Colombo, Featured Articles, Features

‘එය කෙබඳුදැයි මම දනිමි…’| විවාහය සහ මගේ කතාව

]ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ මගේ කතාව[

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මගේ පළමු වසරේ අවසන් විභාගයට දෙමසකට පෙර මම පෙනී සිටියෙමි. හායි මැගසින් සඟරාවේ ගිය මාසයේ කලාපය, මෝස්තර නිර්මාණ ශිල්පී කේ.ටී. බ්‍රවුන් නිර්මාණය කොට මා නිරූපිකාවක ලෙස යොදා ආදර්ශනය කළ ඇඳුම්වලින් සැරසුණු පිටු 3කින් සමන්විත විය. එමෙන් ම, 2011 ආසියා ශාන්තිකර සුපිරි නිරූපිකාව තේරීමේ තරඟයේ තරඟකාරියක ලෙස දෙසැම්බරයේ දී මා ආට් ටීවී නාළිකාවෙහි පෙනී සිටිනු ඇත. මා ගැන ලොකුවට සිතා ඇති කර ගත් කිසි ම වැරදි අදහසකින් මම පීඩා නොවිඳින්නෙමි. මම සුපිරි නිරූපිකාවක් නො වෙමි. කැමරාව ඉදිරියෙහි මම අතිශය අපහසුවට පත් වෙමි. මා මගේ උපාධි අධ්‍යයන කටයුතු ඇරඹුවේ 26 වන වියටත් එළඹි විට ය. එහෙත්, තුන් වසරකට ටිකක් කලින් අනිසි විවාහයක පැටලුණු මට මෙම සෑම පියවරක් ම මහා ජයග්‍රහණයකි. ඒ විවාහය, එදාමෙදා තුර මා සතුව තිබුණු සහ පාලනය කර ගැනීමටත් සදහට ම මා සන්තක කර ගැනීමටත් මා සටන් කළ විශ්වාසයේ සෑම අංශු මාත්‍රයක් ම තුනී කර ලූ විවාහයක් විය.

මගේ පස් වසරක විවාහ ජිවිතය තුළ සිදු වුණු දේවල් ගැන කතා කිරීම මට කිසි දා පහසුවක් වී නැත. කිසි දා සම්පූර්ණයෙන් ඒ ගැන කතා කළ හැකි වේ යැයි මා සිතන්නේ ද නැත. මගේ කතාව හෝ ඉන් යම් කොටසක්, තම අයිතිවාසිකම් පිළිබඳව තවමත් නොදැන සිටින යම් තැනැත්තියකගේ ජීවිතයට වැදගත් විය හැකි බැවින් මම දැන් එය කියන්නට අදහස් කරමි. දහඅට වන වියෙහි දී විවාහ වීමට මා පෙලඹුවේ නව යොවුන් වියේ මෝඩකම යි. මා තමන්ට සමාන පුද්ගලයෙකු ලෙස හඳුනා නොගත්, මේ ශ්‍රී ලංකාවේ අන් බොහෝ මිනිසුන්ට නොවෙනස් ආකල්ප සහ ක්‍රියාවන් පිළිබිඹු කළ පිරිමියෙකු සමග සිදු වුණු විවාහයක පස් වසරක් තිස්සේ මා හිර කර තබාගෙන සිටියේ මගේ නොදැනුවත්කම යි. මා වරදවා තේරුම් නොගන්න, මම ස්ත්‍රීවාදිනියක නො වෙමි. තනපට අඳින්නට අකමැති නම් එය නොඇඳ සිටිනවා මිස, එය පුච්චා දමන්නට මට හේතුවක් නැත. මට සාක්ෂි දැරිය හැක්කේ මා සම්බන්ධයෙන් සත්‍ය වන දෙය සහ මගේ යථාර්ථය ගැන පමණකි.

මෑතක දී මම උත්සවයකට සහභාගි වුණෙමි. එහි දී බෞද්ධ භික්ෂුවක් කතාවක් පැවැත්වූයේ ය. තමන් කල්මුනේ ප්‍රදේශයෙහි පෙර පාසලක් පවත්වා ගෙන ගිය සැටිත්, ළමයින් සමග වැඩ කිරීමට තමන් කොතරම් ප්‍රිය කළේ ද යන්නත් හෙතෙම ශ්‍රාවකයන්ට කියා සිටියේ ය. තමන් හැදී වැඩුණේ අනාථ ළමයින් සඳහා වෙන් වුණු නිවාසයක බව සඳහන් කළ හෙතෙම, ළමයින් දුටු විට ‛මහත් දුකක් මට ඇති වෙනවා ’ යි පැවසුවේ ය. ජීවත් නොවිය යුතු ජීවිත ගත කරන කාන්තාවන් දුටු විට මට දැනෙන්නේ ද මේ ‛මහත් දුක ’ ම යි. ශෝකය සහ කෝපය යි. තමන්ගේ අයිතිවාසිකම් සඳහා නැගී සිටීම කාන්තාවකට දුෂ්කර කරවන ක්‍රමයක්, කාන්තාවන් ආරක්ෂා නොකරන ක්‍රමයක්, කාන්තාවන්ට වෙනස්කම් කරන ක්‍රමයක් සහ කාන්තාවන්ට එරෙහි සියලු හිංසනයන් සාමාන්‍ය දේවල් ලෙස අනියමින් පිළිගන්නා ක්‍රමයක් කෙරෙහි පවතින කෝපය යි.

මතයක් දැරීම සම්බන්ධයෙන් පහර කෑමට සිදුවිම කෙබඳුදැයි මම දනිමි. කියන දෙයකට පෙරළා යමක් කීම නිසා පහර කෑමට, මේ දැන් කී දෙයට ඔහු නොකැමති වීම නිසා පහර කෑම, ඔහු බීමතින් සිටි නිසා පහර කෑම, ඔබට අයිතිවාසිකම් තිබෙන බව හැඟී ඒවා ඉල්ලා සිටි නිසා පහර කෑම, ඔබට සාරධර්ම තිබුණු නිසා සහ ඔබ ඒ සඳහා නැගී සිටි නිසා පහර කෑම, ඔබ ගරු කරන්නේ නැතැයි ඔහුට සිතුණු නිසා පහර කෑම, කෙබඳු දැයි මම දනිමි. මා පහර කා තිබෙන්නේ ඊට වැඩි දෙයකට නො වේ. ඔබ කිසි ම වැදගැම්මකට නැතැයි, එනම් ඔබට කිසි දෙයක් නැතැයි, ඔබගේ දෙමාපියන්ගෙන් වැඩක් නැතැයි, ඔබ ආතක් පාතක් නැති එකියකැයි සහ ඔබගෙන් කිසි කලෙක පලක් නැතැයි පවසන විට, ඔබට දැනෙන දේ කෙබඳු දැයි මම දනිමි.

මේ බොරු විශ්වාස කිරීම කෙබඳු දැයි මම දනිමි.

පැමිණිල්ලක් කිරීමට (එසේ කිරීමට මා යොමු කළ යුතුයැයි මගේ මව සබුද්ධිකව කල්පනා කළ නිසා) ගොස් පොලිස් ස්ථානයක පොරොත්තු වෙමින් සිටීම සහ පොලිස් නිලධාරීන් ඔබ දෙස බලා සිනා සීම, වරද කළේ ඔබ යැයි ඔබට හැඟෙන පරිදි අවඥා සහගතව ඔබ දෙස බැලීම, කෙබඳු දැයි මම දනිමි. හඬා වැටෙන දරුවෙකු අත දරා ගෙන, මුහුණ රතු පැහැ ගැන්වී ලජ්ජාවට පත්ව, එම ඉරණමට ගොදුරු වුණු අනෙක් ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙකු මෙන් තනිව එහි සිටීම කෙබඳු දැයි මම දනිමි. තමන්ට හිංසා කරන පිරිමියෙකු හැර යාමට වුවමනා වීම සහ එසේ කිරීමට බෙහෙවින් බිය වීම, කෙබඳු දැයි මම දනිමි. තම බිරිඳට, තම දරුවාගේ මවට නිසි පරිදි සැලකීමේ වැඩි වගකීම තිබෙන්නේ ඔහුට යැයි ඔබ පසුව දැන ගත්තත්, ඔබගේ දරුවා ගැන සිතා විවාහය තුළ රැඳීම ඔබගේ වගකීම ය වැනි හැඟීමක් ඇති වීම කෙබඳු දැයි මම දනිමි.

මධ්‍යම රාත්‍රියෙහි ඔබ නිවසින් එළියට ඇද දමා දොරගුලු ලෑ හැකි යැයි ඔහුට සිතුණු නිසා ඔහු එසේ කිරීම, බියෙන් මිරිකී ගුළි ගැහී සිටීම සහ කඳුළු සලමින් කම්පා වීම, කෙබඳු දැයි මම දනිමි. ඔබට සැබවින් ම වුවමනා කරන එක ම දෙය හිංසා කිරීම නතර කිරීමව තිබිය දී, කාලය සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි හෝ ඔහොම යන කොට එයා වෙනස් වේ යැයි හෝ ඔබ ඉක්මන් නොවිය යුතු යැයි ඔබ වටා සිටින සියලු වැඩිහිටියන් ඔබට පවසන විට කෙබඳු දැයි මම දනිමි. අද දවසේ තවත් කාන්තාවන් කී දෙනෙකු මෙම දුර්දසාවට මුහුණ පා සිටිනවා ද? ඉක්මන් නොවන්නැයි, ඔළුව ‛පාත් කර ගෙන’ ඉන්නැයි, දරුවා ගැන හිතා ඉවසැන්නැයි කාන්තාවන් කී දෙනෙකුට උපදෙස් දෙනවා ඇද්ද? මහත්තයා එක්ක කතා කරන කොට පරිස්සමින් යැයි, එයා කේන්ති ගස්සන්න එපා යැයි , යාච්ඤා කරන්නැයි, පල්ලියට යන්නැයි, දින පොතක ලියන්නැයි, පව් සමා කර ගන්නැයි, ආගම දහමට අනුව නිවැරදිව ජීවත් වෙන්නැයි, පූජාවල් පවත්වන්නැයි, කී දෙනෙකුට නම් කියනවා ඇද්ද? තම සැමියන්ගෙන් පහර කනවාට අමතරව, කාන්තාවන් කී දෙනෙකු තමන් නොකළ වැරදි සම්බන්ධයෙන් දොස් පවරා ගනිමින් සහ වගකීම භාර ගනිමින් තමන්ට ම පහර දී ගන්නවා ඇද්ද? කාන්තාවන් කී දෙනෙකු තම මුළු ජීවිතය පුරා මෙම වැරදිකාර හැඟීම දරා සිටිනවා ඇද්ද? තමන් එසේ නොකළ යුතු බව දන්නේ කී දෙනා ද?

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යාපනයේ ද ප්‍රධාන ප්‍රවාහයේ සාකච්ඡාවේ ද බරපතළ හිඟකමක් පවතියි. කතා නොකර සිටීමෙන් අප කරන්නේ ඊට දායක වීම පමණකි. කළු සුදු ඡායාරූපවලින්, සංකේත සහ ප්‍රචාරක පෝස්ටර කට්ටල මාර්ගයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිරූපණය කරනු ලැබුණත්, හඬක් නැගිය හැකි අපේ අය කතා නොකරන්නේ ඇයි? ඉංග්‍රීසි කතා කරන මධ්‍යම සහ ඉහළ පන්තිවල අපි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නූගත් සහ දුප්පත් පන්තිවලට පමණක් බලපාන දූරස්ථ යථාර්ථයක් ය යන අදහසෙන් සැනසීමට කැමැත්තෙමු. කෙසේ වුව ද, කටුක සත්‍යය නම් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සෑම තැනක ම, සෑම පන්තියක් තුළ ම සහ සෑම නිවසක් තුළ ම පවත්නා බව යි. ඒත් අපේ බොහෝ අය, ලජ්ජාවේ මුවාවෙන් සැඟවී, කතා කිරීම ප්‍රතික්ෂේප කරති.

මෙය කියවන යෞවනයනි, ඔබගේ පියා ඔබගේ මව හඬවනු හෝ ඔබගේ පියා ඔබගේ මවට පහර දෙනු ඔබ දැක නැද්දැයි ඔබගෙන් ම අසා ගන්න. යෞවනියනි, ඔබ හැකි තාක් නිවසින් ඈත් කර තබන සාමාජීය ජීවිතයකට ඔබ ඇතුළු වී නොගත්තොත්, ඔබට ඔබගේ මව ජීවත් වන ආකාරය ගැන හෝ ඔබ ආදරය කරන ඔබගේ පියා මව කෙරෙහි කොතරම් හිංසාකාරී විය හැකි ද යන්න ගැන අවධානය යොමු කළ හැකි දැයි ඔබගෙන් ම අසා ගන්න. ඔව්, මෙහෙම නොවෙන තැන් තිබෙනවා තමයි. ඒත් මා කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් හෝ ඔවුන් ගැන නොවේ. මා කතා කරන්නේ, මේ ක්‍රමය තුළ සිටින දැන්, අද හිංසාවට ලක් වන ඔබ හැම දෙනා ම වෙනුවෙනි. දැන්, අද යම් කෙනෙකු හිංසාවට ලක් වනු බලා සිටින ඔබ හැම දෙනා හට ය. ස්ත්‍රී-පුරුෂයන් අතර සමානතාව ගැන කතා කරන නමුත්, ඔබත් ඔබගේ සහකාරියත් අතර සම්බන්ධතාවේ අත්තිවාරම විය හැකි සාධාරණ පදනමක් තනා ගැනීම සඳහා යොදා ගත හැකි උපදේශනය, යුගල චිකිත්සාව, කෝපය පාලනය කර ගැනීම සහ තවත් මෙවලම් රැසක් ඇත යන අදහස මග හරින පිරිමින්ට ද මම කතා කරමි. මා කතා කරන්නේ ඔබට ය. ඉතින් ඔබත් කතා කළ යුතු නො වේ ද? මේ වර්ගයේ හැසිරීම් සහ ආකල්ප එපා යැයි පැහැදිලිව නම් කළ යුතු නො වේ ද?

මව්වරුන් කී දෙනෙකු දරුවන් වෙනුවෙන් යැයි සිතා අවාසනාවන්ත විවාහ ජීවිත ගත කරනවා ඇද්ද? ඒ දරුවන් තමන්ගේ නිවෙස් තුළ සිදුවෙන දේ තුළින් හරි දේ කුමක්ද වැරදි දේ කුමක්දැයි වටහා ගත නොහැකිව අතරමං වෙනු ඇත. කාන්තාවන් කී දෙනෙකු කාන්තාවන්ට සාධාරණව සැලකිය යුතු යැයි තම පුතුන්ට පවසා තමන් පාගා ගෙන සිටීමට තම සැමියන්ට ඉඩ දෙනවා ඇද්ද? යම් නිර්භීතකමක් නොමැති නම්, කාන්තාවන්ගේ පැත්තේ අවස්ථාවන් තිබුණත් මෙම හිංසාකාරී චක්‍රය අඛණ්ඩව පවතිනු ඇත. (තමන් අවංකව දරන අදහස කුමක් වුවත්),පුතුන්, තම බිරින්දෑවරුන්ට නරක අන්දමින් සලකන වැඩිහිටි පිරමින් බවට පත්වෙනු ඇත. දියණියන් කිසි දා විවාහ නොවන බව තරයේ පවසමින් වැඩිහිටි වියට පත්වෙනු ඇත. විවාහ ජිවිත අසාර්ථක වනු ඇත. දරුවන්ට බිඳ වැටුණු පවුල් තුළ ජීවත් වීමට සිදු වනු ඇත (මගේ දරුවාට සිදුවුණා වැනි). එහෙත් ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය මෙය යි: හිංසාකාරී පියෙකු සිටින පවුලක් තුළ ජිවත් වීම, පියෙකු නැත්තටම නැති පවුලක් තුළ ජීවත්වීමට වඩා පීඩාකාරී නොවන්නේද?

අද දින මා වඩා මුහුකුරා ගොස්, වඩා ප්‍රඥා සම්පන්න වී, වඩා ශක්තිමත් වී සිටින නිසා, මා මගේ කතාවෙන් කොටසක් හෙළි කළෙමි. එහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තව දුර සාකච්ඡාවක්, තව දුර පිළිගැනීමක්, ඊට එරෙහිව හඬනැගිීමත්, එය ඉවසා සිටීම නතරකිරිමත් අවශ්‍යය. ශ්‍රී ලංකාවට යාමට තවත් බොහෝ දුර ඇත. අධිකරණ ක්‍රමය, පමා වීම්වලින් ද පරිපාලනමය අසාර්ථකකම්වලින් ද අල්ලසෙන් සහ දූෂණයෙන් ද යුක්ත ය. මගේ විවාහය අවසන් වී වසර තුනක් ගත වී ඇතත්, තව මත් මා බලාපොරොත්තු වන සාධාරණය මට ලැබී නැත. නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු ය, උසාවි තුළ කෙරී ගෙන යන අල්ලස් ගැනීම සහ දූෂණය අවසන් කළ යුතු යැයි ඉල්ලා සිටින අවංක නීතිඥයන් අපට අවශ්‍ය ය. හෘදය සාක්ෂියට අනුව උපදෙස් දෙන උපදේශකයන් අපට අවශ්‍ය ය. තමන්ට මූල්‍ය ස්වාධීනත්වය ලබා දිය හැකි රැකියාවක් ලබා දීමට අධ්‍යාපනයට හැකි බව කාන්තාවන් අවබෝධ කර ගැනීම අපට අවශ්‍ය ය. විශ්වසනීය ළමා රැකවරණ ක්‍රමයක් සහ විශ්වසනීය පොලිස් බලකායක් අපට අවශ්‍ය ය. ඔව්, අප සිටින්නේ මේ සියල්ලෙන් බොහෝ ඈත ය.

ඒත් අද මම කතා කළෙමි. හෙට ඔබ කතා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. සමහර විට අනිද්දා තවත් අය කතා කරනු ඇත. අපගේ ඊළඟ පරම්පරාවේ දරුවන් ඉන් ප්‍රයෝජන ලබනු ඇත.

මේ රට තුළ තනිකඩ මවක ලෙස ජීවත් වීම පහසු කටයුත්තක් වී නැත. හැම විට ම අවධානයට ලක් වන බවක් මට හැඟේ! ජිවිතයේ පිරිමියෙකු නැති වීම, ත්‍රිරෝද රථ රියැදුරන්ට, බාස් ලාට, කිසි ම සදාචාරාත්මක තැකීමක් නැති අමතර පන්ති ගුරුවරුන්ට, නීච පොලිස් නිලධාරීන්ට, රළු පරළු අසල්වැසියන්ට, පාසල් විදුහල්පතිවරුන්ට සහ තවත් බොහෝ අයට මා පහසු ඉලක්කයක් බවට පත් කොට ඇත. තනිකඩ කාන්තාවක හෝ තනිකඩ මවක මුහුණ පාන දුෂ්කර ම දෙය සාමාජීය ගර්හාවට ලක් වීම බව මම වටහා ගෙන සිටිමි.

ඒත් උදෑසන අවදි වුණු විට, මේ දවස මා සතු යැයි, මා ඇති කර ගන්නා ඉලක්කයන් මගේ ම යැයි, සියලු ජයග්‍රහණ මගේ ම යැයි, මා ගන්නා තීරණ මගේ ම යැයි සහ මා පුතු මගේ ම යැයි මට දැනෙන කල, මට සතුටුයි.

රොඑල් රේමන්ඩ්[Roel Raymond]