Colombo, Featured Articles, Features

අපේ කාලයේ වීරවරියක් – කැමිලා වලේෂෝ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]


විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති. ‛‛ කැමිලා, අපි උඹට ආදරෙයි’’

බ්‍රසීලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි යට මහලේ පොදිකන සාධාරණත්වය සොයන තරුණ පිරිස් කැ ගසති: ‛‛ කැ මි ලා, කැ මි ලා, කැ මි ලා’’

ඇය මැජික් පෙට්ටියේ ලාබ ජනප්‍රියත්වය නැමැති ඇස් බැන්දුමෙන් ජනයා මන්මත් කරගත් සෝබනියක නොවේ. චිලී ශිෂ්‍ය ව්‍යාපාරයේ නායිකාව බවට පත්වෙමින් විදියේ අරගලයේ පන්නරයෙන් මුවහත් වූ ඒ මුවහතින් චිලී පාලකයින් සොලවා ලන කෙල්ලෙකි. ඇය ගිනිකන සරසිවි අධ්‍යාපානයට එරෙහි උද්ඝෝෂන ජාතික තලයේ කැරැල්ලක් බවට ගෙන ආ සටන්කාරියකි.

ඇයගේ මේසය පිටුපස බිත්තියෙහි ඇත්තේ ලතින් ඇමෙරිකානු පාපන්දු විරයා වන මෙර්සිගේ පින්තූරයක් නොවේ. සමාජවාදී දේශපාලන මතවාදයේ ආදි කර්තෘවරයා වූ කාල් මාක්ස් ගේ පින්තුරයකි.

බ්‍රිතාන්‍යයේ මහත් පිළිගැනීමක් සහිත ද ගාර්ඩියන් පුවත් පත 2011 වසරේ ජනප්‍රියතම විරෝධතාකරු/කාරිය නම් කරන ලෙස සිය පාඨකයනට ආරාධනය කලේ ය. ඒ ඇමෙරිකානු ටයිම් සඟරාව 2011 වසරේ වරිතය ලෙස විරෝධතාකරු නම් කිරීමට ප්‍රතිචාරයක් වශයෙනි.

2011 වසර තරුණ විරෝධතාකරුවන් රැසක්ම කරළියට ගෙනැවිත් තිබුණි. ඊජිප්තු විප්ලවයේ බොල්ග්කරුවූ වොල් ග්හොනිම්, ටියුනීසියානු විප්ලවයේ ගිනි පුපුර බවට පත්, සිරුරට ගිනි තබා ගෙන දිවි පිදූ මෙහෙමොඩ් බූආසිසි වැන්නෝ ද ඒ අතර වූහ. එනමුත් අවසාන ප්‍රතිඵලය වූයේ සියයට 74ක් මනාප ලබා ගත් කැමිලා වලේෂෝ ය. මොහොමඩ් බුඅසිසි දෙවැන්නා විය.

2011 දෙසැමිබරයේ දී ටයිම් සඟරාව බලපෑම් සහිත පුද්ගලයින් 100 දෙනා අතරට කැමිලා වලේෂෝ ද එක් කර තිබුණි. රුඩිකල් සමාජ ව්‍යාපාරයක නායිකාවක් වශයෙන් විසි තුන් හැවිරිදි යෞවනියක ජගත් කරලියෙහි මෙවැනි ස්ථානයක් අල්ලා ගත් වෙනත් අවස්ථාවක් අසන්නට නැත.

වාමාංශික පවුල් පසුබිමකින් පැමිණි කැමිලා 2006 දී භූගෝල විද්‍යා සිසුවියක ලෙස චිලී විශ්ව විද්‍යාලයට ඇතුල් වී ඉක්මනින්ම ශිෂ්‍ය දේශපාලනයට බැස්සේ ය. කොම්යුනිස්ට්වාදීන් වූ ඇගේ මාපියන් දෙදනාම 1973 – 1990 දක්වා චිලිය පාලනය කළ මෘග ඒකාධිපතියා වූ අගොස්තෝ පිනෝචේට විරුද්ධකම් පෑමේ අරගලයේ දෟඩ සටන් කරුවෝ වුහ. එකල කැමිලා ජීවත් වූයේ සාමූහික ජනාවාසයන්හි ය. චිලියේ ශිෂ්‍ය ව්‍යාපාරය රණකාමී පියවර තබන්නට පටන් ගත් වර්ෂ 2010 දී ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙස ඇය තෝරා ගැනුනි. ඇයට පෙර එම තනතුර දරා තිබුනේ එකම එක ශිෂ්‍යාවකි.

පුද්ගලීකරනය කරන ලද අධික වියදම් සහිත අධ්‍යාපන ක්‍රමයෙහි ජනතාවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා 2010 අප්‍රෙල් මාසයේ දී සරසවි සිසුහු වීදි අල්ලා ගන්නට පටන් ගත්හ. ඒ අරගලය මැද නැගී සිටියේ අපේ වීරවරිය වන කැමිලා වලේෂෝ ය. චතුර කථිකත්වයකට මෙන්ම නිර්භය සිතකට උරුමකම් කී ඇය රට පුරා යමින් සරසවියේ අරගලය උසස් පාසැල් කරා ද සමාජය කරා ද ගෙන ගියා ය.

පසුගිය ජනවාරියේ ස්පාඥ පුවත්පතක් සමඟ කතා බහකට එක් වූ කැමිලා කීවේ ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කිරීමේ පාලකයින්ගේ සිහිනය කිසිදා සාර්ථක නොවනු ඇති බවයි. ‛‛අපට මුලින් අධ්‍යපාන ප්‍රතිසංස්කරණ අවශ්‍ය යි. නමුත් අපේ ව්‍යාපාරය පුලුල් සමාජ සාධාරණත්ව ව්‍යාපාරයේ කොටසක්. වඩා යහපත් අයිතීන් සහිත සමජයක් ගොඩ නැගීමේ සමාජ ක්‍රියාදාමයේ කොටසක්’’ ඇය කීවාය. ‛‛ චිලියේ ඇති නැති පරතරය දරුණුයි. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. රජය විසංවාදය ඉවසන්නේත් නැහැ. මේ අසාධාරණයට අපි මුහුණට මුහුණ දිය යුතුයි. අපේ අභියෝගය ඒකයි. අපි කියන්නේ සටන් කරමු. මේ ක්‍රමයම ප්‍රති නිශ්පාදනය කිරීම නවත්වමු කියල යි’’

ශිෂ්‍ය අරගලයේ නායිකාව ලෙස විදි සොළවා ලූ ඇයට ප්‍රථමයෙන් විලී ආණ්ඩුව සැළකූයේ ත්‍රස්තවාදියකුට සළකන ලෙස ය. පුවත් පත් සාකච්ජාවකින් අනතුරුව අධ්‍යාපාන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ගී ගයමින් සටන් පාඨ කියමින් පා ගමනක යෙදුනු ඇය ඉලක්ක කළ දේශපාලන පොලීසිය කදුලු ගෑස් ද ගම්මිරිස් වතුර ද විද ඇය සිහි සුන් කළා ය. තෙත බරිත වූ සම පාසා කරගෙන යන රසායනයක් ද එම ජලයෙහි අන්තර්ගත විය.

‛‛ අපි මුලින් හිතුව විරුද්ධකම් පාන්න පුලුවන් කියළ, එත් රසායන මිශ්‍ර ජල ප්‍රහාරයෙන් පස්සේ හුස්ම ගන්න බැරුව ගියා. අපට දුවන්න විතරයි ඉතුරු වුනේ. එතකොට අනෙක් පැත්තෙන් මූණටම වෙනත් රසායනයක් සහිත වතුරක් විද්ද. ඒක හරිම සැරයි. මගේ මුලු ඇඟම පිච්චෙන්න වුණා. ඒක හරිම ම්ලේච්ජයි’’ ඒ ඇයගේ වචන ය.
අනතුරුව ඇයව රෝහල් ගත කෙරුණි.

එදින සැන්දෑවෙහි පොලීසිය සහ රුඩිකල් ශිෂ්‍ය කණ්ඩායම් අතර විදී සටන් ඇවිල ගිය සන්තියාගෝ අගනුවර කැරැල්ලක සිරි ගනිමින් ගිනියම් විය. රජය මේ ගැටුමට කැමිලා වලේෂෝ වගකිව යුතු යැයි බැණ වැදුණි. එනමුත් තමන් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂනය ප්‍රචණ්ඩ බවට හරවාලූයේ දේශපාලන පොලීසිය යැයි ඇය බය නැතිව එක විටෙකම කීවා ය.
ඇයගේ මහත් සම්පතක් නම් එඩිතරකම සමඟ මුහුවූ බුද්ධිමය ප්‍රතිචාරයන් ය.

‛‛ බැල්ලි මරල කුණු අතුගා දමමු’’ යැයි කැමිලා ගැන අන්තර් ජාල ටිවිට් පණිවිඩයක් යැවූ සංස්කෘතික ඇමැති, ගෙදර යැවීමට සමත් වූයේ ඒ එඩිතර බවය.

කැමිලා වලේෂෝ අන්තර් ජාල සමාජ ජාලයන්හි අතිශය ජනප්‍රිය ය. ඇයගේ ට්වීට් ජාලයෙහි 350,000ක් සිටිති. ඇයගේ මහුණු පොතෙහි 65,000කි. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායිකාව ලෙස එක් කැදවීමකින් දහස් ගනන් ශිෂ්‍ය ජනයා අරගලයට කැදවීමට ඇයට හැකියාව තිබුණි. මැති ඇමැතින් හමුවට, මානව හිමිකම් කොමිසමට ඇය සමඟ ගමන් කරනු වස් දහස් ගණන් පොදි කෑහ. රට අස්ථාවර කරන්නේ යැයි චිලී ආණඩුව ඇයට චෝදනා කරන තරමට ඇයගේ නායකත්වය බලගතු විය. අන්ත දක්ෂිණාංශික පාලනයක් ගෙන යන විලී ජනාධිපති අවසානයේ දී ශිෂ්‍ය ව්‍යාපාරය සාකච්ජාවකට කැදවමින් කියා සිටියේ ඉල්ලීම් පිළිබඳ සාකච්ජා කිරීමට තමන් සූදානම් බවයි.

ප්‍රචණ්ඩ දේශපාලනයක යෙදෙන්නේ යැයි කැරෙන චෝදනා පසෙක ලන කැමිලා වලේෂෝ කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය සාධනීය වර්ධනයන් අත්පත් කරගෙන ඇති බවයි. ‛‛ කාලයක් පුරා චිලී තරුණ පරපුර නව ලිබරල්වාදී පුද්ගලිකත්වයේ සහ පරිභෝජනවාදයේ ගිලිල හිටියෙ. ඒක මම මම සහ මම ගැන පමණක් කියැවෙන එකක්. අනෙකා ගැන හැගීමක් එතන තිබුණෙ නැහැ. අද ඒ තත්තවය වෙනස් වෙමින් එනවා’’ යැයි ඇය ආඩම්බර වෙයි.

‛‛ දැන් තරුණ පිරිස් ඉතිහාසය අල්ල ගෙන. ගරුකටයුතු දේශපාලනයකට පණ පොවල තියෙනව. මේ වෙනස ඇති වෙන්නේ පට්ට ගිය දේශාපාලන ක්‍රම ප්‍රශ්ණ කිරීමෙන්. ඒ හැමෝම වැඩ කරේ මහ ජාවාරම්කාරයින්ටයි බලගතු ආර්ථික කණ්ඩායම්වලටයි’’ ඈ කියන්නී.

2011 දෙවන බාගය පුරා චිලිය පුරා ඇවිල ගිය අධ්‍යපන ප්‍රතිසංස්කරණ අරගලය තුලින් ඉස්මත්තට ආ ඇය අද චිලීයේ පමණක් නොව ලතින් ඇමෙරිකාවේ ම රුඩිකල් තරුණ ව්‍යාපාරයන්හි සංකේතයකි. අරගලයට එඩිතර සහ දුරදකින දේශපාලන නායකත්වයක් සැපැයීමට ඇය සමත් විය. මේ අරගලයේ පාබල සටන්කරුවන් වුයේ වයස 16- 20 දක්වා වූ ශිෂ්‍ය පිරිස් ය.

අන්තර් ජාල සමාජ ජාලයන් හරහා ශිෂ්‍ය සටන්කරුවන් අතර වඩාම හදුණාගත හැකි මුහුණ බවට කැමිලා වලේෂෝ පත්ව තිබුණි. එකවරකට 200,000 තරම් ශිෂ්‍ය සමූහයක් පුද්ගලිකකරනයෙන් තොර නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපානය උදෙසා අරගලයට කැදවීමට ඇගේ නායකත්වය ප්‍රබල විය. නිදහස් අධ්‍යපාන පහසුකම් වෙනුවෙන් පාරට ආ අහිංසක ශිෂ්‍ය ව්‍යාපාරය අවසානයේ දී අයුක්ති සහගත සමාජ ක්‍රමයේ ප්‍රබලතම විවේචනය බවට වැඩී ආවේ කැමිලා වැලේෂෝගේ නායකත්වය යටතේ ය. එරට පුවත් පත් සමීක්ෂන මගින් පෙන්වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉල්ලීම් ජනගහණයෙන් සියයට 70ක් ම අනුමත කරන බවයි. කැමිලා ලද වැදගත්ම දිනා ගැනීම එය යි. එනම් හුදකලා බව වෙනුවට අරගලය ජනතාවගේ ආශීර්වාදය ලබා ගැනීමයි.

කැමිලා වලේෂෝ මෙන්ම අධ්‍යපාන ප්‍රතිසංසකරණ ව්‍යාපාරයද ජනප්‍රියක්වය අල්ලා ගත්තේ තවත් එක් වැදගත් සාධකයක් තිබූ නිසා ය. එනම් ජනමාධ්‍ය නිදහස ය. රිදී මුදුවක් නසයෙහි පැළද කැමිලා වලේෂෝ රූපවාහිනියෙහි කරන චතුර සහ තර්කානුකූල වාද විවාද ඇය ජනප්‍රවාදයක් බවට පත්කර තිබේ. මේ අතර සම්ප්‍රදායික දේශපාලනඥයින් අප්‍රසාදයට පත් වෙමින් යන අතර තුරය. ප්‍රකොටිපති ජනාධිපති පිනෙරාගේ ජනප්‍රියත්වය සියයට 27 දක්වා පහළ බැස්ස වූයේ මේ අරගලය යි.

මෙම වර්ධනය වෙනත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු මෙසේ විග්‍රහ කරයි: ‛‛කැමිලාට පුලුවන් පුළුල් පරාසයක ජනයාට අමතන්න. ජනතාවාදි කතාවලින් දුගීන් ඇද ගන්නවා වෙනුවට ඇය මැද පන්තියටත් දැනෙන්න ආමණ්ත්‍රණය කරනවා. ඒ නිසාම අද තරුණ දේශපාලනයට සමාජයේ පිළිගැනීම වැඩියි’’.

චිලියේ දේශපාලන න්‍යාය පත්‍රයෙහි රුඩිකල් සමාජ ප්‍රතිසංස්කරණ ඉහළින්ම රැඳවීමට සමත් වූ තරුණ ව්‍යාපාරයකට නායකත්වය දුන් විසි තුන් හැවිරිදි කැමිලා වලේෂෝ නියත වශයෙන්ම අපේ කාලයේ වීරවරියකි. ඒ ඉතිහාසයෙහි අවශ්‍යම මොහොතකදී සමාජ ප්‍රගමනයේ බලවේගයන්ට නායකත්වය දීමට ඇයට තිබූ වාසනාව, ධෛර්‍ය සහ හැකියාව නිසා ය. ඒ නායකත්වය දේශපාලන තලයෙහි දිගටම පවත්වා ගැනීමට ඇය දරන උත්සාහය නිසා ය. සියල්ලටමත් වැඩියෙන් සමාජ සාධාරණත්වය පිළිබද ධජය සමාජ ප්‍රතිසංස්කරණ අරගලය තුළ ඉහලින්ම ඔසවා සිටිමට ඇයට තිබූ දැක්ම නිසා ය.

විලී කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සාමාජිකාවක වන කැමිලා වලේෂෝ ‛‛ අපට ලෝකය වෙනස් කළ හැක’’ නමින් සිය ප්‍රථම දේශපාලන පොත පසුගිය ජනවාරි 08දා එළිදැක්වූවා ය. ඒ එරට කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය මහෝත්සවය අතරතුරය.

ශිෂ්‍ය දෝංකාරය, රුවැති සටන්කාරිය, විලී වසන්තයේ පුෂ්පය, යනාදී අනේක ආදර නමින් ලතින් ඇමෙරිකාවේ රුඩිකල් තරුණ ජනයා දකින අමතන කැමිලා අපේ කාලයේ සැබැ වීරවරියකි.


සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]