සිංහල, Democracy, Human Rights, Kurunegala

ගොකරැල්ල පොලීසියෙ කැකිල්ලේ හැසිරීමක්

මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම පිළිබඳව පැමිණිල්ලක් දැමීමට ඔක්තෝබර් 25 වන දින උදේ ගොකරැල්ල පොලීසියට ගියද සවස 3.30 වන තෙක් තම පැමිණිල්ල සටහන් කර නොගත් බවත් දැනට මාසයක පමණ කාලයක් ගතවීත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවා සිදු නොකළ බවත් ඇය පැවසුවාය. තමන්ට අට මස් වියැති දරුවෙකු සිටින නිසා පැමිණිල්ල ලියාගන්නා මෙන් කළ ඉල්ලීමද පොලිසිය නෙසැලකූ බවත් තමන්ට පසුව පැමිණි අයගේ පැමිණිලි ලියා ගනිමින් ඔවුන් ඇයව නොසලකා සිටි බවත් ඇය පවසා සිටියාය. අවසානයේදී සවස තුනට පමණ පොලිස් කාන්තාවක් පැමිණ සිය පැමිණිල්ල ලියා ගැනීමට ඇයව පොලීසියේ අපරාධ අංශයට ගෙන ගිය විට තමාගෙන් කරුණු විමසූ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ‛‛ඊයේ රෑ මෙයාව මසාජ් කරන්න ඇවිල්ල එත් මෙයා ඒකට කැමතිවෙලා නැහැ මෙයාගෙ පැමිණිල්ල ලියාගන්න’’ යනුවෙන් පොලිස් කාන්තාවට කියමින් තමාට අපහස කළ බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
 කෙසේ වෙතත් විකල්ප මේ පිළිබඳව ගොකරැල්ල පොලීසියෙන් කරන ලද විමසීමකදී එහි අපරාධ අංශයේ ස්ථානාධිපති කුලසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ ‛‛තම පොලිස් ස්ථානය තුළ කිසිදු පරීක්ෂණයක් අත්හිටුවා නැතිබවත්, තමා පොලිසියෙන් පිටත සිටින නිසා නිෂ්චිතව යමක් කීමට නොහැකි බවත්ය. ස්ත්‍රී දූෂණ වැනි දෑ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම මැදිහත් වන නිසා එවැන්නක් සිදුවිය නොහැකි බවයි. කෙසේ වෙතත් මෙය දූෂණය කිරිමට තැත් කිරීමක් වැනි සුළු සිද්ධියක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.’’