Featured Articles, Features, Puttalam

කරුකපනේ කඩොලාන වනාන්තරය ලාෆ් ලෙෂර් සමාගමේ හෝටලයකට යට කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරුකපනේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙරළාශ්‍රිත විශාල කඩොලාන වනාන්තරය මහ පරිමාණ හෝටලයක් ඉදි කිරීම සඳහා කපා ඉවත් කරමින් තිබේ. කාමර අසූවකින් සමන්විත මේ හෝටලය ඉදි කරනු ලබන්නේ කොළඹ 03, සාන්ත අන්තෝනි මාවතේ, අංක 70, ලකී ප්ලාසා හි යුනිට් 7/9, දරන ස්ථානයේ පිහිටි ලාෆ් ලෙෂර් ලිමිටඩ් නම් සමාගම විසින් බව වාර්තාවක් නිකුත් කරමින් පරිසර සංරක්ෂණ භාරය වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ…

පළමුව කඩොලාන වනාන්තරය හරහා බොරලු අතුරා මාර්ගයක් ඉදි කර දැනට අක්කර පහක භූමි ප්‍රදේශයක කඩොලාන කපා ඉවත් කර පස්වලින් පිරවීම සිදු කෙරෙමින් පවතී. කිසිදු පාරිසරික අනුමැතියකින් තොර ව නීති විරෝධී ලෙස මේ එළි පෙහෙළි කිරීම් හා ගොඩ කිරීමේ කටයුතු සිදු වන අතරම හෝටලයේ ඉදි කිරීම් කටයුතු ද ආරම්භ කිරීමට නියමිත ව ඇත. පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් නිකුත් කළ 2001.08.10 දින අංක 2001/5 දරන චක්‍රලේඛනයට අනුව මේ කඩොලාන වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරූ ප්‍රාදේශීය ලේකම් යටතේ පාලනය වූ රජයට අයත් කඩොලාන වනාන්තර අතුරින් එකකි. ඔවුන් යටතේ පාලනය වන මේ කඩොලාන වනාන්තරය වැනසීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. 2009 අංක 56 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට අනුව මේ හානිකර ක්‍රියාවලියට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ මේ මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියට යටත්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. 1990 අංක 12 දරන වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. ඉන් පිටතින් යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් වයඹ පළාත් පරිසර අධිකාරියට ඊට එරෙහි ව ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත. නමුත් එම අධිකාරිය ද මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතුරුත් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

ප්‍රදේශයේ අද වන විට ඉතිරි වී ඇති මේ කඩොලාන වනාන්තර ඉතා ස්වල්පය පාරිසරික නීති උල්ලංඝනය කරමින් මේ ආකාරයෙන් වනසා දැමීම ඉතා ශෝචනීය තත්ත්වයකි. පාරිසරික අනපනත් මෙලෙස උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මුදල් බලය ඉදිරියේ පාරිසරික නීති ක්‍රියාත්මක වීමේ ස්වභාවය මනාව විදහා දක්වමිනි.

වන සංරක්ෂණ ආඥා පනත හා වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් සිදු කරන මේ හෝටල් ව්‍යාපෘතිය වහාම නතර කිරීමට පියවර ගැනීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වයඹ පළාත් පරිසර අධිකාරියට ඇතත් ඔවුන් මෙලෙස මුනිවත රකිමින් තම කාර්යය භාරය ඉටු නොකිරීමෙන් අවසානයේ සිදු වන්නේ මනුෂ්‍ය වාසයට නුසුදුසු පරිසරයක් බවට අප රට පත් වීම පමණි. එවන් තත්ත්වයක් ඇති වීමට පෙර මේ ආයතනවල නිලධාරීන් මේ හානිකර හා නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මීට අමතර ව මේ කඩොලාන බිම් ව්‍යාපාරිකයන්ට රිසි සේ සංවර්ධනය කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් මායිම් යොදා සලකුණු කිරීමට පියවර ගනු ඇතැ යි ද අපි බලාපොරොත්තු වෙමු.

මේ පිළිබදව විකල්ප වෙබ් අඩවිය වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක, ආචාර්ය සමන් සේනානායක මහතාගේන් විමසීමක් කළ විට ඔහු පවසා සිටියේ ‛‛මේ පිළිබදව අපට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබදව ඉක්මනින් සොයා බලන බවත්, ලාෆ් ලෙෂර් ලිමිටඩ් නම් සමාගමකට අප කිසිදු අවසරයක් දී නැති බවත් ය.‘‘