තොරතුරු ගලා යාම වැළැක්වීම නොව රටේ පුරවැසියන් වෙත තොරතුරු ලැබීම සීමා කිරීම යැයි නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන මගින් ප‍්‍රවෘත්ති සාකච්ඡා කැදවීම, මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම තහනම් කරමින් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන නියෝගය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා සිවිල් සමාජ සාමූහිකය විසින් අද දින (ජූලි 09) කොළඹ නිපොන් හෝටලයේදී පවත්වන ලද විශේෂ පුවත්පත් සාකච්ඡාව අමතමින් ඔහු මේ අදහස් දැක්වීය.

මෙම පුවත්පත් සාකච්ඡාවට සිවිල් සංවිධාන නායකයන්, මාධ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට එක්වූ සිවිල් සමාජ ක‍්‍රියාකාරින් දැක්වූ අදහස් පහත දැක්වේ.

නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා –

මෑතකදී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කරන මාධ්‍යවේදී පුහුණු වැඩමුලු සහ වැඩ කටයුතු නැවැත්වීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වුනා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැන් රාජ්‍ය නොවන සංවිධානවලට පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය නිවේදන පැවැත්වීම, මාධ්‍යවේදීන් පුහුණු කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මෙතැනදී රාජ්‍ය නොවන සංවිධානවල වැඩකටයුතු හරහා තොරතුරු පිට රටට යනවා කියලා වැරදි වැටහීමක ආණ්ඩුව ඉන්නවා. ඇත්තටම ගත්තොත් මේ වගේ තහනම් කිරීම නිසා සිද්ධ වෙන්නේ තොරතුරු පිට රටට යාම නතර වීම නෙමෙයි මේ රටේ ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය සීමා වෙන එක. මොකද පිටරටවල්වලට අවශ්‍ය නම් තොරතුරු ගන්න ඕනෑ තරම් මාර්ග තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ රාජ්‍යයේම විවේචනාත්මක කොටසක්. රජයේ සතුරෝ නෙමෙයි. ඕනෑම පුද්ගලයෙක්ට යම් මතයක් දරන්න අයිතියක් තිබෙනවා. ඒ අයිතිය මත සාමූහිකව වැඩ කරන්න ඒ අයට පුලුවන්. ඒ අයිතිය නතර කිරීම භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහසට වැට බැදීමක්. මේ ප‍්‍රශ්නය මහජනයා අතරට අරගෙන ගිහින් ඒ ගැන පුළුල් මතයක් ගොඩනැගීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා’’

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා

(හිටපු සභාපති – විශ්ව විද්‍යාලයීය ආචර්යවරුන්ගේ සමිති සම්මේලනය)

මේ නියෝගය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරපු දැඩි ප‍්‍රහාරයක්. පහුගිය කාලය පුරා අපි වෙහෙසුණා මේ රටේ සාමාන්‍ය ජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම පිළිබද බරපතල ගැටලුවක් තිබෙනවා කියන එක ඒත්තු ගැන්වීම සදහා. තවම රටේ ජනයා ඒක බැරෑරුම් විදිහට තේරුම් අරගෙන තිබෙන බවක් පෙනෙනන්ට නැහැ. කොහොම වුනත් මේ වගේ නියෝග නිකුත් කිරීම හරහා ගෝඨාභය රාජපක්ෂ මහත් උනන්දුවෙන් කටයුතු කරමින් ඉන්නවා අපේ පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට. ඒ ගැන අපි එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මේ වගේ ලිපියක් නිකුත් කිරීම මගින් පේන්නේ ගෝඨාභයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පාඨ ග‍්‍රන්ථවල තියෙන මූලික අවබෝධයවත් නැති බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පොත්පත්වල ලියා තිබෙන දේ ගැන දන්න සරත් අමුණුගම, ජී.එල්.පීරිස්, වාසුදේව නානායක්කාර වගේ අය ආණ්ඩුවේ ඉන්නවා. ඒ අයවත් එතුමාට කියලා දෙන්න ඕනෙ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා. මේක සමාජයේ ඇතිවී තිබෙන බරපතල තත්ත්වයක්. ගෝඨාභය කවුද පුරවැසියන්ට සංවිධානය වෙන හැටි ගැන කියලා දෙන්න? ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ විෂය පථය ඉක්මවා ක‍්‍රියා කරන බවයි. ලංකාවේ තමන්ගේ විෂය පථය ඉක්මවා ක‍්‍රියා කරන අය සම්බන්ධ හොදම උදාහරණය වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ. රාජ්‍ය නොවන සංවිධානවලට ව්‍යවස්ථා තිබෙනවා. ඒ අය තමන්ගේ සාමාජිකයින්ට වග කියනවා. මුදල් පරිහරණය ගැන ප‍්‍රශ්න තිබෙනවා නම් ඒ සදහා නිසි පියවර ගන්න පුලුවන්. එහෙම නොකර මේ වගේ නීති ගෙන ඒමෙන් වෙන්නේ සාමාන්‍ය ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය බරපතල විදිහට උල්ලංඝනය වෙන එක

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

( වර්ගවාදය සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය)

රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරන ලද ප‍්‍රඥප්ති වලට අනුව. මානව අයිතිවාසිකම් සම්බන්ධ ප‍්‍රඥප්ති සහ මූලධර්ම අපගේ ව්‍යවස්ථාවත් පිලිගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවසථාවත් සහතික කරලා තිබෙන මේ මූලධර්ම වල පදනම මතයි අපි වැඩකරන්නේ. ඒක තමයි අපගේ විෂයපථය. ඒ වෙනුවෙන් වැඩ මුලු පවත්වන එක, පුවත්පත් නිවේදන නිකුත් කරන එක තමයි අපේ ක‍්‍රියාමාර්ග. අපේ විෂය පථයේ අරමුණු වෙනුවෙන් වැඩමුලු පැවැත්වීම පුවත්පත් නිවේදන නිකුත් කිරීම පමණක් නෙමෙයි අවශ්‍ය නම් පාරේ නටන්න වුනත් අපිට අයිතිය තියෙනවා. අපේ ඒ අයිතිය කියල කියන්නෙ නාගරික සංවර්ධන අමාතංශ්‍යයට අවශ්‍ය වුනාම කඩලා දාන්න පුලුවන් නිති විරෝධී ඉදිකිරීමක් නෙමෙයි. ගෙවල් කඩන මානසිකත්වයේ ඉදලා දැන් අපිට කියනවා අපේ ක‍්‍රියාකාරිත්වයන් නතර කරන්න කියලා. මේ ලියුම ලීව පුද්ගලයා දන්නෙ නැහැ මේ මගින් තමාගේම ආණ්ඩුව ජාත්‍යන්තර ප‍්‍රජාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කෙරෙන බව. අපි මෙවැනි ලිපියක් නිකුත් කිරීම හෙළා දකිනවා. සිවිල් සමාජය වෙනුවෙන් අපි ඉල්ලනවා මේ නීති විරෝධී ලිපිය වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස.

මෙම මාධ්‍ය හමුව අමතා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ සභාපති නීතිඥ කේ. එස්. රත්නවේල්, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු යන මහත්වරුද කථා කළහ.

ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂ ආර්. එම්. බී. සේනානායක, පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයානාත්, ලංකා ගුරු සංගමයේ පී. විජයලක්ෂ්මී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, ඉන්ෆෝම් ආයතනයේ සම්බන්ධීකාරක උදය කලුපතිරණ සහ ජනාවබෝධ කේන්ද්‍රයේ රෝයි රොඩ්‍රිගෝ යන මහත්වරුද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

More Voice here

@Credit: SAMABIMA