Colombo, Featured Articles, Features

ඒයි.. පිරිමියා !

– Photo courtesy Reuters

ඒයි, පිරිමියා ! ඔව් ඔහේ තමයි. විනාඩියකට එනව ද? මොක ද, මට ඔහේට කතා කරන්න ඕන. ඔව්, ඔහේට තමයි.

මම අද උදේ වැඩට යන්න කලබලෙන් ත්‍රීවීලර් එකෙන් බහිද්දි, ඔහේ බෞද්ධාලෝක මාවතේ ඔහේගෙ මුර කුටියෙ ඉඳං මං වෙනුවෙන් පෙම් ගීයක් උරුහන් බෑව. ඔහේ රාජකාරියෙ හිටියෙ. අපි දෙන්න පෙම්වතුනුත් නෙවි. අනික, මරණවා කිව්වත් සිංදුවකට යන්තමටවත් තාලෙ අල්ලන්න ඔහේට මෙලෝ හැකියාවක් නැහැ….

ඉතිං මට කුතූහලයක් ඇති වුණා ඔහේ මොන එහෙකටද ඒක කෙරුවෙ කියල දැනගන්න. ඒ සිංදුව ඔහේගෙ තොල් අස්සෙං එළියට පැනලා කලිසම අස්සට රිංගලා අද උදේ ඇති කරගන්න බැරි වෙච්ච අර කෙලින්විල්ල ඇති කළාද? ඒකෙං මුර පොළේ ඉන්න අනිත් අයට වැඩියෙන් ඔහේට ලකුණු ලැබුණ ද? ඒකෙන් ඔහේට සතුටක්, ශක්තියක්, පිරිමිකමක් දැනුණද?

ඒකෙන් ඔහේට ඔහේ පිරිමියෙක් බව දැනුණද?

ඒකෙන් මට ඇති වුණු හැඟීම මොන වගේ ද කියල දැන ගන්න ඔහේ කැමති ද? අවංකව ම කියනව නං, මට ඒකෙන් ඒ තරම් සතුටක් ඇති වුණේ නැහැ. මට දැනුණෙ ලජ්ජාවක්. මට දැනුණෙ මගේ ඇඟ ඇතුළෙ නළියන කෝපයක්. අපහසුවට පත් වුණු මං, පාර පනින්න කලින් උවමනාවට වඩා බරක් දාලා වම් පැත්ත බලලා, ඊට පස්සෙ දකුණු පැත්ත බලලා, ආයෙමත් වම් පැත්ත බැලුවා.

ඉතිං මි අපහසුවට පත්වුණු බව දැනගත්ත ම ඔහේට තවත් සතුටු ද? තවත් ශක්තිය ලැබුණ ද? කලින්ටත් වැඩි පිරිමිකමක් දැනුණ ද?

ඒකෙන් ඔහේට වැඩි පිරිමිකමක් දැනෙනව ද?

ඒකෙන් මට හැමතිස්සෙම මං ගැන කුඩා හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. පහු ගිය දෙසැම්බර් මාසෙ අග දවසක සීලෝඩ් හෝටලෙන් රෑ කෑමට ඉඳි ආප්ප ගනිද්දි, මෙතැන කියන්න බැරි තරං අවලං දෙයක් මට කියන්න කලින්, ඔහේ ඔහේගෙ ලොකු දිව කට ඇතුළෙත්, කටෙන් එළියෙත්, කට වටේටත් කරකවමින් තලු මර මර හිටිය මොහොතෙ මම ඒක දැක්ක. එදා ඇඟ ඇතුළෙ නළියපු කෝපය එළියට පැන්න, මම කතා කළා. ‛පාසලේ සිංහල විවාද කණ්ඩායමේ නායිකාව’ වෙලා ඉඳපු මං චතුර සිංහලෙන් කතා කරලා ඔහේට කිව්වා අ) ඒක ආපහු කියන්න කියල; ආ) ඔහේට ඔහේගෙ අක්ක හරි නංගි හරි ගැනත් ඒ විදියෙ හැඟීම් ඇති වෙනව ද කියල; ඇ) එළියෙ වාහනය නතර කර ගෙන ඉන්න මගේ සහෝදරයත් එක්ක ඒ ගැන කතා කරන්න කැමති ද කියල. එදා ලජ්ජාව ඇති වුණේ ඔහේට, අපහසුවට පත් වුණේ ඔහේ. ඔහේ හෙල්මට් එකත් අරන් ඉක්මනට එතැනින් ලිස්සලා ගියා.

ඒ තමයි පිරිමියා.

ඒ දවසෙ, මට සතුටක් දැනුණ.

ඒත් මං හැම තිස්සෙ ම ප්‍රතිප්‍රහාර දෙන්නෙ නැහැ. ඒක රඳා පවතින්නෙ, සිද්ධිය වෙන්නෙ දවසෙ කොයි වෙලාවෙ ද කොතැන දි ද කියන එක උඩ. මම ඉන්නෙ කා එක්ක ද කියන එක උඩ. ඔහේ ඉන්නෙ කා එක්ක ද කියන එක උඩ. ඇතැම් වෙලාවට ස්ත්‍රීවාදිනියකට ඒක අමතක කරල නිකං ඉන්න බැරි වෙනව. මං මූණ දෙනව. පාන්දර 4.30ට අවදි වෙලා වැඩට යන්න ලක ලෑස්ති වෙන අම්ම කෙනෙක් බාග විට හුඟක් වෙහෙසට පත් වෙලා ඉන්නෙ. මාත් ඉතිං ඔහේ කියන දේ ඇහුණෙ නෑ වගේ, ඔහේව දැක්කෙ නෑ වගේ, ඔහේ ඉන්න බව දැනුණෙ නෑ ඒක ඉවසගෙන එතන පහු කර ගෙන යන්න යනව.

ඔහේලගෙ සමහර අය මට ගරුසරු ඇතිව සලකනව, කරුණාව යි. මගේ ත්‍රීවිල් රියදුරා, මං මේ කියන්නෙ ඔහේ වගේ අය ගැන. ඔහේ අවුරුදු හතරක විතර ඉඳන් මාව ත්‍රීවිල් එකේ එහෙට මෙහෙට එක්ක යනව. වතාවක් ඔහේ මාව බේර ගන්න ගිහිං ගුටි නො කා බේරුණේ යන්තමට. ඒත් ඔහේ මාත් එක්ක ත්‍රීවීලරයේ යන කොට, දණ හිසෙන් ඉහළට ඇඳ ගෙන යන අනෙක් හැම ගැහැණු කෙනෙක් දිහා ම කාමුක විදියට බලන හැටි, ඔහේගෙ ඇස්වල තියෙන කාමුක බැල්ම එයාලට මග නො හැරෙන තරමට හැරි හැරි එයාල දිහා බලන හැටි, මං තාමත් බලා ගෙන ඉන්නව. හැබැයි ඔහේ ඒක මට කරන්නෙ නෑ. ඔහේ මං ගැන දන්නව. හරියට ඔහේ ඒක ඔහේගෙ අම්මට, සහෝදරියට, බිරිඳට හරි, දියණියට හරි කරන්නෙ නෑ වගෙ ම. ඇත්තට ම, එහෙම කරන ඕනැ ම පිරිමියෙකුට ඔහේ පහර දෙන්නත් ඉඩ තියෙනව. ඒත් නන්නාඳුනන ගැහැණිය ගැන. ඇයට ඒක කරන්න ලේසි යි, නැද්ද? ඒකෙන් ඔයාගෙ හෘදය සාක්ෂියට අපහසුවක් දැනෙන්නෙ නැහැ.

හරි නේද පිරිමියා?

මට හදා වඩා ගන්න පුතෙක් ඉන්න වග ඔහේ දන්නව නෙ. නෑ පොඩ්ඩක් ඉන්න, ඔහේ දැනටමත් ඒක දන්නව. මොක ද, පහු ගිය සතියෙ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ හිටපු පුංචි කොලු රෑන පීරල එයාව හොයා ගන්න මං අමාරුවෙන් බෙල්ල දික් කර කර බලද්දි, ඔහේ ඔහේගෙ අත දික්කරලා ඇඟිලි විහිදුවල සාරියෙන් වැහුණු මගේ කලව අත ගා ගෙන ගියා. මේක සිද්ධ වුණේ, ඔහේගෙ බිරිඳ ඔහේගෙ පුතාගෙ අත බොහොම තදින් අල්ල ගෙන, පිස්සුවෙන් එහා මෙහා යන ඉස්කෝල වෑන් පිරිච්ච මහ පාරට එයාට දුවන්න නො දී වළක්ව ගන්න දඟලන අතරෙදි.

ඒක පැත්තකින් තියල ආපහු මගෙ පුතා ගැන කතා කරමු. කාන්තාවන්ට ගරු කරන්න කියල එයාට උගන්නන්න, එයා අඳුනන අයට වගේ ම එයා නාඳුනන අයටත්, කෙළින් කතා කරන අයට වගේ ම හිස පාත් කර ගෙන යන අයටත් ගරු කරන්න උගන්නන්න, මං මට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරමින් ඉන්නෙ. අඩන්තේට්ටම් කරන්න, අපයෝජනය කරන්න, උල්ලංඝනය කරන්න බොහෝ ක්‍රම තියෙන බවත්, ඒක ආරම්භ වෙන්නෙ සහ අවසන් වෙන්නෙ, ඇය හරි ඔහු හරි ලජ්ජාවට පත් කරන්න එයා තමන්ගෙ ශරීරය, තමන්ගෙ කට හඬ සහ තමන්ගෙ මනස යොදා ගන්න අවස්ථාවෙ දි බවත්, මං නියම වෙලාවෙ දි එයාට කියල දෙනව. එයාව මනුස්සයෙක් කරන්න මං මට පුළුවන් හැම දේ ම කරනව.

ඔව්, මනුස්සයෙක් කරන්න.

[groundviews.org වෙබ් අඩවියේ පළ වූ HEY MAN! ලිපියේ සිංහල පරිවර්තනයයි]