සිංහල, Gender, Human Rights, Life quips, Matale

කාන්තාවනි., කාලය පැමිණ ඇත.

vikalpa-publish.jpg

මේනකා ප්‍රියදර්ශණි

කාලය පැමිණ ඇත. ඒ මනුෂ්‍යත්වයෙන් එකිනෙකා කෙරේ දයාවේ දෑත දිගුකලයුතු කාලයයි. සැබෑ මානව හිතවාදීන් අවදිවිය යුතු කාලයයි. දස දහස් ගණනින් තරුණ ජීවිත මිහිමඩල යට අකාලයේ සැඟව යන කාලයයි. ඒ පිළිබඳව විවෘත මනසින් දැකිය යුතු කාලයයි. එලෙසින්ම මරබියෙන් සිය ඇදිවත පමණක් හිමිව දරුමල්ලන් තුරුලු කර ගනිමින් සරණාගත කඳවුරුවල කඳුලින් සුසුමින් ජීවත්වන මිනිසුන් ගැහැණුන් හා දරුවන් වෙත සහෝදරත්වයේ පණිවිඩය ගෙන යායුතු කාලයයි.
එවන් මොහොතක වසරකට වරක් යෙදෙන සුවිශේෂි දිනයක් ලෙස මාර්තු 08ට යෙදෙන ජාත්‍යනතර කාන්තා දිනය මේ වසරේත් රාජ්‍ය හා රාජ්‍යනොවන මට්ටමින් සැමරූ හ.

එහෙත් එකිනෙකා පරදමින් සංවිධානය කරන කාන්තා වැඩසටහන් වලින් සිය ආයතනය සහ අභිමානය, ප්‍රචලිතවීම ගැන පමණක් සිතන මිනිසුන්ගෙන් පිරුනු, විදේශ ආධාර මත සිය යැපීම තීන්දු කරන බොහෝ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය ආයතන ද බලාපොරොත්තුවන ඉලක්කය අපි ප්‍රශ්ණ කල යුතුමය.
කිසිදු සාධනීය අරමුණකින් තොරව අසරණ කාන්තාවන් මහ මග රස්තියාදු කරනු වෙනුවට, දවස පුරා බඩගින්නේ තබා කෙටි කෑමකින් සනසවා, හරසුන් දේශන හා නර්තන පෙන්වා රුපියල් 350ක් අතමිට මොළවා, කාන්තාවන් පිටත් කර හරිනු වෙනුවට, සරණාගත කඳවුරුවල දුක්විදින අසරණ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් යමක් කළ හැකි නම් ලබන වසරේදීවත් සෑබෑ කාන්තා දිනයක් සැමරීමට අපට හැකි වනු ඇත.
සුසුම්වල බර හඳුනන,
කඳුලක උණුසුම දැනෙන,
තනිව නොව එක්ව සිනහවන්නට, දුක්වන්නට හැකි
ගැහැණුන් පිරිමින් එක්ව
අපි සමරමු,
මනුෂ්‍යත්වයේ කාන්තා දිනය
ලබන වසරේ දී වත්…