Colombo, end of the War, Featured Articles, Features

‛‛ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනයකළ ක්‍රියාමාර්ග අද බූමරංගයක් විදිහට ආපහු ඇවිල්ලා’’

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සහ එහි දේශපාලනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ලේකම්වරයෙකු වන ලයනල් බෝපගේ සමග ‘විකල්ප‘ පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවක සටහනක් මෙසේ පළ කරමු.

මේ වන විට මතුවෙලා තියෙන වත්මන් ජ.වි.පෙ අර්බුදය අභ්‍යන්තර අර්බුදයක් බවට මාධ්‍ය වාර්තා තොරතුරු ඉදිරිපත් කරමින් සිටිනවා. හිටපු ප්‍රධාන ලේකම්වරයා විදිහට මෙය මොන වගේ අර්බුදයක් හැටියද ඔබ දකින්නෙ?

මේ අර්බුදයට බලපාන කරුණු ගණනාවක් තියෙනවා. පසුගිය කාලයේ ආණ්ඩුව විසින් කරපු මර්ධනකාරී ක්‍රියාමාර්ග සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙනගිය දේශපාලන ක්‍රියාමාර්ග මින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මැතිවරණවලින් ජනතා විමුක්ති පෙරමුණ පරාජය වෙන තත්ත්වයක් උඩ අභ්‍යන්තරයේ සමහර ප්‍රශ්න ඇති වෙනවා. පක්ෂයේ සාමාජිකයන් සහ සමහර නායකයින් බලනවා ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ කියලා. එවිට මෙම තත්ත්වය අභ්‍යන්තර අර්බුදයක් දක්වා යන්නට පුළුවන්. මේ තත්ත්වයම තමයි 1984 දි ඇතිවුණෙ. 1983 දී ජූලි කලබලේ ඇතිවෙලා, ජනාධිපතිවරණය පරාජය වෙලා, තද මර්ධනකාරී ප්‍රතිපත්ති රජය පැත්තෙන් ගන්නකොට එය පක්ෂයට බලපානවා. මෙහෙම වනවිට පක්ෂයේ අභ්‍යන්තරයෙන් හිත්නන ගන්නවා ඇයි මෙහෙම වුණෙ කියලා. ඒ වගේම තත්ත්වයක් අදත් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අවුරුදු 04 සහ 05 පුරාම ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ වලදි ඇතිවෙච්ච පරාජයන් සහ රජය විසින් එල්ල කරන ලද මර්ධනකාරී පියවරයන් නිසා පක්ෂ අභ්‍යන්තරයෙන් හිතන්න ගන්නවා අපිට මෙහෙම වුණෙ පසුගිය කාලෙ අපි අනුගමනය කරපු නොයෙක් ක්‍රියාමාර්ග නිසා කියලා. ධනේශ්වර දේශපාලන පක්ෂත් සමඟ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සභාගයකට යාම නිසා මේ තත්ත්වය වුණා කියලා පක්ෂයේ අභ්‍යන්තරයෙන් හිතනවා. එදා ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ක්‍රියා මාර්ග අද බූමරංගයක් විදිහට ආපහු ඇවිල්ලා තියෙනවා.

පක්ෂයේ අර්බුදයට රාජපක්ෂ ආණ්ඩුව යම් විදිහක බලපෑමක් කළා කියලා නිල නොවන වාර්තා සැපයෙමින් තියෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඕනෑම පක්ෂයක අභ්‍යන්තරයේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙන කොට ඒ තත්ත්වය රජයේ වාසියට පාවිච්චි කරනවා. අනිවාර්යයෙන්ම ඒක සිදු වෙනවා ඇති. නමුත් ඒක සිද්ධ වෙන්නෙ මොන ආකාරයටද යන්න පිළිබඳව අපිට තොරතුරු නැහැ. ඒක ඉදිරියෙදි ඇතිවන තත්ත්වය අනුව තමයි අපිට බලන්න පුළුවන් වෙන්නෙ. නමුත් විශේෂයෙන්ම මං හිතන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් අතරින් වඩාත්ම ජාතිකවාදී කොටස් රජය විසින් ඩැහැගැනීමට ඉන්නවා කියන එක.

ජ.වි.පෙ එක් කණ්ඩායමක් නැවත වරක් විප්ලවීය මාර්ගයට යමින් සිටිනවා කියලා තව කතාබහක් ලංකාවේ පැතීරීගෙන යනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

බොහෝ පිරිස් විප්ලවීය මාවත කිව්වාම අදහස් කරන්නේ සන්නද්ධ ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දිහා බැලුවොත් පක්ෂය පදනම් වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ ඊළඟට අර්ධ නිර්ධන පංතික, සුළු ධනේශ්වර ජන කොටස් නිසා අන්ත දක්ෂිනාංශ සහ අතිධාවනකාරී වාමාංශික මතවාදයන් අතර පක්ෂය දෝලනය වෙනවා. මෙතන තියෙන්නෙ ඊට වඩා වෙනස් තත්ත්වයක්. පක්ෂය ඇතුළෙ කණ්ඩායමක් නොයෙක් ආකාරයේ ප්‍රශ්න මතුකරලා තියෙනවා. වාර්තා වලට අනුව ඒ අය සන්නද්ධ අරගලයක් දක්වා යන තත්ත්වයක් මට පේනනේ නැහැ. පක්ෂය අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නෙ. මගේ ඉල්ලා අස්වීමේ ලිපියෙත් මං සඳහන් කළා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුණාම අනිවාර්යයෙන්ම කණ්ඩායම් ඇතිවෙනවා. ගැටුම් ඇති වෙනවා. නොයෙක් විදිහෙ සිද්ධීන් ඇතිවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දිහා බැලුවහම සන්නද්ධ අරගලය කරන්න මැදිහත් වුණේ පක්ෂය විසින්. නමුත් ජනතාව තමයි තීරණය කරන්න ඕනෙ සන්නද්ධ අරගලයේ ස්වභාවය මොකක් විය යුතුද කියන එක. ජනතාවට විසඳගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනව නම් ජනතාව තීරණය කරයි අපි මොන විදිහටද හැප්පෙන්නෙ කියලා. එතනදි පක්ෂය ක්‍රියාත්මක වෙනව මිසක් පක්ෂය ජනතාවට ආදේශ වෙලා ජනතාව වෙනුවෙන් සන්නද්ධ අරගලයක් කරන්න බැහැ. එහෙම වුණොත් නැවතත් ලොකු විනාශයක් ඇති වෙනවා. 1984 දි මම ඉල්ලා අස්වෙන කොට එහෙම තත්ත්වයක් ඇති වෙනවා ඒක වලක්වන්න කියලා මං පක්ෂයෙන් ඉල්ලා හිටියා. නමුත් ඒ පිළිබඳව සැලකිලිමත් නොවුණ නිසා 1989 දි මහ විනාශයකින් කෙළවර වුණා. මෙතන මං දකිනවා එක්තරා ආකාරයක වෙනසක්. එහෙම සන්නද්ධ අරගලයයකට යනවා කියන එක නෙමෙයි. ප්‍රශ්න ගණනාවක් මත පක්ෂය අභ්‍යන්තරයෙ යම් කිසි අරගලයක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳයි.

මේ වෙලාවෙ ජ.වි.පෙ අර්බුදය ලංකාවේ දේශපාලනයට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරයිද?

ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙමෙයි රජයට විරුද්ධ මොන කණ්ඩායමක වුණත් බෙදීම රජයේ දේශපාලන වැඩපිළිවෙලට වාසි දායකයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළෙ තියෙන අර්බුදය මොන විදිහටද විසඳෙන්නෙ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නෙ. මගේ දේශපාලන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණ සභාග දේශපාලනයට යාමෙන් ජනතා විමුක්ති පෙරමුණ විනාශයට පත් වුණා, ජනතා විමුක්ති පෙරමුණ ජාතික ගැටළුවෙදි අනුගමනය කරපු පාවා දීමේ ප්‍රතිපත්තිය නිසා ඒකත් පක්ෂයේ විනාශයට හේතු වුණා. ඒක පිළිබඳ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. සම්ප්‍රදායික ජනතා විමුක්ති පෙරමුණේ මතය ජය ගත්තොත් ඒකෙන් බලපෑමක් වෙනවා කියලා මං දකින්නෙ නැහැ. ඒකට රජය ගෙනියන ක්‍රියාමාර්ගත් එක්ක අනුකූල වෙලා දිගටම යන්න පුළුවන්. එහෙම නැතුව අනිත් විදිහට ජයගත්තොත් ඒ කියන්නෙ සභාග දේශපාලනයට යන්නෙ නැහැ, දෙමළ ජනතාවගේ ගැටළුව සම්බන්ධයෙන් කාටත් පිළිගත හැකි විසඳුමකට එන්න ඕනෙ කියන මතය ජය ගත්තොත් කෙටි කාලිනව රජයට වාසියක් වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව ගත්තාම ඒක රජයට අභියෝගයක් වේවි.

ජ.වි.පෙ අර්බුදය මේ ක්‍රමය විසින් ඇති කරපු අර්බුදයක්ද නැතිනම් ඔබ කියන විදිහට පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වූ ප්‍රශ්නයක්ද?

ඒ දෙකම. එකක් තමයි ලංකාවේ තියෙන සමාජ ක්‍රමය අතිශය අර්බුදයකට පත්වෙච්ච සමාජ ක්‍රමයක්නෙ. ඒ අර්බුදය පක්ෂය තුළින් පිළිඹිබු වෙන්න ඕනෙ. මට අනුව ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අර්ධ නිර්ධන පාන්තික, සුළු ධනේශ්වර පාන්තික කොටස් මත ගොඩනැගිච්ච බලවේගයක්. ඉතින් මෙම තත්ත්වය නිසා ඇති වන දෝලනය වීමත් අර්බුදයකට හේතු වෙනවා. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා ඒකෙන් අර්බුදය තවත් උත්සන්න වෙනවා. මේ අර්බුදය ඒ සියළුම සාධක වල එකතුවක් විදිහට දකින්න පුළුවන්.

(සාකච්ඡාවක් ඇසුරිනි)

ලයනල් බෝපගේ
ජවිපෙ හිටපු ලේකම්