Colombo, end of the War, Featured Articles, Features

ග්‍රීස් යක්කු, පොලීසිය, රාජ්‍යයක නීතිය හා සාමය රැකීමේ වගකීම

Image released by Police Headquaters which was saved allegedly in the phone of a 16 year-old who was arrested for a number of robberies in the Uva Province.
මෑත භාගයේ දී සාමජය වෙළාගත් මානසික ආතතීන් අතරින් ප්‍රධාන ස්ථානයක් ග්‍රීස් යක්කු අලලා ගොඩනැඟී ඇති බවක් පෙන්වයි. මෙකී ග්‍රීස් යකුන් ආශ්‍රයෙන් විවිධ මාධ්‍ය හරහා ඒ තුලින් පැන නැඟෙන සමාජ – මානසික විශ්ලේෂණයන් ගෙන හැර දක්වන නමුත්, මේ සඳහා පදනම් වන මූලික කරුණ වන නීතිය හා සාමය රැකීමේ රාජ්‍යයක වගකීම හා එකී වගකීම සමාජය හරහා ක්‍රියාත්මක කිරීමට ගොඩනංවා ඇති පොලීසිය නැමැති ආයතනයේ ස්වාභාවය පිළිබඳව අවැසි පමණට සාකච්ඡාවක් නොවීම හේතු කොටගෙන මෙම අදහස් ඉදිරිපත් කරමි.

පුරවැසියන්ගේ ආරක්‍ෂාවද, සමාජය තුල නීතිය හා සාමය (Law of order) රැකීම ද පොදු යහපතකි. (Common Good) පොදු යහපතක් ලෙස අර්ථ දක්වන්නේ මිනිසුන්ට තමන්ගේ පෞද්ගලික හෝ සාමුහික ක්‍රියාකාරීත්වය තුලින් ළඟා කරගත නොහැකි, රාජ්‍යය මඟින්ම සමාජයට ලබාදිය යුතු භාණ්ඩ හා සේවාවකි. එම නිසා ආරක්‍ෂාව හෝ නීතිය හා සාමය පිළිබඳ කඩතොලු වීමක් සිදුවූ කළ ඇඟිල්ල නිතැතින්ම එල්ල වන්නේ රාජ්‍යය වෙතය. අපට අනුව දැනට එළි දැක්වෙන ග්‍රීස් යකුන්ගේ නාඩගම සහ ඒ සඳහා සමාජයේ අන්තවාදී හෝ තැතිගත් කොටස් විසින් දක්වන සියළු ප්‍රතිචාරයන්ට වගකිව යුත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය සහ එය කරවන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බව අපගේ තර්කයයි. අවසාන වශයෙන් ඒ පිළිබඳව වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොලීසිය හා එය කරවන ඉහළ පොලිස් නිළධාරීන් බව අපගේ තර්කයයි. මෙකී තර්කය හොඳින් තේරුම් ගැනීමට නම් මෙකී තර්කයේ වගකීම අවසානයට ආරෝපණය කරනු ලබන පොලීසිය වෙත යා යුතුව තිබේ. මෑතක් වනතුරුත් ශ්‍රී ලංකා පොලීසියේ කාර්‍යයභාරය කුමක් ද යන්න පිළිබඳව, පොලීසිය කරවන ඉහළ නිළධාරීන්ට ද නොමැතිවූ බව පොලීසියේ බොහෝ ක්‍රියාකාරකම් වලින් පෙනී ගොස් තිබුණි. මෑත භාගයේ දී පොලිස්පතිවරයකුට ඉල්ලා අස්වීමට සිදුවූයේ, සාමකාමී උද්ඝෝෂණයකට, ජීව මූනිස්සම් දමා වෙඩි තැබීමත්, එමඟින් අහිංසක උද්ඝෝෂකයකු මිය යාමත්, තවත් රැසකට බරපතල තුවාල සිදුවීමට එකී ක්‍රියාව හේතුවීම නිසාය. එහෙයින් තුවක්කුවේ අත පොලීසිය තුලින් ක්‍රියාත්මක වූවත් තුවක්කුවේ අණ ආවේ දේශපාලකයකු හරහා බව අප දැන සිටියහ. නමුත් දේශපාලකයන් පොලීසියේ පිටට වගකීම පවරා ඇඟ බේරා ගත්හ. එලෙසින්ම අප පසුගිය වසර ගණනාවක් තිස්සේම, පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් (ඇතැම් විට බරපතල අපරාධකරුවන් විය හැක) අත්අඩංගුවේ පසුවන විට මිය යෑමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබුණි. මේ සෑම මිය යෑමක් සඳහාම පොලීසිය බොහෝ විට සාමාන්‍යකරණය කළ හැකි හේතු ලබාදීම සිරිතක් වී තිබේ. එසේම අපරාධයක් සිදුවූ කළ පොලීසියට යන සාමාන්‍ය පුරවැසියකුට අත් විඳින්නට සිදුවන සාමාන්‍ය අත්දැකීම වන්නේ අපරාධ කරුවන් හබා යාමට තරම් වූ උනන්දුවක් හෝ උත්සාහයක් හෝ හැකියාවක් පොලීසිය සතුව නොපවතින බවයි. අනෙක් අතට බලවතුන් හෝ දේශපාලඥයන් අතින් සිදුවන්නේ යයි හෝ ඔවුන්ගේ වක්‍ර මැදිහත් වීම තුල සිදුවන බොහෝ අපරාධ හමුවේ පොලීසියේ උකටලී බව, සමාජය තුල නිරන්තර ස්නායු කම්පනයක් ඇති කිරීමට හේතු වී තිබේ. අවාසනාවකට මේ සියළු සාධක එක්තැන්ව සිදුකර තිබෙන්නේ පොලීසිය පිළිබඳ සමාජ විශ්වාසය බිඳ වැටීමයි. මා තර්ක කරන්නේ ග්‍රීස් යකුන්ගේ සමාජ සන්නිය යන මෙකී සමාජ විශ්වාසය බිඳ වැටීමේ ප්‍රධාන රෝග ලක්‍ෂණය වන බවයි.

මෙකී රෝග ලක්‍ෂණයෙන් සමාජය මුදවා ගැනීමට නම් පොලීසිය නැමැති සංකල්පය පිළිබඳව සමාජය තුල මෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ හා පහළ නිළධාරීන් අතර Policing යන සංකල්පය පිළිබඳ මනා දැනුවත් බවක් ඇති කිරීම සඳහා සංවාදයක් ගොඩ නඟා ගත යුතුව තිබේ. සැබවින්ම පොලීසිය යන සංකල්පය යුරෝපය තුල මතු වන්නේ කාර්මික විප්ලවයෙන් පසුව සිදුවූ සීඝ්‍ර නාගරිකරණය හමුවේ ගමෙන් නගරයට මුදල් යෙදවීම සඳහා සංක්‍රමණය වන අධික ජන සන්නිපාතය පාලනය කිරීම සඳහාය. එහිදී එංගලන්ත පාලකයන්, සංක්‍රමණ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන් අතර, එකී බලපත්‍ර පරීක්‍ෂාවට පත් කරනු ලැබු නිළධාරී සමූහය, පොලීසිය ලෙස හඳුන්වනු ලැබු අතර, එකී ක්‍රියාව පොලීසිය නමින් තේරුම් කර දී තිබුණි. නූතන පොලීසිය ආරම්භ වන්නේ 1829 දී වරෙක එංගලන්ත අග්‍රාමාත්‍ය වරයෙකු වූ ශ්‍රීමත් රොබට් පීල් (1788 – 1850) බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය (ස්කොට්ලන්ඩ්යාර්ඩ්) ආරම්භ කිරීමත් සමඟය. රොබට් පීල් විසින් එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසිත් පිහිටුවීමේ ලා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති රාමුව, පීලියන් ප්‍රතිපත්ති (Peelian Principles) ලෙස හඳුන්වන අතර, එකී ප්‍රතිපත්ති අදට ගෝලීය වශත්‍යන් විවිධ පොලිස් සේවාවන් විසින් තමන්ගේ භාවිතයට මෙන්ම ආදර්ශයට ගෙන තිබේ. නමුත් ශ්‍රී ලංකා පොලීසියට මෙකී ප්‍රතිපත්ති පූර්ණව අමතකව ගොස් ඇති බවක් පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙය වන දේශපාලඥයන්ට මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙකී ප්‍රතිපත්ති පිළිබඳව කිසිඳු අදහසක් නොමැති බවත් පසුගිය වසර ගණනාවක් තිස්සේ අපට ප්‍රත්‍යක්‍ෂ වූ පාඩමයි. නමුත් ග්‍රීස් යකුන් සහ ඊට දක්වන සමාජ ප්‍රතිචාරයන් පිළිබඳව සලකා බලන කළ මෙකී තත්ත්වය නිසැකවම ඒත්තු යන අතර ඒ පිළිබඳව යථා විශ්ලේෂණයක් ඇති කර ගැනීමේ පහසුව එකී පීලීයන් ප්‍රතිපත්ති මෙලෙසින් ඉදිරිපත් කරමු.

1. පොලීසියක මූලික මෙහෙවර විය යුත්තේ අපරාධ හා සමාජ කැළඹීම් ඇතිවීම වළක්වාලීම වේ.

2. සමාජය තුල පොලීසියේ ක්‍රියාකාරීත්වය, හැකියාව රඳා පවත්නේ සමාජය විසින් පොලීසියේ ක්‍රියාකාරීත්වයට දක්වන අනුකූලතාවය හා පිළිගැනීම මතය.

3. පොලීසිය විසින් නීතිය රැකීම හා ගරු කිරීම සඳහා වන සමාජයේ ස්වේච්ඡා එකඟත්වය හා සහයෝගය, සමාජය වෙත පෙරළා පොලීසිය දක්වන ගරුත්වය තුලින් ඇති කර ගැනීමටත්, පවත්වා ගෙන යාමටත් හැකිවිය යුතුය.

4. පොලීසිය විසින් සමාජය සමඟ පවත්වාගෙන යනු ලබන සහයෝගයට, පොලීසිය විසින් සමාජය වෙත යොමු කරනු ලබන භෞතික බලය, පාලනයට අනුලෝමව සමානුපාතික වේ. එනම් නිසි සමාජ සහයෝගයක් පවතින්නේ නම් භාවිතා කළ යුතු භෞතික බලය / පාලනය අවම වේ.

5. පොලීසිය දක්වන සමාජ සහයෝගය හා සමාජ අනුකූලතාවය ගොඩනැඟිය හැක්කේ පොලීසිය පිළිබඳ
සමාජ මතයක් ගොඩනැඟීමට දරන කෘත්‍රිම උත්සාහයකින් නොව නීතිය ආරක්‍ෂා කිරීමට පෙන්නුම් කරන්නා වූ මධ්‍යස්ථ කැපවීම හා ඒ බව සමාජයට එත්තු ගැන්වීම තුලින් උපයා සමාජ පිළිගැනීමයි.

6. පොලීසිය භෞතික බලය සමාජය මත මුදාහැරිය යුතු වන්නේ නීතිය හා සාමය රැකීම සඳහා වන ඒත්තු
ගැන්වීම්, උපදෙස්, අනතුරු හැඟවීම් ඵලක් නොවන කල්හි පමණකි.

7. පොලීසිය සැමවිටම මහජනතාව සමඟ ගොඩනඟන සබඳතාව තුල (තමන්) පොලීසිය මහජනතාවම වන
බවත්, මහජනතාව පොලීසියම බවත් ඒත්තු ගැන්වීමට ක්‍රියා කළ යුතුවාක් මෙන්ම, එහිදී පොලීසිය යනු මහජන මුදලින්, මහජනතාව වෙනුවෙන් පූර්ණ කාලීනව සමාජය අවශ්‍යතා, සමාජ පැවැත්ම හා සමාජ සුභසාධනය සුරැකීම සඳහා වගකීමක් පවරා ඇති එකම ආයතනය බව ඒත්තු යන ආකාරයනේ ක්‍රියා කළ යුතු බවයි.

8. පොලීසිය සැම විටම තමන්ගේ බල ක්‍ෂේත්‍රය තුල ක්‍රියා කළ යුතුවාක් මෙන්ම කිසිවිටකත් අධිකරණ බලතල භාවිතා නොකළ යුතුය.

9. පොලීසියේ කාර්‍යක්‍ෂමතාවය මනිනු ලබන නිර්නායකය වන්නේ, නීතිය හා සාමය රැකීම සඳහා ගනු ලබන
විවිධාකාර වූ ක්‍රියාකාරකම් නොවේ. නිසැකවම සමාජය තුල කෙතරම් දුරට අපරාධ හා කැළඹීම් අවම වී
තිබේද යන්නයි.

මෙකී පීලියන් ප්‍රතිපත්ති රාමුව මත, නූතන පොලීසිය බ්‍රිතාන්‍යයේ 18 වන සියවසේ බිහි කළ නමුදු, තුන්වන ලෝකයේ රටවලට එකී සංකල්පය හා ආයතනය ආනයනය කළ කළ පොලිස් සංකල්පය, බොහෝ දුරට මෙකී ප්‍රතිපත්ති වලින් දුරස් වී ඇති බවක් ආදර්ශයෙන්ම පෙන්නුම් කර තිබේ. අද අප සමාජය තුල එළි දැක්වෙන ග්‍රීස් යක් සන්නිය, ඉහත කී ප්‍රතිපත්තීන්ට අනුකූල නොවූ පොලීසියක නිර්මාණයක් බව එකී ප්‍රතිපත්ති ගැඹුරෙන් අනුලෝමව හා ප්‍රතිලෝමව විශ්ලේෂණය කරන කල්හි මැනවින් වටහා ගත හැකිව තිබේ. අවාසනාවකට මේ පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට තරම් වූ ඉහළ පොලිස් නිළධාරී පංතියක් හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් සමූහයක් අප රට තුල නොපවතී. නමුත් ග්‍රීස් යකුන් හරහා අපට ලබා දෙන්නේ ගැඹුරු එනමුත් බරපතල සමාජ සංඥාවකි. ඒ නීතිය හා සමාජ රැකීම පොදු යහපතක් බවත් එය රැකීමේ පරම වගකීම පවතින්නේ පොලීසියට බවටත් ඇති සමාජ පිළිගැනීම හා විශ්වාසය අප සමාජය තුල ඉරි තලා ඇති බවයි. පීලියන් ප්‍රතිපත්ති බිහිවූයේ එංගලන්තයේ වූවත් එහි හරය අදටත් අපට වැදගත් වේ. අද අප ඉල්ලා සිටිය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට පමණක් නොවේ. සමාජය ස්ථාවරත්වය ඉරිතලා යාමට හේතු වී ඇති සෑම රාජ්‍ය ආයතනයක්ම, කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ව්‍යුහාත්මකව, කාර්ය පටිපාටිකව මෙන්ම ආකල්පමය ලෙසත් වෙනස් විය යුතු කාලය පැමිණ තිබේ. එහිදී ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු ප්‍රමුඛ ආයතනයක් විය යුත්තේ පොලීසියයි. ග්‍රීස් යකුන් නැටීම මෙන්ම මහජනයා නීතිය සියතට ගැනීම වළක්වා ගත හැක්කේ ඒ තුලින් පමණකි.

නීතිඥ ශිරාල් ලක්තිලක
[email protected]