(අාණ්ඩුවේ කූලි කරැවන් විසින් ෙකාළඹදී පැවැත් වූ උද්ඝෝෂණක්..)   Image | Vikalpa

ලංකා සමාජය, රජයේ එනම් එහි හිමිකරුවන්ගේ ප්‍රචාරයන් සමග සම්මුති විරහිතව එකඟ වී ඇති සමාජයකි. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ තම අසහාය ගැලවුම්කරු සහ මගපෙන්වන්නා ලෙස තර්කයන්ගෙන් තොරව පිලිගැනීමකට සූදානම්ව ඇති මේ සමාජය රාජ්‍ය විසින් සහ එහි දරදිය අදින්නන් විසින් කලක් තිස්සේ සමාජයට විදාහල සතුරු භාෂාවක් තුල සිරකරුවන් වී හමාරය. කිසිම වගවිභාගයකින් තොරව මෙම විෂ කැවූ භාෂාව ඔවුන් නැවත නැවත පුනරුච්ඡාරණය කරනු ලබයි. ඩොලර් කාක්කන්, බටහිර, එක්සත් ජාතීන්ගේ මණ්ඩලය, NGO, ඩයස්පෝරා ආදී වචනයන් සෑම ජනමාධ්‍යකම සුළභව යෙදුනු වචන සහ යෙදුන් වන අතර සියල්ල ගැන ඇති සමාජ ගත මතය සතුරු ආකල්පීය එකකි. ඒ අතරම තම සිංහල බෞද්ධ රට බේරා ගැනීමට, තම රට දෙකඩ කිරීමට එරෙහිව ආදී සටන් පාඨයන් කියමින් දිනෙන් දින විවිද කණ්ඩායම් විවිද නම්වලින් හතු පිපෙන්නාසේ මතුවන අතර මෙම කල්ලිවල නිල ඇදුම් සිල් රෙද්ද සහ චීවරය වන තරමට මෙම කල්ලිවල ඒවා සුළඹය. ඇත්තෙන්ම මොවුන් තම වීර ක්‍රියා රඟන්නේ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති නොවන පැහැදිලිව දන්නා වාතාවරණයක් ඇති පශ්චාත් යුධ සමාජයකටයි. ඒ පවතින රාජ්‍යයද අනුග්‍රහය ඇතිවය. එනිසා මොවුන් හැඳින්විය යුත්තේ ‘සෝපා වීරයින්’ ලෙසිනි.

ජාතිය ගලවා ගන්නා අරමුණින් යයි එකක් පරදවා එකක් ලෙස මතුවන මෙම කල්ලි පශ්චාත් යුධ සමාජයේ ‘ජාතික සතුරන්ට’ එරෙහිව තරඟයට සටන් වැද සිටී. තැනක කතෝලික පල්ලිය ජාතික සතුරා කර ගන්නා මොවුන් තැනක මුස්ලිම් පල්ලිය තම ජාතික සතුරා කරගෙන ඇත. එසේ රඟ දක්වන මොවුන් කිසිම විටෙක අමතක නොකරන එකම සටන් පාඨය වන්නේ තම සිංහල ජාතිය සහ බෞද්ධ ආගමට ඇති අප්‍රතිහත ආලයෙන් මේ සියල්ල කරන බවත් මහින්ද සහ රාජපක්ෂවරුන් තමනගේ මඟ පෙන්වන්නන් බවත් පැහැදිලිව පෙන්වීමයි. එතුලින් ඔවුන් තමන් පවතින රාජ්‍යයේ කොටස් කරුවන් බව පැහැදිලිව කියාපාන අතර එනිසාම තමන් කැමති දෙයක් කිරීමේ අයිතිය තමන් සතුය යන්නද ඔවුන් කියාපානු ලබයි.

මෙසේ අද වන විට මෙවැනි සමාජ වාතාවරණයක් (එල්ටීටීඊ වැනි සංවිධානයක් යුධමය වශයෙන් පරදවා ඇති සමාජයක) ඇති වන්නේ කුමන හේතුවක් අරඹයාද? තම රට ආක්‍රමණය කරන විදේශ සතුරෙකුද දකින්නට නොමැත. ඒත් දිනෙන් දිනම විවිධ නම් දැරූ කණ්ඩායම් වෛරී සටන් පාඨයන් මොර දෙමින් සමාජය තුල පොලු මුඟුරු ගෙන වීදී සරන්නේ ඇයි? පල්ලියකට පහර දී, රැස්වීමකට කඩාවැදී දී එහි සිටියවුනට පහරදී, මුස්ලිම් පල්ලියක් කඩා දමා වීර ක්‍රියා රඟ දක්වන්නේ ඇයි? මේ ඇතිවී ඇති මානසික මට්ටම අද සිංහල සමාජය වසා පැතිර යාමට හේතුව විමසීම වැදගත්ය.

අද වන විට සෑම ලාංකිකයෙක්ම තම ජීවිතය, සමාජයේ එයට ඇති ස්ථාවරත්වය, ඕනෑම මොහොතක අනතුරකට පත්විය හැකි තත්වයක පවතින බව පැහැදිලිව දන්නා කරුණකි. පාලකයන් විසින් රටවැසියාගේ අයිතීන් සහ ඔහු සතු ස්වාධීනත්වය සොරාගෙන ඇති බව නොදන්නා අයෙකු නැති තරම්ය. පැමිණිල්ලක් දැමීමට පොලීසියට ගිය අයෙකු ඔහු චූදිතයා බවට පත්වී ගුටි මුරයකින් සංග්‍රහ ලැබ කූඩුවකට ගාල්වීමට ඇති ඉඩගැන නොදන්නේ ලදරුවන් පමණි. සමාජය තුල ස්ථාපිත කර ඇති (කොටි හිතවාදියෙකු) දේශද්‍රෝහියෙකු, ත්‍රස්තවාදියෙකු, යන ලේබලය ඇලවී රහස් පොලිස් වදකාගාර හරහා සිපිරි ගෙයකට යාමට වාගේම ස්වර්ගස්ත වීමට ද ඉඩඇති බව ලාංකිකයා ඉතා හොඳින් දනී. නොම්බර තහඩු නොමැති සුදු වෑන් එකක් තම ගෙය ඉදිරිපිට ඕනෑම මොහොතක නතර කළ හැකි බවත් නන්නාදුනන මිනිසුන් ආයුධ ගෙන තම නිවසට ඇතුළුව ප්‍රශ්න කිරීම සඳහාය කියා තමා ගෙනයා හැකි බවත් ලංකා සමාජයට අලුත් දෙයක් නොවේ. ගෙතුල කොම්පියුටරයෙන් වැඩකරමින් සිටින විට කරන්ට් නැතිවීම ගැන ආණ්ඩුවට මැසිවිලි කියන තරුණ පුතාලාට දුවලාට අම්මලා අනතුරු අඟවන්නේ ‘කට කට. කට පියාගෙන හිටපං. ඕව කියල නිකං සුදු වෑන් වල යන්නයි උඹටත් වෙන්නෙ’ කියමිනි. ඒ විවිද නම්වලින් හැදින්වෙන රහස් ඔත්තු කණ්ඩායම්, පොලිස් සහ හමුදා විශේෂ ඒකක ආදියේ ගොදුරක් වීම ඒ තරමට පහසු බව පශ්චාත් යුධ ලංකා සමාජය පැහැදිලිව දන්නා නිසාවෙනි.

මේ අවධියෙහි ලංකාවේ අයිතීන් සඳහා සිදුවන සියලුම ආකාරයේ උද්ඝෝෂණ, රැස්වීම්, ස්ට්‍රයික් ආදියට පොලිස් නිල ආරක්ෂාව මැද කඩා වදින මැර කණ්ඩායම් බැණ අඬගසමින්, පොලු මුඟුරුවලින් අර නිරායුධ උද්ඝෝෂණකයන්ට එළව එළවා පහර දෙන අයුරු එමෙන්ම එම මැර කණ්ඩායම් රජයේ මැති ඇමතිවරුන් මෙහෙයවන අයුරු සතිපතා සියළුම රූපවාහිනී මගින් ප්‍රචාරය කරන්නේ අයිතීන් ඉල්ලීම: දේශයට ද්‍රෝහීන්, ඩොලර් කාක්කන්, කුමන්ත්‍රණකරුවන්, ජාතිය පාවාදෙන්නන්, කොටි හිතවාදීන්, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු බවට පත්වූවන්, ආදීන් තම රටට එරෙහිව කරන කුමන්ත්‍රණ බවයි. මෙවැනි පහරදීම් සගවා ගනු වෙනුවට දිගින් දිගටම සෑම රූපවාහිනී නාලිකාවකින්ම ප්‍රචාරය කරවන්නේ ඇයි?

මෙයින් පවසන, නොකියා කියන පණිවිඩය වන්නේ අප සමග නොසිටින කිසිවෙකුට මේ සමාජය තුල ආරක්ෂාවක් නොමැත යන්නයි. ලංකාවේ රාජ්‍ය බලය ඇති කල්ලිය නැතිනම් රාජපක්ෂලාට එරෙහි වූ කෙනෙකුට දෙවියන්ට පවා පිහිට විය නොහැකි බව මේ ප්‍රචාරණය තුල දෙන ව්‍යාංග පණිවිඩයයි. පශ්චාත් යුධ ලංකාවේ මහින්දට එරෙහිවීම යනු රාජ්‍යට එරෙහිවීම වන අතර රාජ්‍ය විවේචනය කිරීම යනු මහින්දට එරෙහිවීමයි. මේ සූත්‍රය සිංහල සමාජ මනස තුල පැහැදිලිව පැලපදියම් කර හමාරය. එසේනම් මහින්ද ගේ දේශපාලනය විවේචනය කරන්වුන් දේශද්‍රෝහීන් වන්නේය. ඔවුන් සමාජයේ කුමන තරාතිරමක නිලයක්, බලයක් ඉසුලුවා වුවද කාරණයක් නොමැත. මහින්ද බලාධිකාරය ප්‍රශ්න කළ පමනින් ඔහු හෝ ඇය බලුකුක්කන් බවට පත්කිරීමට හැකි බව, එසේ කරන බව, පශ්චාත් යුධ ලංකාවට ඔවුන් ක්‍රියාවෙන් පෙන්වා ඇත. ඒත් එසේ කරන බව ඔවුන් පුන පුනා ප්‍රකාශ කරමින්ද සිටී.

මෙයට හොඳම උදාහරණ 2 ක් නම් එල්ටීටීඊ සංවිධානය සමග යුද්ධයේදී යුද්ධය මෙහෙයවූ යුධ විරුවා වූ ජෙනරල් ෆොන්සේකා මහින්ද බලාධිකාරයට අභියෝග කිරීමේ පාපයට වන්දි ගෙවන ආකාරයයි. ඔහු බල්ලෙකු ලෙස කුදලා නොයෙක් නින්දා අපහාසයන්ට ලක්කර ඔහුගේ සියලු සමාජ අයිතීන් අවලංගු කර නිකම්ම හිරකරුවෙක් බවට පත්කරනු ලබයි. ඊළඟට මහින්දගේ බලාධිකාරයට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන අග්‍රවිනිශ්චයකාරවරිය වන ශිරාණි බණ්ඩාරනායකගේ ඉරණමයි. ඇය මහින්දලාට අවශ්‍ය සියළුම තීන්දු දීමට මැලිවන හෙයින් නිලයෙන් පහකර දමා මැරයින් ලවා හූ කියවා රස්තියාදුකාරයින් ලවා පරිභවයට ලක්කර අවලංගු කාසියක් බවට පත්කරනු ලබයි.

මේ සිදුවීම් දෙකේදීම ඇතිවන මැර ප්‍රහාරයන් දිගින් දිගටම මේ දෙදෙනාටම කරන හිංසනයන් රූපවාහිනී මගින් රටටම බලා ගැනීමට සලස්වයි. මේ එතුලින් රට වැසියාට ඔවුන් හිතමතාම දෙන පණිවිඩය වන්නේ ඔබ මහින්දට එරෙහි වූවොත් ඔබ රාජද්‍රෝහියෙකි. ඔබේ තරාතිරම අපට වැදගත් නැත. ඔබ කවුද කියා අපට වැදගත් නැත. උඹට අපෙන් කිසිම සමාවක් නොලැබෙනු ඇත. එක්කෝ ඔබලා අප සමගය. නැතිනම් ඔබලා ජාතියේ සතුරන් සමගය. මේ රාජපක්ෂලාගේ ප්‍රසිද්ධ පණිවිඩයයි. අපට විරුද්ධ වන්නේ රටේ සතුරන්ය. මෙහිදී ඔවුනට අනුව ජාතිය, රට, යන දෙකම මහින්දලා ලෙස ගැනේ.

මීට අමතරව රජය, මහින්ද හෝ රාජපක්ෂලා විවේචනය කිරීම නිසා ප්‍රසිද්ධියේ මැර ප්‍රහාරයට ලක්වූ ප්‍රමාණය අති මහත්ය. මාධ්‍ය වේදීන් ප්‍රසිද්ධියේ මරාදැමූ අතර සමහරු සදහටම අතුරුදහන් කරනු ලැබීය. නඩු නැත. චෝදනා නැත. විත්තිකරුවකුද නොමැත. මේ අතරම සිසුන්ගේ, මාධ්‍යවේදීන්ගේ, විරුද්ධ දේශපාලන පාක්ෂිකයින්ගේ උද්ඝෝෂණවලට, රැස්වීම්වලට කඩා වදින මැරයින්ගෙන් ඔවුන් ගුටි කමින් දුවන අයුරු, එම මැරයින්ට ආරක්ෂාව දෙමින් පොලීසිය බලා සිටින අයුරු, මාධ්‍ය මගින් රූපවාහිනී නාලිකා මගින් රටටම බලාගැනීමට සලස්වයි. මෙතුලින් ඔවුන් රට වැසියාට කරනුයේ අනතුරු ඇඟවීමකි. බිය ගැන්වීමකි. අපට එරෙහිව ඒම සමාවක් නැති පාපයක් බව මතක තබා ගනිල්ලා යන්න එහි ඇති පණිවිඩයයි. එමෙන්ම ඕනෑම කුඩු වෙළෙන්දෙකු, ස්ත්‍රී දූෂකයෙකු, මිනීමරුවෙකු ඔවුන් සමග සිටීනම් ඔවුනට සියලු වරප්‍රසාද හිමිකර දෙන්නේද ප්‍රසිද්ධියේමය. එතුලින් ‘නුඹලා අප සමග නම් නුඹලාට සියලු දෙවි රැකවරණ ලැබේ’ යන පණිවිඩය සමාජගත කරති.

මේ සමගම මිනිසුන් දස දහස් ගණනින් එක්වූ විශාල මහජන රැලියක වේදිකාවේ සිටින මහින්ද ඉදිරියේ බිම දිගාවී වඳින ඇමතිවරු, ඇමතිවරියන්, මන්ත්‍රීවරු ආදීන් රටටම දැක බලා ගැනීමට සලස්වයි. එතුලින් සමාජයට දෙන පණිවිඩය නම් අපි අධිබලසම්පන්නය. අපට එකඟ නම් ඔබට හොඳය. අපට අවනතව, අපට යටත්ව අපේ ආශිර්වාදය ලබන්න යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදය මුහුකුරා නොගිය සමාජයක් වන ලංකා සමාජය (ප්‍රජාතන්ත්‍රවාදය අප මත සුද්දන් විසින් පැටවූ උගුලක් ලෙස දකින). මෙහිදී පත්වන තත්වය විමසමු. ඔවුනට තෝරා ගැනීමට පැති දෙකක් ඇත. එක්කෝ ඔවුන් පාලකයින්ගේ එකකු ලෙස අනන්‍ය වී ඒ කල්ලියේ එකෙකු ලෙස යම් වරප්‍රසාදයක් ලබා ගැනීම එසේ වරප්‍රසාද නොලද්දා වුවත් තම ජීවිතයට ඇති අවදානම එතුලින් අවම කර ගැනීම, එසේ නොමැති නම් මිනිසෙකු ලෙස සමාජයක් ලෙස තම මිනිස් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම තෝරා ගැනීමයි.

මා ඉහත කී ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යනු අපේ කාරියක් නොව සුද්දාගේ කාරියක් ලෙස හදුනාගෙන ඇති සමාජයක වැඩි දෙනා දෙගිඩියාවකින් තොරව තෝරා ගනු ලබන්නේ ‘මමත් ඔවුන්ගෙන් එකෙකි’ යන පාලක කල්ලියේ එකෙකු ලෙස ගණනය විය හැකි පැත්තයි. ඒ සඳහා ඔවුන් කළ යුතු වන්නේ මම දේශප්‍රේමියෙකි. එනිසා මගේ දේශයට ද්‍රෝහි වන්නන්ට මම විරුද්ධ වෙමි. මම සිටින්නේ දේශප්‍රේමී මගපෙන්වන්නන් සමගය. මේ වචනවලින් ඔවුන් පැවසීමට උත්සාහ කරන්නේ රට තුල ඇති තම ජීවිත අවධානම අඩුකර ගැනීමට සහ එයට යම් ස්ථාවරත්වයක් ලබා දීමටයි. මේ කණ්ඩායම තුලම තවත් කොටසක් එතුලින් තමන් යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමත් ඒවාගේම ඒ අත්තනෝමතික පාලනයේ කොටස්කරුවෙකු වී අන්අය මත තම ආධිපත්‍ය පැටවීමට අවස්ථාවක් ලබා ගැනීමද අරමුණු කර ගනී. කෙසේ වුවත් පශ්චාත් යුධ ලංකාවේ බොහෝ දෙනෙකුගේ මේ ජාති ආලය තම ආරක්ෂාව සඳහා ඇති එකම ආරක්ෂක වළල්ලයි.

මෙහිදී අප අමතක නොකළ යුතු තවත් කරුණක් නම් ලංකා රාජ්‍ය සහ ජනයා අතර ඇති සහ සම්බන්ධයයි. නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය සහ ජනතාව අතර ඇතිව තිබූ කුඩා හෝ සම්බන්ධය 71 න් පසු විශේෂයෙන් 87-90 භීෂණයෙන් පසු සහමුලින්ම විනාශ කර දමනු ලබයි. එය උතුරේ විනාශ වන්නේ ඊටත් කලිනි. ඉන්පසු උතුරටද දකුණටද නොනවත්වා මේ වනතුරුම දිගින් දිගටම සිදුවන අතර රාජ්‍ය යනු ජනයා බියෙන් හැකිලිය යුතු මෙවලමක් බවට පත්වී ඇත. ඒ වාගේම බලයේ සිටින එකා මොකා හෝ ඌ රාජ්‍ය ලෙස අනුගත කර ඇත. එය එදා ජේ.ආර්. ද කළ අතර මහින්දලා අද එම වැඩපිලිවෙලේ අන්තයටම ගමන් කර හමාරය. අද වන විට පශ්චාත් යුධ ලංකාවේ බලය යනු වටිනාම පුද්ගලික දේපළ බවට පත්වී හමාරය.

ඔබ සතු සියල්ල යම් යම් අයුරු නැති කළ හැක. (උදාහරණ ලලිත් කොතලාවලලාට සිදුවූ දෙය) ඒත් රාජ්‍ය නැතිනම් එහි හිමිකරුවන් හිතවතුන් කොටස්කරුවන්වීම ශක්තිමත්ම පුද්ගලික දේපළ බව රාජ්‍ය බලය ඇති කණ්ඩායමේ දේපළ වර්ධනයවීම, ඔවුන්ගේ ජීවන රටාව රටටම පෙන්නුම් කරයි. එනිසාම මොනයන්ම හෝ නියෝජිත මණ්ඩලයක නියෝජිතයෙකු බවට පත්වී බලයේ කොටස්කාරුවෙකු වූ විගසම ඔබේ පුද්ගලික දේපළ දලුලන අතර ඒවා විශාල වෘක්ෂයන් බවට පත්වනු ඇත. එනිසාම එම බලයේම කොටස්කරුවන් අතරද (විශේෂයෙන්ම පහළ) වඩා දේශප්‍රේමී වීමට තරඟයක්ද පවතී. ඔවුන් කොතරම් දුරට දේශප්‍රේමී වන්නේද, එතඑම් දුරට ඔවුන්ට බලයේ කොටස්කරුවන් වීමට ඉඩ ලැබෙනු ඇත. ඔබ රාජ්‍යයේ ( රාජ්‍ය යනු බලය ලබා ඇති අය එනම් රාජපක්ෂ කල්ලිය බවට අද ලංකා රාජ්‍ය පත්වී ඇත) හිතවතෙකු නැතිනම් කොටස් කාරයෙකු වන්නේ නම් ඔබට අත නොතැබිය හැකි තත්වයකට පත්වේ. මේ මානසික මට්ටමම සමාජයක් මත ඊළඟට ජනිත කරවන නොවැලැක්විය හැකි ඊළඟ තත්වයක්ද ඇත. ඒ මේ බලය පවත්වා ගැනීම ස්ථිරව කළ හැකි නොසැලෙන නායකයෙකු, මග පෙන්වන්නෙකු, චින්තකයෙකු, රජෙකු හෝ අණදෙන්නෙකු තමනට ලබා දීමයි. උතුරු කොරියාවට කිං ජොන් හුන්ය. නාසි ජර්මනියට හිට්ලර්ය. ඉතාලියට මුසෝලීනිය. ලංකාවට මෙවැනි නායකයින් නැතිනම් මග පෙන්වන්නන් සොයන සමාජයක් අද උදාවී ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉතා ඈත එකකි. අද ලංකා සමාජය සොයමින් සිටින්නේ තමනට මෙවැනි නායකයෙකි. මේ තත්වය ඇති සමාජ මානසික මට්ටමක මහින්දව ඔවුන් ආදේශ කර ඇත.

සතුරු බලවේග විශේෂයෙන් බටහිර රටවල් තම පුංචි කොදෙව්ව විනාශ කිරීමට මාන බලමින් සිටිනවාය යන මතය ස්ථාපිත කර ඇති සමාජයක රාජ්‍ය නැතිනම් රාජ්‍ය බලය අත ඇති කණ්ඩායම විවේචනයට හෝ ප්‍රශ්න කිරීම තමන් නිකම්ම අහෝසි වීමට ලක්විය හැකි සමාජයක තම සුරක්ෂිතාව සඳහා ඇති එකම ආරක්ෂක වළල්ල වන්නේ මමත් නුඹලාගෙන්ම එකකි. හඬ නගා කියාපෑම පමණි. මේ තත්වය සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම අනිකුත් මාධ්‍යයන්ද මේ වන විට සැදී පැහැදී ඇත. එයත් එවැනි සමාජයකට අත්‍යාවශ්‍ය සාධකයකි. එතුලින් බලාධිකාරියේ වුවමනාවන් දිගින් දිගටම නොනවත්වාම ජනතා මනසට කාවද්දවනු ලබයි. මේ වාගේම විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින්ද වසර ගණනාවක් තිස්සේම ප්‍රචාරණය කරනු ලැබූ වෛරී ආකල්පයන් ක්‍රමක්‍රමයෙන් සමාජගතවී කාලයාගේ අවෑමෙන් ජනතාව ඒවායේ වාහකයන් බවටද පත්ව ඇත.

දීර්ඝකාලීනව ලංකා සමාජය තුල රාජ්‍ය දේශපාලනය ප්‍රශ්න කළ අය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයන්, ජාතිද්‍රෝහීන්, එන්ජීඕ කාරයන් ආදී ලේබල් ගැසූ අතර ඒවා මේවන විට ඍණාත්මක ආකල්ප ලෙස සමාජගත වී හමාරය. අද වන විට එන්ජීඕ කාරයෙකු මිනිස් අයිතීන් ගැන කතාකරන අයෙකු හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කරන අයෙකු නිකම්ම දේශද්‍රෝහියෙකු යන අර්ථයට සමාජ මානසික මට්ටමට පත්වී ඇත.

ලංකා සමාජය අද සිරවී සිටින්නේ මෙවැනි මිත්‍යා සහ බොරුව සැබෑකරගත් මානසික මට්ටමකි. මෙයින් මිදීම පහසු නොමැත. ෆැසිස්ට් සමාජයකට අවශ්‍ය මානසික ආරක්ෂාව මේ මානසික මට්ටම සැලසුම් කරයි. රාජ්‍ය හිමි ඇත්තන් රාජ්‍ය ලෙස අනන්‍ය වීම පැසිස්ට් සමාජයකට අත්‍යාවශ්‍ය ලක්ෂණයකි. සමාජයක් එවැනි මානසික මට්ටමකට යටත්වූවායින් පසුව එයින් ගැලවීම පහසු කාරණයක් නොවනු ඇත. මෙම තත්වයෙන් ගොඩ යෑමට රටකට විශාල වන්දි ගෙවීමකින් තොරව කළ නොහැකිය. නමුත් අද වන විට රාජ්‍ය යනු පුද්ගලයින් කණ්ඩායමකට ලගු කර ගැනීමෙන් ලංකාව ගලවා ගත හොත් ක්‍රමක්‍රමයෙන් ඉන් ගොඩ ඒමට මාර්ග සොයාගත හැකි වනු ඇත. නමුත් එයද දීරඝ කාලීනව මිස කෙටිකාලීනව නම් සිදුකර ගැනීම සිහිනයකි.

බොහෝවිට ලෝකයේ රටවල ඇති රාජ්‍යයන් තුලට කාන්දුවීමට මාෆියා කල්ලි, හොර ජාවාරම්කරුවන් වැනි අපරාධ කණ්ඩායම් උත්සාහ කරන්නේය. ඒ එතුලින් රටේ රාජ්‍යයෙන් තම වුවමනාවන්, තමන්ගේ ජාවාරම් ආදියට සහායක් ලබා ගැනීම සඳහාය. නමුත් පශ්චාත් යුධ ලංකාව තුල එසේ රාජ්‍යට කාන්දු වීමට අපරාධ කණ්ඩායම් උත්සාහ කළ යුතු නැත. ඒ අද ලංකා රාජ්‍ය බවට මේ අපරාධ කල්ලි පත්වී ඇති බැවිනි.

ranjith_hennayakeරංජිත් හේනායක | Ranjith Henayakaarachchi