Colombo, end of the War, Featured Articles, Features

යුද්ධය අවසන් වී දෙවසරයි – දේශපාලන විසඳුමක් සඳහා කථිකාවක්

යුද්ධය ජයග්‍රහණය කර දෙවර්ෂයක් සම්පූර්ණ වී තිබේ. රටේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ කඩිනම් අවශ්‍යතාවක් වන්නේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිවැරිදි ලෙස ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි. පළල් වශයෙන් නොවුණත් ඒ ගැන කිසියම් කතිකාවක් දැන් ගොඩනැඟෙමින් තිබේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාවේ යෙදවීම හෝ සහ එයට ඊට වැඩි යමක් (සෙනේට් සභාවක්) එකතු කිරීම මෙකී දේශපාලන විසඳුම හා සම්බන්ධ අද්‍යතන දේශපාලන කතිකාවේ ප්‍රස්තුතය වී තිබේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය (පළාත් සභා ක්‍රමය) සම්පූර්ණයෙන් ක්‍රියාවේ යෙදවීම සඳහා කිසිදු නෛතික බාධාවක් නැත. එය දැනටමත් ක්‍රියාත්මක ව්‍යවස්ථාපිත ක්‍රමයකි. පැවති යුදමය වාතාවරණය සහ එල්ටීටීඊ සන්නද්ධ ව්‍යාපාරයේ බලපෑම හේතු කොට ගෙන, එදවස එය සම්පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. පළාත් සභා ක්‍රමය අසාර්ථක වීමට මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපෑවේය. එහෙත් යුද්ධය අවසන් කර ඇති අද දවසේ පළාත් සභා ක්‍රමය සම්පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. එය පූර්ණ ලෙස බලාත්මක කිරීම රට දෙකඩ කිරීම සඳහා හේතු වන්නක් හෝ ෆෙඩරල් ක්‍රමයට රට හරවන්නක් හෝ නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ඒ බව සනාථ කොට ඇත.

ප්‍රශ්නය එය නොවේ; ප්‍රශ්නය වන්නේ පළාත් සභා ක්‍රමය සමඟ එයට වැඩි යමක් එකතු කිරීමේ අරමුණින් ගෙන එන බවට කතිකා කැරෙන සෙනේට් සභාව පිළිබඳ යෝජනාවයි. දේශපාලන එක්සත්භාවය ඇති කිරීමේ සහ පරිදියේ සිටින ජන කොටස් සමඟ බලය බෙදා හදා ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස සෙනේට් සභාවක් පිහිටුවීමට අරමුණු කරයි. මෙය ඉතා යහපත් යෝජනාවකි. එහෙත් යෝජනාව යහපත් වූ පමණින් ප්‍රතිඵලය යහපත් වේ යැයි එක එල්ලේම කිව නොහැකිය. ප්‍රතිඵලය යහපත් වීමට නම් යෝජනාව එහි පරිසමාප්ත අර්ථයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාවට නැඟිය යුතුය. පටු දේශපාලන අරමුණුවලින් වියුක්තව, පළල් ජනතාවාදී ප්‍රවේශයක් තුළ මේ සද් කාර්යය ඉෂ්ට සිද්ධ විය යුතුය. මෙම ලිපියෙන් ඉදිරිපත් කැරෙන්නේ ඒ හා සම්බන්ධ කෙටි විග්‍රහයකි.

ශ්‍රී ලංකා රජය ප්‍රකාශ ආකාරයට සෙනේට් සභා යෝජනාව ගෙන එන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. ජාතික ප්‍රශ්නයට තිරසාර දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටු වාර්තාව මඟින් ද මීට පෙර සෙනේට් සභාවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එම වාර්තාව පෙන්වා දෙන ආකාරයට සෙනේට් සභාවක් පිහිටුවීමේ අරමුණු කිහිපයකි.

– ජාතික ව්‍යවස්ථාදායකය තුළ පළාත් සභාවල භූමිකාව ශක්තිමත් කිරීම
– සඵලදායක බලය බෙදාහැරීමේ ක්‍රමවේදයක් හැටියට බොහෝ රටවල් දෙවන මණ්ඩල ක්‍රමය හඳුනාගෙන තිබීම
– එක්සත්භාවය ආරක්ෂා කර ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස භාවිතයට නැඟීම
– මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ ඇතිවිය හැකි අසමතුලිතතා තුලනය කිරීම

සර්ව පාක්ෂික නියෝජිත කමිටු වාර්තාවට අනුව යෝජිත සෙනේට් සභාව සාමාජිකයන් 75 දෙනකුගෙන් සමන්විත වේ. එයින් 63 දෙනෙක් දිවයිනේ පළාත් නවය නියෝජනය වන පරිදි එක් පළාතකින් සභිකයන් 07 දෙනකු බැගින් තෝරා පත් කර ගැනේ. ඒ සඳහා තනි මාරුකළ හැකි ඡන්ද ක්‍රමය යොදා ගැනේ. අතිරේක වශයෙන් තවත් සභිකයන් 10 දෙනකු ප්‍රජා කවුන්සිල මඟින් තෝරා පත් කර එවනු ලබයි. එයින් එක් සභිකයකු මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීම සඳහාත්, අනෙක් සභිකයන් නවදෙනා දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහාත් වෙන් කෙරේ. ව්‍යවස්ථාදායකය තුළ ප්‍රමාණවත් නියෝජනයක් නොලබන සමාජ කණ්ඩායම් වෙනුවෙන් තවත් සභිකයන් දෙදෙනකු ජනරජයේ ජනාධිපතිවරයා විසින් තෝරා පත් කර එවනු ලබයි.

කෙසේ නමුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටු යෝජනා ගැන සමාජයේ වැඩි අවධානයක් යොමු වූයේ නැත. අවස්ථා ගණනාවක දී අතුරු වාර්තා කිහිපයක් නිකුත් කළ ද අවසන් වාර්තාවක් පවා නිකුත් කිරීමට කමිටුවට නොහැකි විය. අද වන විට එහි ක්‍රියාකාරීත්වය ඇණහිට තිබෙන අතර ඒ ගැන කිසිවෙක් ප්‍රශ්න කරන්නේ ද නැත. ඒ ගැන සමාජයේ බලාපොරොත්තුවක් ද නැත.

නැවත වරක් සෙනේට් සභාවක් පිහිටුවිය යුතු බවට රජය විසින් යෝජනා කරන්නේ මෙම පසුබිම තුළයි. රජයේ එම යෝජනාව පසුගියදා දෙමළ ජාතික සන්ධානය වෙත ඉදිරිපත් කරනු ලැබීය. (එය සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ යෝජනාවම ද යන්න පැහැදිලි නැත) එහි දී දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ තම පක්ෂය විසින් රජය වෙත ඉදිරිපත් කොට ඇති බලය බෙදීමේ යෝජනා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු යෝජිත සෙනේට් සභාව ගැන සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි. මෙම සාකච්ඡා කෙසේ සිදු වේ ද, ඒවා කොතෙක් දුරට සාර්ථක වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

අප මෙහි දී අවධානය යොමු කරන්නේ රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඉදිරියේ දී සිදු විය හැකි සාකච්ඡා ගැන නොවේ. යෝජිත සෙනේට් සභාව පිහිටුවීමේ දී සුවිශේෂ වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි. එම කරුණු කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.

සෙනේට් සභාවක් පිහිටුවීමේ නියත අරමුණු මොනවා ද?
එම අරමුණු සඵල කර ගැනීම සඳහා සෙනේට් සභාව කෙසේ සංවිධානය කළ යුතු ද?

ලංකා සමාජය තුළ සෙනේට් සභාවක් පිහිටුවිය යුතු බවට වන කතිකාව පැන නඟින්නේ අරමුණු කිහිපයක් පදනම් කරගෙනයි.
ජාතික එක්සත්භාවය ආරක්ෂා කරගැනීමේ යාන්ත්‍රණයක් ලෙස,

බලය බෙදා හදා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස,

ජාතික සුළුතරයන්ගේ හා කොන් වූ සමාජ කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් ලෙස,
මෙම අභිලාස නියමාකාරයෙන් සඵල කර ගැනීමට නම් සෙනේට් සභාව සංවිධානය කිරීමේ දී තියුණු ලෙස අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් වේ. සෙනේට් සභාවේ සංයුතිය, ඒ සඳහා සභිකයන් තෝරා පත්කර ගන්නා ආකාරය සහ බලතල හා කාර්යයන් ඒ අතුරින් තීරණාත්මක වේ.

සෙනේට් සභාව පිහිටුවීමේ දී එහි සංයුතිය ඉතා වැදගත් වේ. ජාතික සුළුතරයන් හා කොන් වූ සමාජ කොටස් ප්‍රමාණවත් ලෙස ඇතුළත් කර ගැනීම, උසස් වෘත්තිකයන්ට සහ බුද්ධිමතුන්ට ප්‍රමාණවත් නියෝජනයක් ලබාදීම, නොසලකා හැර ඇති හෝ රාජ්‍ය සේවා සැපයීමේ දී වැඩි අවධානයක් යොමු වී නැති ප්‍රදේශ නියෝජනය කිරීම සහ විශාල-කුඩා හෝ ග්‍රාමීය-නාගරික ප්‍රදේශ අතර පවත්නා විෂමතා සමනය කිරීම (සමහරණය) වැනි සාධක ගැන මෙහි දී ප්‍රමාණාත්මක අවධානයක් යොමු කළ යුතුය. සෙනේට් සභාවේ සංයුතිය සකස් විය යුත්තේ මේ සියලු ස්ථරයන් නියෝජනය වන ආකාරයටයි. මෙමඟින් රාජ්‍ය බලයේ තමන් සතු කොටස අභිවර්ධනය කර ගැනීමට සියලු ප්‍රජාවන්ට, සියලු සමාජ කොටස්වලට හැකියාවක් ලැබෙන අතර ඒ සඳහා මහඟු අවස්ථාවක් ද උදාවෙයි.

සභිකයන් තෝරා පත් කරගන්නා ආකාරය සහ ඒ සඳහා අනුගමනය කරන නියෝජන සිද්ධාන්ත මොනවා ද යන්න සෙනේට් සභාවක් පිහිටුවීමේ දී අවධානය යොමු කළ යුතු දෙවන ක්‍ෂේත්‍රයයි. මේ සඳහා ලෝකයේ පිළිගත් නිශ්චිත එක් ක්‍රමවේදයක් නැත. ඇමෙරිකාව වැනි රටවල් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සේ ම සෙනේට් මන්ත්‍රී මණ්ඩලය ද ඍජු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනී. බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය මුළු ජීවිත කාලය සඳහා නාමකරණයෙන් සහ පාරම්පරිකව තෝරා පත් කර ගැනේ. ඉන්දියාව වැනි රටවල් නම් කිරීමෙන් සභිකයන් තෝරා පත් කර ගනී. ඇතැම් රටවල් මෙවැනි එක් ක්‍රමවේදයක් නොව ක්‍රමවේද කිහිපයක් භාවිතයට ගන්නා අවස්ථා ද වේ. මෙහි දී වඩාත් වැදගත් වන්නේ සෙනේට් සභාවෙන් අපේක්ෂිත අරමුණ සඵල කර ගැනීමට හැකිවන ආකාරයේ අවේනික නියෝජන සිද්ධාන්තයක් අනුගමනය කිරීමයි. සෙනේට් සභාව පරාජිත දේශපාලනඥයන්ට ලැගුම් දෙන ස්ථානයක් නොවිය යුතුය. කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක හෝ පුද්ගලයකුගේ හෝ අත්උදව්කරුන්ගෙන් සැදුම්ලද්දක් නොවිය යුතුය. නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වන විධිවිධාන තීරණය කිරීමේ දී මෙවැනි දෑ ගැන සැලකිලිමත් විය යුතු අතර එවැනි දෑ සිදු වීමට ඇති සියලු ඉඩකඩ අහුරාලිය යුතුය.

සෙනේට් සභාව පිහිටුවීමේ දී අවධානය යොමු කළ යුතු අනෙක් කාරණය වන්නේ එයට ලබාදෙන බලතල මොනවා ද යන්නයි. විශේෂයෙන් මන්ත්‍රණ සභා දෙක අතර අර්බුද ඇති නොවන ආකාරයටත්, කිසියම් මන්ත්‍රණ සභාවක් බෙලහීන තත්ත්වයට ඇද නොවැටෙන ආකාරයටත් බලතල බෙදා හැරීම සිදු විය යුතුය. බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය මෙන් බල රහිත සම්ප්‍රදායික ආයතනයක් ලෙස සෙනේට් සභාව නිර්මාණය කිරීමෙන් ඵලක් නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනේට් සභාව මෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉක්මවා ගිය බලතල ලබා දුන හොත් එය තවත් අර්බුද ගණනාවකට හේතු විය හැකිය. ස්විට්සර්ලන්තයේ මෙන් මන්ත්‍රණ සභා දෙකට එක සමාන බලතල ලබාදීම එක්තරා ආකාරයකින් යහපත් තත්ත්වයකි. එරට විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද අසහාය තත්ත්වයක් දරයි. ව්‍යවස්ථාදායකය තුළ මන්ත්‍රණ සභා එක සමාන බලතල භුක්ති විඳියි. මන්ත්‍රණ සභා දෙක අතර ගැටුම් ඇති නොවන ආකාරයට සහ ගැටුම් ඇති වන අවස්ථාවක දී ඒවා මනා ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වන ආකාරයේ විධිවිධාන ඇතුළත්ව සෙනේට් සභාවක් පිහිටුවීම අපේක්ෂිත අරමුණු සඵල ගැනීමට හේතු වෙයි. මෙයට වෙනස්ව තවත් ආකාරයක් ගැන සර්ව පාක්ෂික සම්මේලනයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවල ඇතුළත් කොට තිබේ. එම කණ්ඩායම පෙන්වා දෙන්නේ යම් නිශ්චිත ගණයකට අයත්වන ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල පමණක් සෙනේට් සභාව වෙත පැවරිය යුතු බවයි. සෙනේට් සභාව සතු විශේෂඥතා දැනුමට අදාළ වන ව්‍යවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි වන අයුරින් සභාවේ කාර්ය පථය සීමා කළ යුතු බව එම කමිටුවේ අදහසයි.

ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමෙන් සෙනේට් සභාවට ලබාදිය යුතු බලතල මොනවා ද යන්න ගැන දළ අදහසක් ඇති කර ගත හැකිය. ඒ අනුව.

– යම් විශේෂිත ගණයකට අයත් බලතල පමණක් හිමිකර දීම
– මන්ත්‍රණ සභා දෙක අතර සමාන බලතල බෙදාහැරීමක් සිදු කිරීම (එසේ වන විට දී මන්ත්‍රණ සභා දෙක අතර ගැටුම් ඇති නොවන ආකාරයට සහ යම් ආකාරයකින් ගැටුමක් ඇති වුවහොත් එය මනා ලෙස කළමනාකරණය ගැනීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කිරීම)
– මන්ත්‍රණ සභා දෙකට හිමි බලතල වෙන් වෙන්ව දක්වා තෝරා ගත් සුවිශේෂ ව්‍යවස්ථා සම්බන්ධයෙන් මන්ත්‍රණ සභා දෙකට හවුලේ භුක්ති විඳිය හැකි බලතල දක්වාලීම (හවුලේ භුක්ති විඳාින බලතල මන්ත්‍රණ සභා දෙකට සමාන ලෙස බෙදාහැරීම)

ආදී වශයෙන් එකී කාරණා සැලකිල්ලට ගෙන සෙනේට් සභාවට ලබාදිය යුතු බලතල මොනවා ද යන්න ගැන එකඟතාවකට පැමිණිය හැකිය.
කෙසේ නමුත් යෝජිත සෙනේට් සභාවේ ස්වරූපය හෝ එහි සංයුතිය හෝ ඒ කිසිවක් ගැන නිශ්චිතව මතයක් ප්‍රකාශ කිරීමට තවම හැකියාක් නැත. මන්ද, ඒ ගැන පැහැදිලි යෝජනාවලියක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති බැවිනි. ඉහත ඉදිරිපත් කරන ලද්දේ එවැනි යෝජනාවලියක් සකස් කිරීමේ දී අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්‍ෂේත්‍ර කිහිපයක් ගැන කෙටි විග්‍රහයක් පමණි. මෙහි දී ලොක් සහ රූසෝ සමාජ සම්මුති න්‍යාය තුළ ඉදිරිපත් කරන ලද අදහසකින් මෙම සටහන සමාප්ත කිරීමට කැමැත්තෙමි. ලොක් ප්‍රකාශ කරන්නේ රජුගේ බලතල සීමා කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළ යුතු බවත්ය. ඔහු අවධාරණය කරන්නේ බහුතරය මඟින් පාලනය කිරීම සහ පාර්ලිමේන්තු ස්වාධිපතිත්වය පිළිබඳ සංකල්පයයි. රූසෝ ප්‍රකාශ කරන්නේ සමාජ සංවිධානයේ සාමාජිකයකු වශයෙන් සෑම පුද්ගලයකුම ස්වාධිපති බලයේ කොටස්කරුවකු වන බවත්, වැසියකු වශයෙන් ඔහු එහි බලයට යටත් වන බවත්ය. ඔහුට අනුව සෑම පුද්ගලයකුම පාලනයේ කොටස්කරුවකු බවට පත් වේ. ලොක්ගේ සහ රූසෝගේ මෙම අදහස් ද පදනමක් කර ගෙන අදාළ යෝජනා සකස් කැරෙන්නේ නම් අපේක්ෂිත අරමුණු කරා ළඟවීම කිසිසේත් අපහසු කාර්යයක් නොවනු ඇත. සෙනේට් සභාව සාර්ථක විසඳුමක් වන්නේ එය සංවිධානය කරන ආකාරය, එහි සංයුතිය සහ එයට ලබාදෙන බලතල අනුවයි.

සමන්ත සංජීව