Colombo, end of the War, Featured Articles, Features

සකල ශ්‍රී ලංකාවාසී (සිංහල බෞද්ධ) ජනතාවනි එක්වව්….


Photo Credit by – news.rediff.com
ඔන්න එකමත් එක කාලෙක ලස්සන චූටි රටක් තිබුණා. මේ රටට හැමෝම කිව්වෙ දකුණු ආසියාවේ මුතු ඇටේ කියලා. ඉතින් ලෝකෙ හැමෝම මේ මුතු ඇටේට වැඩේ දෙන්න බලා හිටිය හින්දා ඒ මුතු ඇටේ පාලනය කරපු අය රටේ ජනතාවට ඒ විදිහට වැඩේ දෙන්න ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න ඕනෙ ආකාරය කියලා දුන්නා. ඒ වගේම එහෙම වැඩේ දෙන්න හදන අයව හඳුනා ගන්න හැටි කියලා දුන්නා. ඉතින් ඔන්න එක දවසක්……….
ඒ ඔබ කියවමින් සිටියේ ‛කුමන්ත්‍රණකාරයෝ’ නැමැති සුරංගනා කතාවයි.

සතුරාගේ කරපිටින් යාම

පහුගිය කාලවකවානුව දෙස බලන විට ශ්‍රී ලංකාව විශාල සතුරන් ප්‍රමාණයකට මුහුණ දී ඇත. ප්‍රධාන සතුරා වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානයයි. ඒ සතුරා විනාශකිරීම නිසා රාජපක්ෂ ආණ්ඩුවට අතිවිශාල රාජපාක්ෂිකභාවයක් ලැබුණු අතර සතුරා විනාශ කර අද වන විට අවුරුදු 02 ක් ආසන්න වුවද ආණ්ඩුවට තවත් අවුරුදු කීපයක් දිවීමට තරම් පෙට්රල් සංචිතයක් උතුරේ යුධ ජයග්‍රහණය ඉතිරි කර ඇත. වර්තමානය වන විට ජනතාව අතිවිශාල ජීවන අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුනොවන බොහෝ දේ අද ලංකාව තුළ සිදුවේ. නමුත් ජනතාවට මේවා ප්‍රශ්න නොවේ. මන්ද සතුරා පරාජය කළ ඒ නිමේෂය ආණ්ඩුව විසින් මතක් කරන සෑම අවස්ථාවකදීම දිව්‍ය ලෝක සහනයක් ජනතාවට ලැබෙන බැවිනි. සතුරාගේ වටිනාකම මෙයයි. එබැවින් එල්.ටී.ටී.ඊ සංවිධානය ආණ්ඩුවට මිතුරෙකි.

මැජික්කාරයෝ

එල්.ටී.ටී.ඊ සංවිධානය මිය යාමෙන් පසු ආණ්ඩුවට සතුරා අහිමි විය. නමුත් ජීවන වියදම අහස උසට නැගීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීම්, උතුරු නැගෙනහිර කෙරෙන ඝාතන හා අතුරුදහන්වීම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය වීම් හා අතුරුදහන්වීම් නම් අවසන් නොවීය. ජනතාවට මේවා අමතක කළ යුතුය. මේ කාර්යය කිරීමට අවුරුදු ගණනාවක පරිචය ඇති මැජික්කාරයෝ කිහිපදෙනෙක් ආණ්ඩුවේ සිටිති. ඒ අයගේ කාර්යය නම් තමන්ගේ අතේ ඇති මැජික් පොල්ලෙන් සතුරෙක් නිර්මාණය කිරීමයි. එක් කාලයක් පාන් පිටි සතුරා විය. තවත් විටෙක එළවළු මුදලාලිලා සතුරා විය, මේ ආකාරයට බස්හිමියන්, වෛද්‍යවරු, ජනමාධ්‍යවේදීන්, ජ.වි.පෙ, එ.ජා.පෙ වශයෙන් මෙකී නොකී නොයෙක් දෙනා ලංකාවේ දියුණුවට අකුල් හෙලා ඇත.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ

මැජික්කාරයන්ගේ මැවීම් වලදී ඔවුන්ට අමතක නොවන පිරිසක් වෙයි. ඒ අය අපි ‛සුද්දෝ’ ලෙස හඳුන්වමු. මේ ‛සුද්දෝ‛ බොහෝ කාලයක සිට වෙර දැරුවේ මේ රට විනාශ කිරීමට බව මැජික්කාරයන්ගේ මතයයි. වර්තමානය වන විට මේ සුද්දා සුදු ජපන් ජාතිකයෙක් බවට වෙස්වලාගෙන කුමන්ත්‍රණයක් කරයි. අද පොඩි ළමයාද මේ සතුරා හඳුනාගෙන ඇත. ඒ බෑන් කීන් මූන්ය. අද ලංකාව මුහුණ දෙන සියළු ප්‍රශ්න වලට මුල මේ මූන්ය. එබැවින් මේ මූන්ට එරෙහිව අපි එකාමෙන් සිටිය යුතුබව ජනතාවට අවබෝධ කිරීමට මැජික්කාරයෝ තම මැජික් පොලු පොලේ ගසති. මේ මූන් නැමැති සතුරා ජනතාව දළදාවටත් වඩා ඉහළින් සලකන ‛මානුෂීය මෙහෙයුම’ යුධ අපරාධයක් බව කියයි. එබැවින් සියළු භේද අමතක කොට මේ පොදු සතුරා වෙනුවෙන් සටන් කිරීමට එන ලෙස අසරණ, අහිංසක, ශාන්ත, දුප්පත් ආණ්ඩුව ජනතාවට ආයාචනා කරයි.

සකල ශ්‍රී ලංකාවාසී (සිංහල බෞද්ධ) ජනතාවනි
පාන් පිටි ගණන් ගියාවේ
හදිසි නීති තිබුණාවේ
හොර ඡන්ද තිබුණාවේ
ජනමාධ්‍යවේදීන් ඉස්සුවාවේ
උතුරේ මොනව හරි වුණාවේ
මේවා අමතක කර
මැයි දිනයේදී බෑන් කීන් මූන්ට එරෙහිව එක්වව්….

චමිල ප්‍රියංක