යුද්ධෙන් පස්සෙ තමන් නිදහස් වෙයි කියලා. නමුත් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ මාධ්‍ය කියන මේ හතරෙන්ම මිනිහව යට කරලනෙ තියෙන්නෙ. පාසැල් කියන ප්‍රශ්නෙ ගත්තාම ඒක කුල ප්‍රශ්නෙ වගේ තත්වයකටනෙ පත්වෙලා. සාමාන්‍ය මිනිහට පුළුවන්ද මේ ඉහළ පාසැලකට ළමයෙක් ඇතුල් කරන්න? සෞඛ්‍ය ගත්තත් දැන් ඕ.පී.ඩී එකට ගිහින් බලන්න කී දෙනෙක් බිම වාඩිවෙලා ඉන්වද කියලා. වෛද්‍යවරු ඉන්නවද අපිට? වෛද්‍ය සේවය ලබා ගන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි. ප්‍රවාහනය ගත්තම සාමාන්‍ය බස්රථයක ගමන් ගත්තම හිතෙනවා මනුෂ්ෂත්වය මේ තරම් පිරිහෙන්නෙ ඇයි කියලා. මේව දෙමළ ජාතිකයා කරපු දේවල් නෙමෙයිනෙ. සිංහල මනුස්සයට සිංහල කඩේකින් අඩුවට බඩු දෙන්නෙ නෑනෙ. දෙමළ මනුස්සයට දෙමළ කඩේකින් අඩුවට බඩු දෙන්නෙ නෑනෙ. එතකොට ලාභය තමයි මෙතන අරමුණ.

ලංකාව විශාල ආර්ථික අර්බුදයකට පත්වෙලා තියෙනවා. පේන්න තියෙන තත්වයක් තමයි පාරවල් හදනවා වගේ දේවල් කරනවා. මොනවද මේ වර්ධනය කරන මාර්ග ඔස්සෙ ගේන්නෙ? ජන සමාජයක් විදිහට අපි මොනවද නිෂ්පාදනය කරන්නෙ? දැනට ලංකාවට වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධනය එන්නෙ මැදපෙරදිග කාන්තාවන්ගෙන්. ඔවුන්ගෙන් සීයට අසූවක්ම ලිංගික ශ්‍රමය තමයි විකුණන්නෙ. මේ අයගෙන් තමයි අපේ සම්පූර්ණ ආර්ථිකයම සකස්වෙන්නෙ. මේ අය විතරයි ස්වාධීන මුදලක් රටට ගේන්නෙ. අනිත් අය ණය මත යැපෙන්නෙ.

මෙම අර්බුදයන් වලට කලාකරුවා සංවේදීද කියන එක ගැන මම කියන්න දන්නෙ නෑ. ඉතාම කීපදෙනෙක් විවිධ ආකාරයෙන් මේ ගැන අවධානයෙන් ඉන්නවා. නමුත් මෙහෙම කරන මේ කලා නිෂ්පාදනය ජනසමාජය පිළිගන්නවද කියන එක ගැටළුවක්. අපේ රට පුංචි රටක් නිසා මේවයෙ පැවැත්ම ආරක්ෂා කරන්න බැහැ. උදාහරණයක් විදිහට උගත් පාඩම් හා ප්‍රතිසන්ධානයේ ක්‍රියාවලිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් හදනවා නම් අවුරුදු දෙක තුනක ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය කරන්න කෝ මූල්‍ය ප්‍රාග්ධනය?

කලාකාරයෝ කොටස් දෙකක් පැහැදිලිව පේනවනෙ. එක් කොටසක් සිද්ධවෙච්ච මේ දේවල් අගය කරලා ඒවාගෙන් ප්‍රතිලාභ ලබාගන්නාවා. මේ මොහොත වන විට කලාකාරයා යම් සැකයක ඉන්නවා. කොයි පිරිස එක්කද වැඩ කරන්නෙ? කොයිවිදිහෙ මග පෙන්වන්නො කොට්ඨාශයක් එක්කද ඉන්න ඕනෙ? කලාකරුවා හුදකලා වීම විශාල ගැටළුවක්. අපි නාට්‍ය හදන විදිහ වෙනස් කරන්න ඕනෙ. අපි චිත්‍රපටි හදන විදිහ වෙනස් කරන්න ඕනෙ. ලෝකෙ හුඟක් වෙලාවට සිද්ධ වෙච්ච දෙයක් තමයි කලාකරුවා හුදකලා වෙච්ච වෙලාවට ජනසමාජයේ ඇතුළට රිංගන්න කලා භාවිතයේ ස්වරූපය වෙනස් කරගන්නවා. වෙනස් විදිහෙ තාක්ෂණික ක්‍රම, භාවිතාවයන් වලට යන්න වෙනවා. සමාජය ඉස්සරහට තල්ලුකරන්න.

මට හිතෙන්නෙ කලා කරුවට විශාල වශයෙන් කලාවට අමතරව දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා මිනිස්සුන්ව දැනුවත් කරන ක්‍රියාකාරකම් හරහා තමයි ඉස්සරහට වැඩ කරන්න වෙන්නෙ. එතකොට විශාල මර්ධනයක් එනවා ඔහුට. ඊළඟට තරුණ කොටස් දැනුවත් කිරීම. මේ වගේ විශාල වැඩකොටසක් තියෙනවා. ඇත්තටම මේක තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ලෝක මට්මේම ප්‍රගතිශීලී කණ්ඩායම් සම්බන්ධ කරගෙන තමයි යම් ආකාරයකට වෙනසකට යන්න වෙන්නෙ. කලාව තව දුරටත් ශුද්ධ වූ රසය උපදවන සම්භාව්‍ය කලාවකට වැඩිය විශාල අරගලයකට මැදිහත් වෙන විවේචනාත්මක කලා භාවිතයකට යන්න සිද්ධ වෙනවා. ලතින් ඇමරිකානු රටවල, ඉන්දියාවෙ සමහරක් ප්‍රාන්ත වල වෙනස්කම් ඇති කරගත්ත ජනසමාජයන් තියෙනවා. ඒකට සෑහෙන්න කැපවීමක් සහ කාලයක් කැපවෙනව. උදාහරණයක් විදිහට ඉරාකයට පහර දෙද්දි ඩේවිඩ් හෙයාර් කියන නාට්‍යකරුවා ආවා ඉරාකයට. ඇවිල්ලා බෝම්බ වැදුණු ජනසමාජය ඇතුළට ගිහිල්ලා, ජන සමාජයේ ඉන්න කුඩා ළමයි, තරුණ කොටස් එකතුකරගෙන වැඩමුළු පවත්වලා නාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතාම සංවේදී සන්නිවේදන කාර්යයක් කරන්න පුළුවන් කලාකාරයට.

[සාකච්ඡාවක් ඇසුරිනි]

ලේඛක – පියල් කාරියවසම්