Colombo, end of the War, Featured Articles, Features

බෑං කීං මූන්ගේ වාර්තාව, ඊට එරෙහිවීම සහ අත්සන් දශලක්ෂය


ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට එරෙහිව අත්සන් ව්‍යාපාරයක් ඊයේ(21) කොළඹ කොටුවේදී පැවැත්වී ය. එහිදී ඔවුන් කියා සිටියේ බෑං කී මූන්ගේ කමිටු වාර්තාවට එරෙහිව අත්සන් දශලක්ෂයක් අද සිට ලබන මස පලමුවනදා දක්වා ලබා ගන්නා බවයි.

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ මඟ පෙන්වීම යටතේ අන්තර්පළාත් පෞද්ගලික බස් සංගමය සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම අත්සන් ව්‍යාපාරය සංවිධානය කර තිබිනි.

කෙසේ නමුත් මෙම අත්සන් ව්‍යාපාරය සිදුකරනු ලබන්නේ තවමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් ලංකා ආණ්ඩුවවත් නිළ වශයෙන් එළි දක්වා නැති වාර්තාවකට එරෙහිවය. පසුගිය දින කිහිපයේදී අයිලන්ඩ් පුවත් පතත් ඇතැම් බ්ලොග් අඩවිත් මෙම වාර්තාව පිළිබදව යම් උපුටන ඉදිරිපත් කරන ලදි. නමුත් මේවන විටත් එහි නිළ ප්‍රකාශයක් වගකිවයුතු ලෙස ඉදිරිපත් වී නැත. මෙම තත්ත්වයන් යටතේ එරෙහි වන්නේ කුමක් සදහාද, කුමකටද යන්න ගැටලුවක් ව පවතී. එය ඊයේ පැවති අත්සන් ව්‍යාපාරයේදී ද දක්නට ලැබුනු කරුණකි. එහිදී ඇතැම් ජනයා ‛‛මොකක් සඳහා ද මම අත්සන් කරන්නේ..මම මුකුත් දන්නේ නෑ’’ වැනි ප්‍රශ්ණද එම අත්සන් ව්‍යාපාරයේ සංවිධායකයින්ගෙන් අසන්නට වූ අත එහිදී සංවිධායකයන්ට පවා එයට පිලිතුරු දීමට නොහැකිව වල්මත් වූ ආකාරයක් දක්නට ලැබිනි.

මේ සම්බන්ධයෙන් එහි සංවිධායිකාවක් වූ රංගන ශිල්පීනි සුසිලා කෝට්ටෙගොඩ මහත්මියගෙන් අප විමසු අතර ඇයත් ප්‍රකාශ කළේ එම වාර්තාවටවත්, එහි අන්තර්ගතයට විරෝධයවත් නොවේ. ඇය ප්‍රකාශ කළේ යුද්ධය, එල්ටීටීඊය සහ සිංහල ජනයාගේ එඩිතරකම වැනි කරුණුය. අයත් මෙම කමිටුව සහ එහි තිබෙනවා යැයි කියනු ලබන කරුනු ගැන කිසිවක් නොකියයි. මේ ඇය ප්‍රකාශ කළ සංස්කරණය නොකල අදහස්ය.

‛‛මම කියන්ට කැමතියි කාන්තාවන්ට. මොකද එහෙම කියන්නේ මේ හැම දුකක්ම විඳ දරා ගත්තා කාන්තාවො. ඒ නිසා කාන්තාවන්ට කඳුල උරුමයි. මේ කොටි ත්‍රස්ථවාදියා කියන්න පටන් ගත්තා සිංහලයාට මතක පැය ගානටයි කියලා. අපි ඒවා නැති කරන්ට ඕන. සිංහලයාට පැය ගානෙන් කිසිම දෙයක් අමතක වෙන්නේ නෑ. මේක රාවය කරා. දේශපාලන මතිමතාන්තර මේක කියවන්න පටන් ගත්තා. නමුත් අද දවසේ අපි ආඩම්බර වෙන්න ඕන. මේ අතේ තියෙන පොතේ දශ ලක්ෂයක් අත්සන් ගත්තාහම අපිත් මේ කුරිරු යුද්ධය නිමා කරන්න දායක වෙච්ච පුරවැසියො හැටියට ආඩම්බර වෙන්න පුලුවන්. අපිට බය නැතුව කියන්න පුලුවන් ඒ නිසා අපි පළවෙනිදා වෙනකොට දශලක්ෂයක් නෙමේ විසි ලක්ෂයක් කරා හරි යන්න පුලුවන්. අපේ අතිගරු ජනාධිපතිතුමා අපිට පොළවේ පය ගහලා ඉන්න මේ මහ පොළව නිදහස් කරලා දුන්නු එකට කාන්තාවො වශයෙන් මිරිස් කරලයි, පොල් ගෙඩියයි ගැන කතා කරන්නේ නැතුව, බඩගින්න ගැන කතා කරන්නේ නැතුව, පොළවේ පය ගහලා එකට ලුනුවතුර ටික හරි බීලා ඉන්න පුවන් ශක්තියක් තියෙන්න ඕන. දැන් බෝම්බ සද්දයක් ඇහෙන්නේ නෑ. මේ අවුරුද්ද අතිම සාර්ථකයි. මොකද කිසිම බයක් සැකක් නැතුව රතිඤ්ඥා පත්තු කරගෙන අපේ දුක බෙදාගෙන, අපේ සන්තෝසෙ බෙදාගෙන කාපු අවුරුද්දක්. ඒ නිසා ත්‍රිිවිද හමුදාව කැප කරපු ඒ යුද්ධයට, අපිත් ඒ යුද්ධයට මේ පෑනෙන් මේ අත්සනින් අපිත් දායක වුනා කියලා අපිට බය නැතුව මේ මහපොලවේ මැරෙන්න නිදහස තියනවා කියලා අපි කියනවා.’’

සටහන සහ ඡායාරෑප
සම්පත් සමරකෝන්