Colombo, Featured Articles, Features

බල්ලෙක්ට කොල්ලෙක් ගලකින් ගැසුවේය.


තමන්ගේ සේවක සහෝදරයාගේ මරණයෙන් කම්පාවට පත් වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් කටුනායක ගුවන් තොටුපළ හන්දියෙ සිට සීදූව පොලීසිය දෙසට පැමිණියේ පොලීසියට නොයකුත් ආකාරයට ශාපකරමින් විරෝධතාවය දක්වමිනි. ‛පොලිස් බල්ලො අපට එපා’ යනුවෙන් කෑගසමින් පොලිස් නිළධාරියෙක් පාරේ සිටිනවාදැයි සොයමින් මේ පිරිස පාරේ ගමන් කළේ පසුගිය ජූනි 02වනදා ය.

එක්වරක් ඔවුන් මෝටර් රථයක ගමන් කළ පොලිස් නිළධාරියෙක් දැක ඔහුට පහර දීමට ඔහු පසු පස ගල්මුල් රැගෙන පන්නා ගියද, එක්වරම මෝටර් රථය නතර කළ අතර බන්ධනාගාර නිළධාරියෙක් රථයෙන් බැස ‛මම පොලීසියෙන් නෙමෙයි’ යැයි පැවසීය. විරෝධතාකරුවන් තම අතට ගත් ගල් මුල් පසෙකට දැමීය. ඒ වන විට සමස්ත සීදූව, කටුනායක ප්‍රදේශයම පොලිස් මුක්ත කලාපයක් වී තිබීම නිසාවෙන් ඔවුන්ගේ කෝපය පිට කර හැරීමට කිසිදු පොළිස් නිළධාරියෙක් බේතකටවත් සොයා ගැනීමට නොහැකි විය. විරෝධතා රැළිය සීදුව පොලීසියට ලඟා විය. ‛කෝ පොලීසිය, එලියට වරෙව්’ කියමින් පිරිස සීදූව පොලීසිය ඉදිරිපිට කෑ ගැසීය. නමුත් පොලීසිය පේන්නට නොසිටියේය. සිටියේ තුවක්කු මානාගත් හමුදා භට පිරිසක් පමණි. ඔවුන් පොලීසිය නොවූ නිසා විරෝධතාකරුවන්ගෙන් හමුදාවට කිසිදු විරෝධයක් පැමිණියේ නැත. පිරිස පොලීසියට දැක් වූ කෝපය හමුදාවට නොදැක්වූ අතර හමුදාව ඉදිරියේ පොලීසියට බැණ විසිර ගියහ. “පොලීසියෙ වැඩවලට හමුදාවේ කට්ටිය මොනව කරන්නද?” විරෝධතාවයේ කෑගැසීම් අතරින් ඇසෙන්නට විය.

පොලීසියවම පමණක් හොයපු මිතුරු මිතුරියනි,

විරෝධතා පෙළපාලියේදී පොලිස් නිළධාරියෙක් යැයි සිතා ඔබලා එලවා ගිය බන්ධනාගාර නිළධාරියා ඇත්තටම රොෂේන්ට වෙඩි තැබූ පොලිස් භටයා විය හැකිය. ඔහු පොලිස් ඇඳුම වෙනුවට බන්ධනාගාර ඇඳුමක් ඇඳ රොෂේන්ට කළ දේ ඔබට කිරීමට ඔබ බන්ධනාගාරයට එනතෙක් බලා සිටිනවා විය හැකිය. පොලීසිය අසල දී ඔබ කේන්තියෙන් නොබැලූ නමුත් ඔබ දෙසටම තුවක්කුව මානාගෙන සිටි හමුදා භටයා රොෂේන්ට වෙඩි තැබූ පොලිස් භටයා විය හැකිය. ඔහු ලේ තැවරුණ පොලිස් ඇඳුමට උඩින් හමුදා ඇඳුමක් ඇඳ රොෂේන්ට කළ දේ ඔබට කිරීමට ඔබ පොලීසිය තුළට කඩා වදින තුරු බලා සිටියා විය හැකිය. මළගෙදර කිසිම දේශපාලන කතාවක් කීම තහනම් යැයි නියෝග කළේ, විනිසුරු ඇඳුමින් සැරසුණු ඔබ සෙවූ පොලිස් භටයාම විය හැකිය. ඔහු ඔබගේ අකල් මරණයේ දීද ඔබගේ මිතුරන්ගේ කටවල් නීත්‍යාණුකූලව වැසීමට බලාගෙන සිටිනවා විය හැකිය. එසේ නම් රොෂේන්ගේ ගෙදරට ලක්ෂ ගණනක් වන්දි සහ කෝටිගණනක් ශෝක පණිවුඩ වැස්සවූයේ සුදු ඇඳුම ලා ගත් රොෂේන්ට වෙඩි තැබූ පොලිස් නිළධාරියා නොවේ යැයි කාට කිව හැකිද?

නූතන කටකතාවක්

බල්ලෙක්ට කොල්ලෙක් ගලකින් ගැසුවේය. බල්ලා කෝපයෙන් බුරමින් තමාගේ ඇඟේ වැදුණු ගල් කෑල්ල සොයන්නට විය. අවසානයේ කොල්ලා පැමිණ බල්ලා සෙවූ ගල් කෑල්ල බල්ලාට සොයා දුන් කළ බල්ලා කොල්ලාට නැට්ට වනමින් ගල් කෑල්ල කුඩු කරන්නට විය.

තුවක්කු, පොලු, රෝස මල්

ආණ්ඩුවට වැසුණු විශ්‍රාම වැටුප් යක්ෂයා එලවීමට මිනිස් බිල්ලක් දීමට සිදුවිය. දැන් ආණ්ඩුවට සනීප වී ඇත. කොච්චර සනීප ද යත් දැන් ආණ්ඩුව පොලීසියට තුවක්කු අයින් කොට බැටන් පොලු දීමට යයි. නැවත වරක් පොලීසිය පොලු වලින් ගසා කවුරුන්ව හෝ මැරුවොත් ඊළඟට ආණ්ඩුව පොලීසියේ අතට රෝසමල් දී ගැටළුව සමතයකට පත්කරනු ඇත. ආණ්ඩුවට සනීප වී ඇති බැවින් දැන් ජනතාවට ද ආණ්ඩුව ගැන විරෝධයක් එන්නේ නැත. දේශපාලන මරණයක් කාලයේ වැලිතලාවට යටවෙමින් පවතියි. ඉතාමත් ඉක්මණින්ම තවත් දේශපාලන මරණයක් අවශ්‍යය. නැතිනම් මේ භූමියට පැවැත්මක් නැත.

More Photos

Video
[youtube]http://www.youtube.com/watch?v=LYmivpOXm5E[/youtube]