Colombo, end of the War, Featured Articles, Features

‛‛ආණ්ඩුවට ජාතික සමගිය හදන්න අවම හෝ උවමනාවක් තියෙනව නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමයි’’

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් තවම නිදහස් නොකිරීම, ඔවුන්ගේ අනන්‍යතාය හෙලි නොකිරීම සහ ඔවුන්ට බන්ධනාගාරය තුළ සිදුවන විවිධ ආකාරයේ ගැටළු තත්වයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය (13) මරදාන සී.එස්.ආර් ශාලාවේදී පැවැත්විණ. ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ අතර එහිදී එම සංවිධානයේ විධායක කමිටු සාමාජික උදුල් ප්‍රේමරත්න මෙලෙස අදහස් දැක්වීය.

“ආණ්ඩුවේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා, දැනට එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවේ ඉන්නෙ 700 ට අඩු ගාණක් කියලා කිව්වා. ආණ්ඩුවම පසුගිය දවස්වල කරපු ප්‍රකාශ වලට අනුව ගත්තත් අත්අඩංගුවේ සිටිය යුතු එල්.ටී.ටී.ඊ දේශපාලන සිරකරුවන් ගණන කිසිසේත්ම 700 වැනි ගණනක් විය නොහැකියි. ආණ්ඩුව මේ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තියෙන නොසැලකිල්ල නිසාම කරපු ප්‍රකාශයක් විය හැකියි. මේ සිරකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ අවස්ථාවලදි කියන විකාරරූපී ප්‍රකාශ, එක එක ගණන්, මිනිස්සුන්ගෙ ජීවිත හා සම්බන්ධ කාරණා මිස අංක ගණිතය සම්බන්ධ කාරණා නෙමෙයි. ඩීව්. ගුණසේකර අමාත්‍යවරයා පවසන්නේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් 12000 ක් පමණ අවසානයේදී අත් අඩංගුවට ගත් බව ප්‍රකාශ කරනවා, ඉන් 3000 ක් පමණ ඉක්මණින්ම නිදහස් කළා, ඉතිරි 8000 ක පමණ ප්‍රමාණය තමන්ගෙ භාරයට ගත්තා කියලා 2010 හයවෙනි මාසයෙදි ප්‍රකාශයක් කළා. මේ 8000 අතරෙ ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා කියලා ඔහු කියනවා. එක කණ්ඩායමක් තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මධ්‍යම ක්‍රියාකාරිකයින්. මේ අය 1300 ක් පමණ ඉන්නවා. ඔවුන් පිළිබඳ පරීක්ෂණ මේ වන විට කරගෙන යනවා කියලා කිව්වා. දෙවෙනි කණ්ඩායම තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරපු සමහර විට බලහත්කාරයෙන් බඳවගත්ත පිරිස. මේ වන විට ඔවුන්ව පුනරුත්තාපනය කරනවා, ඔවුන් පිළිබඳව පරීක්ෂණ කටයුතු කරනවා කියලා කිව්වා. තවත් පිරිසක් ඉන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයට දුරින් සම්බන්ධ වුණු විවිධ ආකාරයේ කටයුතු කරපු පිරිස. මේ තුන් ආකාරයේ 8000 ක පිරිසක් පිළිබඳව ආණ්ඩුව මීට වසරකට පෙර කිව්වා. පසුගිය වසර තුළ රැඳවුම් කඳවුරු වල සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 100,200,300 වගේ ප්‍රමාණයන් විටින් විට නිදහස් කරන්න කටයුතු කළා. ඒ සංඛ්‍යාවන් හරි අපැහැදිලියි. නමුත් අපි අහන ප්‍රශ්නෙ තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මධ්‍යම ක්‍රියාකාරකයින්ම 1300 ක් හිටියා නම් දැන් ඉන්නෙ 700 ක් කියලා කියන්නෙ කොහොමද? ආණ්ඩුව මීට වසරකට පෙර විශාල ප්‍රමාණයක් අත්අඩංගුවෙ ඉන්නවා කියලා, දැන් අපි ගාව ඉන්නෙ පොඩ්ඩයි කියනකොට ආණ්ඩුව තේරුම්ගන්න ඕනෙ අත්අඩංගුවට ගත්ත කට්ටියට මොකද වුණේ කියන එක සරලවම අහන්න පුළුවන් කියලා. අත්අඩංගුවේ සිටින අයගෙ නාමලේඛනයක් තියෙන්න ඕනෙ. අපි කියන්නෙ සිරකරුවන්ගෙ නම හෙලිනොකර, අනන්‍යතාවය හෙලිනොකර තබාගෙන සිටීම මුළුමණින්ම වැරදියි. ඒ නිසා කළ යුතුවෙන්නෙ සියළුම අත්අඩංගුවේ සිටින අයගෙ නාම ලේඛනයක් හෙලිදරව් කිරීමයි. ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීමයි. නමුත් තවමත් නිල වශයෙන් ආණ්ඩුව තමන්ගෙ අත්අඩංගුවේ පසුවන අයගේ නාම ලේඛනයක් එලි දක්වා නැහැ.”

“මෙම සිරකරුවන්ට බන්ධනාගාර තුළ පැති කිහිපයකින් බරපතළ ගැටළු වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. එක පැත්තකින් ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන සිරකරුවන් නිසා බන්ධනාගාරය තුළ ඔවුන්ට තියෙන්නෙ අඩු සැලකිල්ලක්. සාමාන්‍ය පිළිගත් නීතිය තමයි දේශපාලන සිරකරුවො නම් ඔවුන් බන්ධනාගාරය තුළ වෙන්කොට තැබිය යුතුයි. දේශපාලන සිරකරුවන් කියන්නෙ යම් දේශපාලන මතයක් දැරීම නිසා සිරගත කළ පිරිස. ඔවුන්ගේ දේශපාලන මතයට විරුද්ධ පිරිස් බන්ධනාගාරය තුළ ඉන්න පුළුවන්. එම නිසා ඔවුන්ගේ ජීවිත වලට හානි වෙන්නට පුළුවන්. නමුත් ලංකාවේ කිසිසේත් එහෙම නෑ. මැගසින් බන්ධනාගාරයේ ‛ජේ’ සහ ‛එච්’ කොටස් වල මේ සිරකරුවන් රඳවලා තියෙන්නෙ අනික් සිරකරුවන් එක්කමයි.”

“2009 නොවැම්බර් 13 වෙනිදා සවස 6.30 ට පමණ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ හිටපු දෙමළ සිරකරුවන් සමග ගැටළුවක් ඇති වුණා. මේ ගැටළුව ආණ්ඩුවේ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කළේ බන්ධනාගාර සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් විදිහට. නමුත් මෙය මුළුමණින්ම වැරදියි. එතන දි මූලික ගැටුම ඇති වුණේ බන්ධනාගාරයේ සිටින නිළධාරීන් සමග. බන්ධනාගාරයේ සිටිය ඒ නිළධාරියාට දෙමළ තේරෙන්නෙ නෑ. දෙමළ තේරෙන්නෙ නැති නිළධාරියෙක් කියපු දෙයක් සිංහල තේරෙන්නෙ නැති දෙමළ සිරකරුවෙක්ට යම් පැටලීමක් සිද්ධ වුණා. එම සිරකරුවාට බැණ වැදීමට සහ පහර දීමට අර නිළධාරියා උත්සාහ කළා. ඒ වෙලාවෙ ප්‍රශ්නෙ බේරන්න තවත් සිංහල සහ දෙමළ දන්න සිරකරුවන් පස්දෙනෙක් එතෙනට ආවා. එතනදි බන්ධනාගාර නිළධාරියා ඒ අයට පහර දෙන්න ගත්තා. ඒවගේම ‛සී’ සහ ‛ඩී’ වාට්ටු වල හිටපු අනෙකුත් සිරකරුවො සහ නිළධාරීන් අර දෙමළ සිරකරුවන්ට පහර දෙන්න ගත්තා. ‛ජේ’ වාට්ටුවේ හිටපු සිරකරුවන් 73 ගෙන් 05 දෙනෙක්ට අනෙක් සිරකරුවන් විසින් නිරුවත් කොට පහර දීමට ඉඩ දී බන්ධනාගාර නිළධාරින් බලා හිටියා. ඊට අමතරව මේ බන්ධනාගාර නිළධාරීන් විසින් දෙමළ සිරකරුවන් හිටපු වාට්ටුව ඇතුළට ගිහිල්ලා ඒ සිරකරුවන්ගෙ බඩුබාහිරාදිය පොඩි කරලා මේක සිරකරුවන් අතර ගැටුමක් බව මාධ්‍යට කිව්වා. ඉන් අනතුරුනව මේ ප්‍රශ්නෙ යට ගැහුවා. ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් තිබ්බෙ නැහැ.”

“2010 මාර්තු මාසයේ 18 වෙනිදා විශේෂ සිදු වීමක් වුණා. මැගසින් බන්ධනාගාරයේ හිටපු රාමයියා රවීන්ද්‍රන් තරුණයා සහ නුවරඑළියෙ, රවීන්ද්‍රන් රංජනී නැමැති ඔහුගේ පෙම්වතිය බන්ධනාගාරය තුළදි විවාහ කර දුන්නා. මේ සිදුවීමෙන් ආණ්ඩුව උත්සාහ කළේ අපි දෙමළ සිරකරුවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා කියලා පෙන්වන්නයි. නමුත් එදා ඔවුන් බන්දලා දුන්නට පස්සෙ රංජනී ගියා නුවරඑළියට. රවීන්ද්‍රන් ගියා බන්ධනාගාරයට. දැන් අවුරුදු එකහමාරක් වෙනවා, තවම රවීන්ද්‍රන් නිදහස් කරලා නැහැ. එහෙනම් මොකටද විවාහ කරලා දුන්නෙ? විවාහ වීමෙන් සිද්ධ වුණෙ ඔවුන්ට තවත් බරක් පටවපු එක විතරයි. ආණුඩුව මේ විවාහයේ පොටෝ ටික ගත්තා. ඒ සිදුවීම පත්තර වල මුල් පිටුවෙ ගියා. බොරු මාධ්‍ය සංදර්ශන වලින් මේ ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

“මෙම බන්ධනාගාර වල තවත් විශාල පිරිසක් ඉන්නවා භාෂා ප්‍රශ්නය නිසා අධිකරණයේ දී සිද්ධ වුණ පොඩි පොඩි අඩුපාඩුකම් නිසා විශාල කාලයක් බන්ධනාගාරවල සිටින්නට සිදුවෙච්ච අය. එක උදාහරණයක් ලෙස මැගසින් බන්ධනාගාරයේ ඉන්න සෙල්ලපිල්ලෙයි මහෙන්ද්‍රන්. ගෙවල් මඩකලපුවෙ. ඔහු අත්අඩංගුවට පත් වුණේ 1993 දි. එතකොට ඔහුට වයස අවුරුදු 15 යි. ඔහුට එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ද වීම සම්බන්ධව නඩු දෙකක් තිබුණා. ඔහුට ඒ වන විට ඒ පිළිබඳ තේරුමක් තිබ්බෙ නැහැ. එයා පොඩි ළමයෙක්. ඒ නිසා ඔහු බන්ධනාගාරයට යනවා,එනවා, නඩු කියනවා,ඒ පිළිබඳ මොකුත් අදහසක් නැහැ. නමුත් ඔහුගේ එක නඩුවක් සඳහා අවුරුදු 10 ක සිර දඬුවමක් හිමි වෙනවා. මේ සිරදඬුවම නිම කරලා 2005 දි ඔහු බන්ධනාගාරයෙන් පිටව යන්න එනවා. අවුරුදු 25 ක් විතර වයසැති මේ තරුණයා බන්ධනාගාරයෙන් පිටව යන්න ගේට්ටුව අසලට එනවා. නමුත් එහිදී ලියකියවිලි පරීක්ෂාකරන කොට තමයි ඔහුගේ අනිත් නඩුවට ඔහුට මරණ දඬුවම නියම කරලා තියෙන බව දැනගන්නෙ. අවුරුදු 10ක සිර දඬුවමකින් පස්සෙ අවුරුදු 25ක තරුණයෙක් පිටවෙලා යන්න ආවහම තමන්ට මරණ දඬුවම හිමිවෙලා තියෙන බව දැනගත්තම ඇතිවන මානසික පීඩනය කොපමණද? ඔහුට දැන් සිහිවිකල් වෙලා වගේ ඉන්නෙ. දැන් ඔහුට වයස අවුරුදු 33ක්. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ භාෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නෙ. නීතිඥයන් නොමැති වීමේ ප්‍රශ්නෙ. එල්.ටී.ටී.ඊ සැකකරුවන් වුණාට පස්සෙ ඔවුන්ට තියෙන අඩු සැලකිල්ල පිළිබඳ ප්‍රශ්නෙ. මහේන්ද්‍රන්ට තමන්ගේ මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් කරන්න තියෙන කාලයත් දැන් අවුරුදු 10 න් පැනලා. මේ නීතිය මෙහෙම තිබ්බොත් කිසි දවසක ඔහු නිදහස් වෙන එකක් නැහැ.”

“ආණ්ඩුවට ජාතික සමගිය හදන්න අවම හෝ උවමනාවක් තියෙනව නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම. ඒ වගේම දෙමළ සිරකරුවන්ට ලබා දිය යුතු අයිතිවාසිකම් ආණ්ඩුව වහාම ලබා දිය යුතු වෙනවා. ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව බැලීමට පැමිණෙන විට ඊට අදාල පහසුකම් ලබා දීම. වෙනම රැඳී සිටීමේ අයිතිවාසිකම ලබා දීම. විශේෂයෙන්ම මෙම තරුණයන් සිරගත වුණේ හොරකන් කරන්න ගිහිල්ලා නෙමෙයි, ස්ත්‍රී දූෂණ කරලා නෙමෙයි. ඔවුන්ට විසඳගන්න දේශපාලන ප්‍රශ්නයක් තිබ්බා. අපේ රටේ පාලනයේ තිබ්බ වැරැද්ද නිසා තමයි එල්.ටී.ටී.ඊ සංවිධානය බිහි වුණේ. ආණ්ඩුව හිතනව නම් යුද්ධෙ ඉවර කරාට පස්සෙ ඔක්කොම හරි කියලා ඒක වැරදියි. ඔවුන්ගේ ප්‍රශ්න වලට අදාලව ආණ්ඩුව දේශපාලන ප්‍රවේශයක් අනුගමනය කළ යුතුයි. මහින්ද මහත්තයගෙ මැදමුලන චණ්ඩි පාට් වලින් ද්‍රවිඩ තරුණයන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි කියනවා. යුද්ධමය තත්වය දැන් වෙනස් වී තිබෙනවා. එවැනි තත්වයක් තුළ තවදුරටත් ද්‍රවිඩ ජනතාව පීඩාවට පත්කරන ඔවුන්ගේ දරුවන් බන්ධනාගාර තුළ සිර කර තබන වහාම නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”