සිංහල, Colombo, Corruption, Democracy, Education, Governance

‛‛රක්නා ලංකා දඩ බල්ලෝ විශ්ව විද්‍යාල තුලට ගේන්නේ ඔත්තුකරුවො විදිහට.’’ අන්තරේ

විශ්ව විද්‍යාලවල ආරක්ෂක අංශය කිසිදු පරිපාලන පටිපාටියකින් තොරව ‘රක්නා ලංකා’ නම් ආරක්ෂක අංශයට පැවරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වන අතර එයට උපකුලපතිවරැන් මෙන්ම විශ්ව විද්‍යාල පරිපාලනයද ශිෂ්‍ය සංගම්ද සිය විරෝධය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැදවුම්කරැ සංජීවි බංඩාර ‘විකල්ප’ සමග පැවැත්වූ සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනකි.

විශ්ව විද්‍යාල තුළ ආරක්ෂක අංශයන්හි වෙනසක් සිදුවීමට නියමිතයි නේද?

“ආණ්ඩුව විසින් විශ්ව විද්‍යාල තමන්ගේ මිල්ටරි ආධිපත්‍යයට යටත් කිරීමේ ක්‍රියාවලි තමයි මේ ක්‍රියාත්මක කරන්නෙ. විශ්ව විද්‍යාල වල හිටපු ආරක්ෂක අංශයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. විශ්ව විද්‍යාල තුළ දැනට සිටින ආරක්ෂක අංශය ඉතාම අඩු පිරිවැයක් යටතේ විශ්ව විද්‍යාලයට අවශ්‍ය ආරක්ෂාව සැපයුවා. දැන් ඉන්න විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයන් විශ්ව විද්‍යාලයට වගකිව්වා, ශිෂ්‍යයන්ගෙ ආරක්ෂාවට වගකිව්වා නමුත් ආණ්ඩුවට වගකිව්වෙ නැහැ. අද පොලීසිය ගත්තොත් එහෙම වගකියන්නෙ ආණ්ඩුවට විතරයි. මේ රටේ ජනතාවට,යුක්තියට, සාධාරණත්වයට පොලීසිය වගකියන්නෙ නැහැනෙ. දැන් ආණ්ඩුවට ඕනෙ වෙලා තියෙන්නෙ තමන්ට පමණක් වගකියන පොලීසිය වගේ ආරක්ෂක සේවයක් විශ්ව විද්‍යාල ඇතුලෙ පවත්වගෙන යන්න. ආණ්ඩුවට ඕනෙ තමන්ගෙ දේශපාලනය විශ්ව විද්‍යාලය ඇතුළෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් ආරක්ෂක අංශයක් විශ්ව විද්‍යාල ඇතුළෙ ස්ථාපිත කරන්න. ශිෂ්‍යයන්ව මර්ධනය කරන්න පුළුවන් යාන්ත්‍රණයක් විශ්ව විද්‍යාලය ඇතුළෙ බිහිකරන්න තමයි ආණ්ඩුවට ඕනෙ කරන්නෙ. හමුදාවෙන් විශ්‍රාම ගන්න සෙබළු සහ දැන් ඉන්න සෙබළුන්ව විශ්‍රාම ගන්වලා තමයි මේ ‛රක්නා ලංකා’ ආරක්ෂක සේවය හදලා තියෙන්නෙ. මේක වෙන්නෙ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ, පාලක සභාවෙ කැමැත්තෙන් නෙමෙයි. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයකට ආරක්ෂක අංශය ගන්න කොට ඒක කෙරෙන්න ඕනෙ ටෙන්ඩර් කැඳවීමක් සහිතව. ගිය අවුරුද්දෙත් මේ ‛රක්නා ලංකා’ ආරක්ෂක ආයතනය ටෙන්ඩර් ඉල්ලලා තිබුණා. නමුත් මේ අයගෙ මිල ගණන් ඉතා ඉහළ නිසා මේ අයව ප්‍රතික්ෂේප වෙනවා. කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයාගේ බලය පාවිච්චි කරලා, අධ්‍යාපන අමාත්‍යවරයාගේ බලය පාවිච්චි කරලා, විශ්ව විද්‍යාලවල තියෙන මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරලා ගෝඨාභය රාජපක්ෂගෙ හේවායො ටිකක් නැත්නම් දඩබල්ලො ටිකක් විශ්ව විද්‍යාලය තුළට දාන්න උත්සාහ කරනවා. දැනට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ වලට රුපියල් කෝටි 22 ක් ගෙවනවා. ‛රක්නා ලංකා’ සඳහා කෝටි 70 ක් පමණ වැයවන බව ගණන් බලා තිබෙනවා.”

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සහ විශ්ව විද්‍යාල වල ආරක්ෂක අංශයන් වෙනස් කිරීම තුළ සම්බන්ධතාවයක් තියෙනවාද?

“විශ්ව විද්‍යාල තුළ සිදුවන සියළු ක්‍රියාකාරකම් වල අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. පසුගිය කාලයේ රුපියල් මිලියන 700 ක් පමණ වියදම් කරලා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හමුදා පුහුණුවක් දුන්නා. මේ විදිහට වියදම් කරලා හමුදා පුහුණුවක් දුන්නෙ හේතුවක් ඇතුවයි. මෙහිදි උත්සාහ කළේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මතවාදිමය වශයෙන් ආණ්ඩුවට උවමනා ආකාරයට හසුරුවගන්නයි. ඒ අතරේ තමන්ට යම් පිරිසක් දිනාගන්න. ආණ්ඩුවට ඔත්තුකරුවො හදාගන්න. මේ විදිහට හමුදාව පුහුණුව දීමෙන් විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කළාම එන්න නියමිත ගැටුම්කාරී තත්වය මගහැරෙනවා. තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින, ඉතාම නිවට, නියාළු, බල ඒකාධිකාරයට යටකරපු පිරිසක් නිර්මාණය කරන්න තමයි හමුදා පුහුණුව දුන්නෙ. ඒ ආකාරයටම ‛රක්නා ලංකා’ ආරක්ෂක සේවය ගේන්නෙ විශ්ව විද්‍යාල ඇතුළෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ අරගල, සටන් කඩාකප්පල් කිරීම සඳහා. විශ්ව විද්‍යාලය ඇතුළෙ සිදුවන දේවල් පිළිබඳව ඔත්තු සපයා ගැනීම සඳහා. මේ ආකාරයට අද විශ්ව විද්‍යාල ඇතුළෙ සිදුවන සෑම ක්‍රියාකාරකමක් ඇතුළෙම විශාල සම්බන්ධයක් තියෙනවා. විශ්ව විද්‍යාල ආචාරවරුන්ගෙ වැටුප් ප්‍රශ්න මාස තුනක් තිස්සෙ නොවිසඳා පවත්වාගෙන යනවා. ඒක එහෙම කරන්නෙ රාජ්‍ය විශ්ව විද්‍යාල දුර්වල කිරීමේ එක සැලැස්මක් විදිහටයි. අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නෙ නැහැ. මේ වගේ කාරණා තුළින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව ජනතාව තුළ අපකීර්තියක් හදනවා. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට දරුවො යවලා වැඩක් නැහැ කියලා මතයක් රට තුළ හදලා ඒකට එකම විසඳුම පෞද්ගලික විශ්ව විද්‍යාල කියලා මතයක් රට පුරා පතුරනවා.”

සංජීව බණ්ඩාර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
(සාකච්ඡාවක් ඇසුරෙනි)