Video @VIKALPA

‘‘විවිධ චෝදනා නගමින් දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන මර්දන ක්‍රියාවන් වලට අපි එක හෙළා විරෝධය දක්වනවා. මාධ්‍ය නිදහස නැතිඋනොත් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ නිසා මේ ක්‍රියාවලට අපි එකහෙලා විරෝධය දැක්විය යුතුයි.‘‘

යනුවෙන් එස්. ශ්‍රීධරන්, දෙමළ ජාතික සංධානයේ, පාර්ලිමේන්තු මංත්‍රීවරයා ඊයේ(31) යාපනයේ දී ප්‍රකාශ කලේය. ඒ, පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා ආරක්ෂක අංශ සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි පැවසෙන මැර පිරිසක් විසින් ඔවුන්ට හිරිහැර කිරීමටත් විරැද්ධව ඊයේ(31) දහවල් යාපනය ප්‍රධාන බස් නැවතුම්පල අසලදී පැවත්වුනු විරෝධතාවයට සහභාගී වෙමින්ය.

උතුරේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහ උතුරේ පාර්ලිමේන්තු මංත්‍රීවරැන් සහ පළාත් සභා මංත්‍රීවරැන් මෙන්ම දකණේ මාධ්‍ය සංවිධානවල නියෝජිතයන් ද එක්ව සිටි එම විරෝධතාවයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ, සුනිල් ජයසේකර ප්‍රකාශ කලේ,

‘මේ වන කොට මේ රටේ විවිධ ආයතන, සංවිධාන සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ වෘත්තීයට අදාල පුහුණු වීම් කටයුතු සදහා පුහුණු සැසි පවත්වනවා. එහිදී සිංහල, මුස්ලිම් ප්‍රජාවට අයත් ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තමන්ගේ පුහුණු කටයුතු කරගෙන යන්න අයිතිය ලැබුනත්, දෙමළ ප්‍රජාව ඉලක්ක කර ගෙන විශේෂයෙන්ම එය මර්දනය කරන්න කටයුතු කරමින් තියනවා. ඒ තුළින්ම පෙන්නුම් කරන්නේ දෙමළ මාධ්‍යවේදීන් සුවිශේෂි පීඩනයකට ලක්කරලා තියනවා කියලා. තර්ජනයකට ලක්වෙලා තියනවා කියලා. මේ තර්ජනය සමස්ථ ජනමාධ්‍ය ප්‍රජාවටම එල්ල වෙච්ච තර්ජනයක්‘‘

යනුවෙනි.