සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

උතුරට පළාත් සභාවක් පිහිටුවනු

බලය බෙදා හදා ගැනීම ස්ථාවර සමාජයක් සඳහා වන ප්‍රධාන පිවිසුම් මාර්ගය බව ප්‍රතික්ෂේප කොට වර්ගවාදී ලෙස ගැටළුව දෙස බැලීම හේතුකොට ගෙන රට අවුලෙන් අවුලට පත්වුණි. එම අවුල තව තවත් දිග් ගැස්සීම රටේ යහපතට කිසිසේත් හේතු නොවන බව අපගේ විශ්වාසයයි. පළාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල නොදෙන බව උච්ඡාරණය කරමින්, ආණ්ඩුව විසින් කල්මැරීමේ යෝජනා ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් රැවටීම යල්පිනූ උපක්‍රමය බව අපි අවධාරණය කරමු.

මේ වනවිට දරුස්මාන් වාර්තාව ඔස්සේ පැන නැඟී ඇති චෝදනා අසත්‍ය බව පෙන්වීමට සූදානමක් ඇති බව තහවුරු කිරීමට හෝ කළ යුතු ප්‍රමුඛ කාර්‍යයක් වන්නේ උතුරු ප්‍රදේශය උදෙසා පළාත් සභාවක් යළි පිහිටුවීමයි.

නොකෙරෙන වැඩ යෝජනා නොකර රටේ ජනතාව නොරවටා ගැටළුවට සැබෑ ලෙස මුහුණ දීමේ ආරම්භයක් වශයෙන් උතුරු පළාත් සභාව පිහිටුවීම යෝග්‍ය බව අපි ප්‍රකාශ කරමු. එම නිසා උතුරු පළාත් සභා ඡන්දය හැකි ඉක්මණින් පවත්වා, උතුරේ ජනතාවගේ දේශපාලන නිදහසට හා දේශපාලන සමානාත්වයට ඇති අයිතිය තහවුරු කරන ලෙසටය. පළාත් සභා වල බලතල පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව තහවුරු වූ කරුණකි. ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම රජයේ වගකීමකි. එසේ විසඳුමක් ලබාදීමේ මුවාවෙන් උතුරු පළාතේ වැසියන්ගේ දේශපාලනික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය උදුරා ගැනීමට ඉඩ නොදිය යුතුය. ඡන්දය පවත්වා සමාන්තරව, එකී පළාත් සභාවේ බලතල ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව අප අවධාරණය කරමු. එසේ නොකොට විසඳුම සාකච්ඡා මුවාවෙන්, දෙමළ සමාජය රැවටීම අවසාන කළ යුතුය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කමිටුව වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ එස්. ජී. පුංචිහේවා