සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ අද තත්ත්වය – පෞද්ගලික අත්දැකීමක්

සාක්ෂිකරු විසින්
සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ 34 මාර්ගය ඔස්සේය.
වාසනාවකට මට ඕමන්තෙයි සිට ගිලන් රථයකින් ගමන් පහසුව සැලසිනි. වාහනය ගමන්ගත්තේ වෙනදා කිලිනොච්චි යන පාරට වඩා කිලෝමීටර් 70 ක් දුර පාරකය. මෙවර මා නැවතුනේ කිලිනොච්චියේය. අවතැන්වීමෙන් විපතට පත් වූ ජනයාගේ අවශ්‍යතා පිළිබඳව මම දේවගැතිවරුන් ඇතුළු විවිධ අය සමග සාකච්ඡා කළෙමි. අවසානයේ අවතැන්වු පවුල් 2000 ක පමණ පිරිසකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නට යම් වැඩ පිළිවෙලක් යොදන්නට එකඟ වුයෙමි.

එම ආහාර තොගය මිලදී ගන්නට මම ඔක්තොබර් 01 දා කිලිනොච්චියට සහ ධර්මපුරම් වෙත ගියෙමි. එම ස්ථාන දෙකෙන්ම මට අවශ්‍ය තරම් ආහාර මිලදී ගැනිමට නොහැකිවිය. එදිනම පෙරවරු 10.30 ට පමණ අප සිටි ස්ථානයට කිලෝමීටරයක් ඈතින් ස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ලවිය. ඒ කිලිනොච්චි රෝහලට ආසන්න ස්ථානයකටය. එම ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 13 දෙනෙකු තුවාල ලැබූහ.

ඔක්තෝබර් දෙවැනිදා සමූපකාර සංගමය අප සමග එකඟවූයේ පවුල් 2000 කට සැහෙන ආහාර ද්‍රව්‍ය සපයා දෙන බවටය. එදිනම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලොරි 54 කින් වන්නියට ගෙන ආ ආහාර ද්‍රව්‍ය වලින් ලොරි 21 ක වූ තොගයක් ධර්මපුරම් වෙත ගෙන ආ අයුරු මම දුටුවෙමි. කිලිනොච්චි දිසාපතිවරයා මා සමග කීවේ ලොරි 26 ක ආහාර ප්‍රමාණවත් වන්නේ සතියකට පමණක් බවය.

අප වඩ්ඩක්කච්චි සිට කිලිනොච්චිය වෙත මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටියෙමු. ඒ අතර අපට ඉතා බියකරු සහ අවදානම් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. අපට මීටර් 200 ක් පමණ ඉදිරියෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල විය. ඉක්මනින්ම අප කලේ ගමන් කරමින් සිටි මෝටර් සයිකලය ඉවත දමා පාරේ තිබූ කානුවකට බැස ගැනීමයි. ඒ හේතුවෙන් පුදුමාකාර ලෙස ප්‍රහාරයෙන් බේරීමට අපට හැකියාව ලැබිණි. මා සිටි තැනට අඩි කිහිපයක් මෑතින් මහ පාර මතට යකඩ කුටිටියක් වැටුණේය. වාසනාවකට ඉන් මට හානියක් සිදුවුණේ නැත.

ඔක්තෝබර් 2 දා සැන්දෑවේ කතෝලික පල්ලියට සම්බන්ධ මානව වාදී සංවිධාන දෙකක් වු කරිටාස් ්‍යඹෘෑක්‍ සහ න්‍ඍී සංවිධාන වල නියෝජිතයන් හමුවීමට මට හැකියාව ලැබිණි. මෙම සංවිධාන කිළිනොච්චියෙන් පිටවන ලෙස ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලට සහ එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත රජය විසින් නිකුත් කරන ලද නියෝග නොතකා තවමත් එහි රැඳී සිටින සංවිධානයන්ය.කිලිනොච්චියේ කතෝලික පල්ලියද එසේ සිදුකර තිබේ.
ආටිලරි සහ මල්ටි බැරල් ප්‍රහාර විසින් එම රාත්‍රිය භයංකර රාත්‍රියක් බවට පත්කරනු ලැබීය. මුළු රාත්‍රිය මුළුල්ලේම අප නිදි වර්ජිතව ගත කළේ ඊළග මිනිත්තුවේ කුමක් සිදුවේදැයි නොදන්නා වික්ෂිප්ත බව සමඟය. රෑ පුරා සිදුවූ එම ප්‍රහාරය සමඟම පසු දින උදයේ අප දුටුවේ ට්‍රුක්ටර්, අත්ට්‍රුක්ටර් සහ බයිසිකල් වල තම බඩුමුට්ටු පටවාගෙන මුලතිව් පැත්තට වන්නට පිහිටි කිළිනොච්චියේ නැගෙනහිර ප්‍රදේශය වෙත පලායන ජනතාවය. එම ට්‍රුක්ටර් ධාවනය කෙරුණේ භූමිතෙල් වලිනි. මේ වනවිට එහි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330 කි.
ලංකා බැංකුවේ කිළිනොච්චි ශාඛාව කිලිනොචිචි නගරයේ සිට ධර්මපුරම් වෙත ගෙන ගොස් ඇති අතර එහි සේවකයෝ ගනුදෙනු සඳහා වව්නියාවේ සිට මුදල් ලැබෙන තුරු බලා සිටිනු අපි දුටුවෙමු. මා එහි සිටි දින කිහිපය තුළ දුටු තවත් දෙයක් නම් අවතැන් වූ පුද්ගලයන්ට අවශ්‍ය ටාපොලින් රෙදි දේවගැතිවරුන් විසින් බෙදා දුන් ආකාරයයි.
පසුවදා, එනම් ඔක්තෝබර් 3 දා මම භූමිතෙලෙන් දුවන මෝටර් සයිකලයක නැඟී මන්නාරම බලා පිටත්වුයෙමි.

අප එසේ පැමිණෙමින් සිටියදී වඩ්ඩක්කච්චි වෙත ළඟාවෙද්දී දුටුවේ මහ පාරට පැමිණි ජනතාව අහස දෙස බලා සිටින අන්දමයි. අපද මෝටර් සයිකලය නවත්වා ඔවුන් සමඟ එක් වූ කල දැක ගන්නට ලැබුණේ කිළිනොච්චිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කෙරෙන ආකාරයයි. එසේම කිළිනොචිචියේ නැගෙනහිර ප්‍රදේශය වෙත හරකුන් රෑනක් මෙන් මිනිසුන් දිවයන ආකාරයද? අපි දුටුවෙමු.

මන්නාරම වෙත පැමිණෙද්දී නැවත ස්ථානගත කරන ලද ්‍යඹෘෑක්‍ කාර්යාලය වෙත යාමට ද මට අවස්ථාව ලැබිණි. එහි කාර්ය මණ්ඩලය තාවකාලික ලැගුම් හලක තම කටයුතු ආරම්භ කරමින් සිටියහ. ඔවුන්ගේ කාර්යාලය වෙත අවසන් වතාවට තැපෑලෙන් ලිපියක් ලැබී තිබුණේ දින 20 කට පෙරය.
ගුවන් ප්‍රහාරවල බිය හේතුවෙන් වඩ්ඩක්කච්චි සහ ධර්මපුරම් ප්‍රදේශවල පාසල් වලට ළමුන් පැමිණෙන්නේ ඉතා සුළු වශයෙනි. ප්‍රදේශයේ ජනතාවට නිරන්තරයෙන් අවතැන් වීමට සිදුවන හෙයින් සහ ඒ නිසා ඇතිවන වෙනත් දුෂ්කරතා හේතුවෙන් කිසිඳු රැකියාවක් කරගන්නට අවකාශයක් ද නැත.

ග්‍රවුන්ඩ් වීව් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි