සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛‛වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි’’


ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ වෙබ් අඩවි ගණනාවක ක්‍රියාකාරීත්වය අවහිර කරමින් ඒවාට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව අහිමි කිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව බලවත් විරෝධය පළ කර සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කර සිටියි.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේයි.

ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ වෙබ් අඩවි ගණනාවක ක්‍රියාකාරීත්වය අවහිර කරමින් ඒවාට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව අහිමි කිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව බලවත් විරෝධය පළ කරන්නෙමු.

නව මාධ්‍ය වර්ධනයත් සමඟම ඇති වූ සන්නිවේදන විප්ලවයෙහි ප්‍රතිඵලයක් ලෙස වෙබ් සන්නිවේදන ක්‍රියාවලිය පසුගිය කාලය තුළදී ලෝකයේ දැනුවත් සමාජය තුළ මහත් ජනප්‍රියත්වයට පත් විය. ඒ හරහා ඇතිවූ සමාජ ආර්ථක, දේශපාලන මෙන්ම නවීන විද්‍යාවන්ට අදාල සංවාද ලෝකයේ සමස්ත ප්‍රජාවන් අතර නව සංස්කෘතියක් නිර්මාණය කළේය.

එය අවහිර කිරීමට හෝ අඩපණ කිරීමට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ශිෂ්ඨ සම්පන්න කිසිදු රටක් ක්‍රියාකාර නොමැති අතර, ඒ සඳහා අසාර්ථක උත්සාහයන් පවා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම පුරවැසියන්ගේ නිදහස පිලිබදව තැකීමක් නොකරන චීනය, මියන්මාරය, උතුරු කොරියාව වැනි රටවල් අතලොස්සක පමණි.

එබැවින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ මොහොතේ මෙවන් පියවරකට පිවිසීම මගින් නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇත්තේ අදහස් පළ කිරීමේ හා තොරතුරු දැන ගැනීමට පුරවැසියා සතු අයිතිය පිළිගැනීමට හා භාවිතයට ඔවුන් තුළ ඇති අකමැත්ත හා ඒ තුළින් ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශය බව අපගේ පිළිගැනීමයි.

නූතන තාක්ෂණික දියුණුව තුළ මෙවන් ක්‍රියාමාර්ගයන් කිසිසේත්ම සාර්ථක නොවේ. නමුත් එවැන්නක් සඳහා ශ්‍රී ලංකා රජය පෙළබීම මඟින් ලබා දී ඇති පණිවිඩය වන්නේ ආණ්ඩ ුවේ ආරක්ෂාව සදහා ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස මර්ධනය කිරීම සදහා තමන් පසුබට නොවන බවය. ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම හා ජනතාවට එල්ලවන මර්ධනය සලකා බලන කළ මෙය පරාජය කළ යුතු බිහිසුණු ක්‍රියාමාර්ගයක් නිසා අප මේ මොහොතේ රටේ දැනුවත් ප්‍රජාවගෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා ජන ජීවිතයේ නිදහස අගයන පුරවැසියන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසය.

සුනිල් ජයසේකර
මාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන්
දුරකතන : 0777-751092

2011 නොවැම්බර් 07