සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයෙන් මහකොඩයායේ 9 ක් මරුට

ඊයේ (12) සවස 6.30 පමණ බුත්තල මහකොඩයාය ගම්මානයට කඩා වැඳුන නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් එහි ගම්වැසියන් 9 දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත. මියගිය අය අතර මාස එකහමාරක් හා මස දෙකක් වයස දරුවන් දෙදෙනෙකු, ගැහැණු තිදෙනෙකු (3) හා පිරිමි හතර දෙනෙකු (4) වෙයි. සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු මොනරාගල හා බදුල්ල රෝහල් වලට ඇතුලත් කර තිබේ.
ඊයේ සවස ගම්මානයේ කන්ද පාමුල පිහිටි කුඩා පැල්පතකට මුල්ම ප්‍රහාරය එල්ල වී ඇත. එම නිවසේ විසූ මව පියා හා දියණියක ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර නිවසේ පිරිමි දරුවා දිවිගලවාගෙන ඇත. එම පිරිමි දරුවා කැළය හරහා දිවගොස් සිද්ධිය ගමේ අනෙකුත් අයට සැලකර සිටීම නිසා ගම්මානයේ අනෙකුත් අයගේ දිවි බේරී ඇති බව අප වෙත අදහස් දැක්වූ මහකොඩයාය ගමේ වැසියෙක් පැවසූවේය.
කෙසේ වෙතත් ප්‍රථම නිවසට ප්‍රහාරය එල්ලවීමේදී ඇසුන වෙඩි ශබ්දය බැලීමට පැමිණි ඒ අසල පිහිටි අනෙක් නිවෙසේ අය ද වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත. සිද්ධිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද බුත්තල රෝහලේදී පැවැත්වීමට නියමිතය.
අප මේ පිළිබඳව බුත්තල රෝහලින් කළ විමසිමකදී එහි ප්‍රකාශිකාවක පැවසූවේ සිද්ධියෙන් මියගිය නම දෙනෙකුගේ සිරුරු මේවන විට රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත්කර ඇති බවයි. බුත්තල පොලිසිය පැවසූවේ පැමිණි පිරිස සොයා පොලීසිය හා හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රිියාත්මක කර ඇතිබවයි.